හිමෙන් වැසී ගිය කඳුකර වන මාර්ගයක හිටි හැටියේ පිපිරීමක ශබ්දය නැගෙයි. ඇසිල්ලකින් දුමාරය පිරුණු පිපුරුම් ස්ථානයකට ආසන්නයේ ට්‍රක් රථයකින් සොල්දාදුවන් පිරිසක් පිටතට පැන සැඟව අවි අමෝරාගෙන සිටිනු දැකගත හැකි විය. ඔවුන් සිය සේනාංකයේ අනෙකුත් සාමාජිකයන්ට සටන් බිමට ප්‍රවේශ වන්නට ඉඩහසර ලබාදෙමින් තම ජීවිතයද ආරක්ෂා කරගෙන සටනක යෙදෙයි.
මේ ජවනිකාව බොහෝ අන්තර්ජාතික මාධ්‍ය අතර සටහන් වූයේ නෝර්වේ රාජයේ හමුදා පුහුණු කඳවුරක පැවැත්වූ පුහුණුවක් ලෙසට දක්වමිනි.
අන්තර්ජාතික මාධ්‍ය එම පුහුණු සැසිය වඩාත් ඉහළින් වාර්තා කිරීමට හේතු වී තිබුණේ එලෙස පුහුණුව ලැබූයේ ලොව ප්‍රථම කාන්තා විශේෂ කාර්ය බළකා සාමාජිකාවන් වීම හේතුවෙනි.
Jegertroppen නැත්නම් Hunter Troops ලෙස නම්කර ඇති මෙම බළකාය ඉතා විශේෂ හමුදා බළකායක් ලෙස නම් කළ හැකිය. නෝර්වේජියානු හමුදා සේවයට කාන්තා සෙබළියන් ඇතුළත් වූයේ 1980 තරම් ඈත යුගයකදී වුවත්, මෙම විශේෂ කාන්තා බළකාය නිල වශයෙන් යුද බිමට ප්රවිශ්ට වන්නේ 2015 වසරේ ජනවාරි මාසයේදීයි. නෝර්වේජියානු ආරක්ෂක අංශය 2020 වර්ෂය වන විට මෙම කාන්තා බළකායේ සාමාජිකාවන් ගණන 20%කින් ඉහළ දැමීම මූලික අරමුණු කරගෙන සිටියි.
මෙම විශේෂ කාර්යය බළකා සෙබළියන් ඇෆ්ගන් යුද බිමේ සිය සේවාවන් සැපයීමට යොදවා ඇත. විශේෂයෙන් මෙම යුද බිමේ පීඩාවට ලක් වී සිටින කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සේවා සැපයීම මෙම බළකායේ ප්‍රමුඛතම කාර්යය වී තිබේ. පිරිමින් සමග කතාබහ කිරීමට අවසර නොමැති ඇෆ්ගන් මුසිල්ම් කතුන් වෙනුවෙන් යුද බිමේ ආරක්ෂාව හා රැකවරණය සලස්වන්නේ මෙම නෝර්වේ විශේෂ කාර්යය බළකා සාමාජිකාවන් විසිනි.
නෝර්වේජියානු විශේෂ කාර්යය කාන්තා බළකාය පසුගිය වසරේ නේටෝ සාමාජිකත්වය දරන රටකින් බිහි වූ පළමු කාන්තා විශේෂ කාර්යය බළකාය ලෙසද ඉතිහාසගත විය.
''ඇෆ්ගන් මෙහෙයුම් වලදී ගොඩනැගිලි පරීක්ෂා කිරීම් සිදුකරන විට කාන්තාවන්ගේ හා ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩි වශයෙන් කාන්තා සෙබළියන් අවශ්‍ය වෙනවා'' යැයි කාන්තා විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරිනී කර්නල් ෆෝඩ් ක්‍රිස්ටොෆර්සන් විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබුණි.
මේ නිසාම සියලුම සාමාජිකයන් කාන්තාවන් ලෙස සැකසූ විශේෂ ඒකකයක් පිහිටුවා ඔවුන්ව පුහුණු කිරීමේ අවශ්‍යතාව මතු වූ බවද ඇය සඳහන් කළාය. මෙම කාන්තා සෙබළියන්ට ලබාදෙන පුහුණුවීමේ අවසන් වසර වන විට සාමාන්‍ය යුද සෙබළෙකු ලබන පුහුණුව හා සමව කාන්තා සෙබළියන්ද පුහුණුවීම් ලබා තිබීම විශේෂත්වයකි.
මෙම විශේෂ කාර්යය බළකාය ආරම්භයේදී එම බළකායට ඇතුළු වීමට තරුණියන් 300 දෙනෙකු අයදුම්පත් යොමුකර තිබුණද, බඳවාගැනීමේ පරීක්ෂණයෙන් ඉන් 10දෙනෙකු පමණක් තේරී පත්වීමට තරම් ඔවුන්ට ලබාදෙන කඩයිම් පරීක්ෂණ අසීරු බවට වාර්තා වේ.
විශේෂයෙන් මෙම බළකායට බැඳෙන්නට අපේක්ෂා කරන තරුණියකට ඉතා හොඳ කායික ශක්තියක් මෙන්ම මානසික ශක්තියක් අවශ්‍ය වෙයි.
සම්මුඛ පරීක්ෂණයේදී Pull – Ups පහක්ද, Push – Ups විස්සක්ද, Sit – Ups තිස් පහක්ද විනාඩි දෙකක කාලයක් තුළදී සිදුකිරීමට ඔවුන් සමත් විය යුතු වේ.
එසේම මීටර් 200ක දුරක් විනාඩි 08ක් තුළදී පිහිනීමට හැකි විය යුතු අතර, කිලෝ 15ක බරක් ඔසවාගෙන කිලෝමීටර් 07 ක් විනාඩි 54කට වඩා අඩු කාලයකින් දිවීමේ හැකියාවද සතු විය යුතු වේ.
තවද බර එසවීමේ ව්‍යායාම ක්‍රමයක් වන dead lifts 20ක් විනාඩි 08කට අඩු කාලයකදී සිදුකිරීමටද හැකි විය යුතු වෙයි.
මෙම සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරන අයදුම්කාරිනියකට මෙම විශේෂ කාර්යය බළකා පුහුණුවට ඇතුළත් වීමේ හැකියාව උදාවෙයි. එම පුහුණු කාලසීමාවේදීද ඔවුන්ට ඉතා අපහසු අභියෝග ජයගැනීමට සිදුවෙයි.
අන්තර්ජාතික මාධ්‍ය වෙත අදහස් දක්වමින් 22 හැවිරිදි ටොන්පේ නම් සෙබළිය සඳහන් කර තිබුණේ මෙම පුහුණුවෙන් පසු පිරිමි සෙබළුන් මෙන් අභියෝග දැරීමට ඔවුන්ටද හැකියාව පවතින බවයි.
අවසාන වශයෙන් ඔවුන් පවසා තිබුණේ කාන්තා සෙබළියන් අන් කවරදාකටත් වඩා දැන් ඕනෑම දෙයකට සූදානමින් පසුවන බවයි.