ලිංගික අතවරයන් මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වන අතර, කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට කායිකව, මානසිකව සහ ආර්ථිකව වෙනස්කම් කෙරෙන සංස්කෘතිකයට දායක වෙයි. ගෝලීය වශයෙන් කාන්තාවන් මුහුණදෙන ගැටලුවක් වන මෙය විවිධ මට්ටමේ කායික සහ වාචික පරිභවයන්ට මෙන්ම ස්ත්‍රී දූෂණයට තුඩුදිය හැකිය.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් පවත්වන ලද දීපව්‍යාප්ත අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් 90%ක් පොදු බස් සහ දුම්රිය ප්‍රවාහනයේදී ලිංගික අතවරයන්ට මුහුණදෙන බවය. මෙම සොයාගැනීම්වලින් පෙන්වා දෙන අනෙක් කරුණ වන්නේ පොලීසියේ සහාය පතන්නේ ඔවුන්ගෙන් 4%ක් පමණක් වන බවයි.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙම ජාතික අධ්‍යයනය 2015 දී සිදුකළ අතර, ශ්‍රී ලංකාවේ පළාත් නවය තුළ පිහිටි සියලුම පරිපාලන දිස්ත්‍රික්කවලින් තෝරාගත් වයස අවුරුදු 15-55 දක්වා වූ කාන්තාවන් 2500ක නියැදියක් ඒ සඳහා යොදා ගන්නා ලදී. වගකිව යුත්තන්ගෙන් තොරතුරු විමසීමෙන්, ප්‍රධාන තොරතුරු සපයන්නන් හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවලින් සහ ප්‍රශ්නාවලීන් මගින් දත්ත රැස්කර ගන්නා ලදී.
මෙම ගැටලුව ජාතික ප්‍රමුඛතාවක් ලෙස හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, ප්‍රවාහනය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ශ්‍රී ලංකා පොලීසිය සමග එක්ව 'ඇය සුරැකි ගමනකද?' (Does she travel safe?) යන මැයෙන් ජනතා උපදේශන වැඩසටහනක් දියත් කරන ලදී.
මෙම වැඩසටහන දියත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය, අශෝකා අලවත්ත මහත්මිය සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරියෙක් සහභාගී වූහ.
මාධ්‍ය සාකච්ඡාවේදී පොදු ප්‍රවාහන සේවා තුළ සිදුවන ලිංගික අතවර පිළිබඳ ගැටලුව හා සම්බන්ධ ප්‍රතිපත්ති නිර්දේශ යෝජනා සහිත ප්‍රතිපත්ති සංක්ෂිප්තයක් ඉදිරිපත් කරන ලදී. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ වැඩසටහන් විශ්ලේෂික ශාරිකා කුරේ මහත්මිය විසින් සමීක්ෂණයේ සොයාගැනීම් ඉදිරිපත් කරන ලදී.
මෙම ගැටලුවේදී ධනාත්මක වෙනසක් ඇති කිරීමට පුද්ගලයන් තිදෙනෙකුට හැකියාව ඇති බව මෙම ඉදිරිපත් කිරීමේදී හුවා දක්වන ලදී.
1) වින්දිතයා - සිද්ධිය ගැන කතා කිරීමෙන් සහ ක්‍රියාත්මක වීමෙන්
2) අසල සිටින්නා - මැදිහත් වීමෙන් සහ සහාය දැක්වීමෙන්
3) අපරාධකරුවා - මෙවැනි අතවරයන් සිදු කිරීමෙන් වැළකීමෙන්
මෙම තත්ත්වය යහපත් අතට පත්කර ගැනීම සඳහා දිගුකාලීන උපදේශන සහ උපයාමාර්ගිකව හැසිරීම් වෙනස් කිරීම සඳහා වන මහා පරිමාණ සන්නිවේදන වැඩසටහන් අවශ්‍ය වන්නේය. මෙම සමාජ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් කතා කළ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නැක්කෙන් මෙසේ පැවසුවාය.
“පොදු ප්‍රවාහන සේවා තුළදී කාන්තාවන්ට සිදුවන ලිංගික අතවරයන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වයේ එක් ස්වභාවයක්. ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය කෙරෙහි පුළුල් ලෙස අවධානය යොමු කිරීමේදී සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සකස්කිරීම සඳහා දීපව්‍යාප්තව දත්ත රැස් කළයුතුයි. මෙම අධ්‍යයනය ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය පිළිබඳ දත්ත රැස් කරන ප්‍රථම පියවරයි''
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ඉදිරිපත් කරන මෙම වැඩසටහන 2017 මාර්තු මාසයේදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේදී ජාතික උත්සවයේ එක් අංගයක් වනු ඇත.