දේශපාලන පක්ෂ විසින් කාන්තාවන් නියෝජනය කරවනු ලබන්නේ හොද්දට ලුණු දමන්නාක් මෙන් බව මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. හෙතෙම මේ බව පැවසුවේ, පෙරේදා (01දා) ගාල්ල මහලේකම් කාර්යාලයේදී පැවැති කාන්තා දින සැමරුම් උත්සවයේ විශේෂ දේශනයක් කරමිනි.
එහිදී අදහස් දැක්වූ මහින්ද දේශප්‍රිය මහතා,
'දේශපාලන පක්ෂ 64ක් ලියාපදිංචි වී තිබෙනවා. නමුත් පක්ෂයේ ලේකම්වරියන් වශයෙන් ඉන්නෙ පක්ෂ දෙකක පමණයි. පුරුෂාධිපත්තිය හැමතැනම. සල්ලි බෙදන මැර දේශපාලනයක්. පොරොන්දු දේශපාලනයක් නොවේ අවශ්‍ය, ප්‍රතිපත්ති දේශපාලනයි. කාන්තාවන් ඉදිරියට ඒමට බයයි. මේ නිසයි පක්ෂවලින් අපේක්ෂක ලැයිස්තුව සකස් කිරීමේදී තුනෙන් එකක්වත් කාන්තා නියෝජනය අවශ්‍යයි කියන්නෙ.
කාන්තාවන් දේශපාලනයට පැමිණ තනතුරු ලැබීම පිළිබඳ මට මාගේ උපන් ගමවන අම්බලන්ගොඩින්ම අත්දැකීම් තියෙනවා. 69 අවුරුද්දෙ අම්බලන්ගොඩ නගරාධිපතිනිය වුණේ සිරිනාවතී ද සිල්වා මහත්මිය. කාන්තාවන් දේශපාලනයට ඉදිරිපත් වීමට අකමැති වුණත් රජයේ විවිධ තනතුරු ලැබීමට අද කාන්තාවන් මුල් වී තිබෙනවා. පරිපාලන සේවය, ග්‍රාම සේවා නිලධාරී තනතුරුවල කාන්තා ප්‍රතිශතය වැඩියි. හරිහරියට රටේ කාන්තා නියෝජනයක් තියෙනවා නම් ඇයි දේශපාලනයට කාන්තා නියෝජනයක් නැත්තෙ. ඉස්සර පාසල්වල හිටියේ ශිෂ්‍ය නායකයෙක් පමණයි.
අපේ කාලේ අම්බලන්ගොඩ ධර්මාශෝකෙත් එහෙමයි. දැන් හරි හරියට ගැහැනු, පිරිමි ඉන්න නිසා ශිෂ්‍ය නායක නායිකාවන් ඉන්නවා. රටේ හරි හරියට ගැහැනු පිරිමි ඉන්න නිසා දේශපාලනයේදීත් කාන්තාවන් වැඩි ප්‍රතිශතයක් ඉන්න ඕන. දේශපාලනයට එන්න බිය විය යුතු නැහැ. ගහගන්න, රණ්ඩු වෙන්න නොවේ, දේශපාලනය කියන්නෙ යහපත් ක්‍රියාවක්. හරි වැරැද්ද තෝරාගන්න පුළුවන් අය අවශ්‍යයි. කාන්තාවන්ට වන අසාධාරණකම් පිළිබඳව නඩු ඉක්මනට විසඳා තීන්දු දිය යුතුයි. ළමා කාලයේදී වන අපචාර සිද්ධියකට නඩු විසඳලා තීරණ දෙන්නෙ ඒ ළමයා මව් කෙනෙක් වෙලා ළමයි ලැබුණාට පසුවයි* යැයි පවසා සිටියේය.
මෙහිදී රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රි විජේසුන්දර, ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර, සහකාර දිස්ත්‍රික් ලේකම් චතුරංග ගුණසේකර යන මහත්ම මහත්මීහුද අදහස් දැක්වූහ.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්