ශ්‍රී ලංකාව තුළ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරීත්වය එළිදැක්වීම පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී සිදුකෙරිණි. ශ්‍රී ලංකා රජය, එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සමාජ, ආගමික සංවිධාන, පෞද්ගලික අංශය, මාධ්‍ය, දරුවන් සහ අනෙකුත් ප්‍රධාන පර්ශ්වකරුවන් අතර නව සහයෝගී හවුලක් ලෙස එය දියත් කිරීම පසුගිය සිකුරාදා දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ දරුවන් තම නිවසේදී, පාසලේදී, අන්තර්ජාලය හරහා සහ ප්‍රජාව තුළදී විවිධ ආකාරයේ ප්‍රචණ්ඩත්වයන්ට නිරාවරණය වන අතර, වසර 2016 දී ප්‍රචණ්ඩත්වයන්ට ලක් වූ දරුවන් පිළිබඳව 9000කට වඩා සිදුවීම් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට වාර්තා වී ඇති බව මෙහිදී අමාත්‍යවරිය පැවසුවාය.
ඒ අනුව 'ශ්‍රී ලංකාව තුළ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීම' ලෙස නව සාකච්ඡා පත්‍රයක් නම් කිරීම සහ ජාතික හවුල්කාරීත්වය එළිදැක්වීමේ වැදගත්කම තවදුරටත් ඉස්මතු කර මෙලෙස දැක්විය හැකිය.
කොළඹ දිස්ත්‍රික්කය තුළ සමීක්ෂණයට භාජනය වූ දෙමාපියන්ගෙන් 40%ක් පෙර මාසයේදී තම දරුවන් කායිකව අපයෝජනය කළ බව පිළිගෙන ඇත. (2013)
සමීක්ෂණයට භාජනය වූ තරුණ ගැහැනු හා පිරිමි දරුවන්ගෙන් 14%ක් කුමන හෝ ආකාරයක ලිංගික අපයෝජනයකට භාජනය වී තිබේ.
සමීක්ෂණයට භාජනය වූ තරුණ පිරිමි දරුවන්ගෙන් 31%ක් හා ගැහැනු දරුවන්ගෙන් 25ක් පසුගිය මාස තුන තුළදී භාවාත්මක අපයෝජනයන්ට මුහුණදී තිබේ. (2009)
ගවේෂණ රටවල් 12 අතුරින් එක රටක් ලෙස, වසර 2030ක් වනවිට දරුවන්ට සිදුවන අකටයුතුකම්, නොසලකා හැරීම්, උපයෝජනයන් (සූරාකෑම්) වැනි හිංසනයන් තුරන් කිරීමෙහිලා ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් මූලිකත්වය ගනිමින් සිටියි. මෙම කැපවීම ගෝලීය කොටස්කරුවන් ලෙස දරුවන්ට සිදුවන හිංසනයන් තුරන් කිරීමට සහ තිරසාර සංවර්ධන අභිමතාර්ථ ළඟා කරගැනීම සඳහා දරනු ලබන පරිශ්රමයට සහයෝගයක් ලබාදේ.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය, ගරු චන්ද්‍රානි බණ්ඩාර මැතිණිය මෙම එළිදැක්වීමේදී සඳහන් කළ ආකාරයට 'දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරීත්වය' ශ්‍රී ලංකාවට එහි සාර්ථකත්වය බෙදා ගැනීමට, අභියෝග සාකච්ඡා කිරීමට, සහ දැනුම බෙදා ගැනීමට අවස්ථාව සලසන වැදගත් ස්ථානයක් නිර්මාණය කරයි.
ශ්‍රී ලංකාව කායික සහ ලිංගික අපචාර මෙන්ම නොසලකා හැරීම් සහ සූරාකෑම්වලින් දරුවන් ආරක්ෂා කිරීමට මුල පිරීම් රාශියක කටයුතු කරගෙන යන අතරතුර, මෙම සාකච්ඡා පත්‍රය එම උත්සාහයන් තවත් වේගවත් කිරීමට තවදුරටත් නිර්දේශ ලබාදේ. එම නිර්දේශ අතර,
ශ්‍රී ලංකාවේ ගැහැනු හා පිරිමි ළමුන්ට එරෙහි හිංසනය සඳහා හේතු කාරකයන් ප්‍රේරකයන් හඳුනාගැනීම සඳහා අධ්‍යනයක් සිදුකිරීම හා එහි ව්‍යාප්තිය, ප්‍රවණතාවය හා හිංසනයේ අන්තර්ගතය පිළිබඳ විකේන්ද්‍රීය උත්පාදනය කිරීම.
සියලු පාර්ශ්වකරුවන් විසින් දේශීය හා ගෝලීය සාක්ෂි මත පදනම් වූ පැහැදිලිව නිර්වචනය කළ ඉලක්ක අනුව ගැහැනු දරුවන්ට සහ පිරිමි දරුවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනය තුරන් කිරීමට පියවර ගැනීම.
දෙමාපියන්, ගුරුවරුන් සහ රැකවලුන් ධනාත්මක විනය පුරුදුවලට අනුගත කිරීමෙන් සහ ඔවුන්ගේ හැකියාවන් ගොඩනැංවීමෙන් තම පවුල තුළ, පාසලේදී, ආයතනවලදී සිදුවන කායික සහ නින්දා සහගත දඩුවම් සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙන්ම ශාරීරික දඬුවම් නීතියෙන් තහනම් කිරීම සහ මානසික ආතතිය සහ ගැටුම් හිංසනයෙන් තොරව කළමනාකරණය කරගැනීම සඳහා සහයෝගය වැඩිකිරීම.
මෙම අවස්ථාවේදී කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න , එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ නියෝජිත ටීම් සටන් මහතා, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර ඇතුළු රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් පිරිසක් දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ගෝලීය හවුල්කාරීත්වය සහ ශ්‍රී ලංකාවේ ළමා හිංසනය තුරන් කිරීම සඳහා ජාතික සහයෝගීතාවය කැපවීම සඳහා අදාළ ප්‍රකාශයට අත්සන් තැබීය.
ජායාරූප ශාන්ත රත්නායක