කාන්තාව කියන්නේ මාර්තු 8 වෙනිදට සීමා කරපු කෙනෙක් නෙවෙයි...
මේ රටේ කාන්තාවන් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව ඇතැම් පුද්ගලයන් කතා කිරීමට අකමැති වන්නේ ඔවුන් තුළ පවතින කුහකම හේතුවෙන් බවත්, කාන්තාව යනු මාර්තු 8 වෙනි දිනට සීමා කළයුතු අයෙකු නොවන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ රත්නපුර, කලවාන, මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ 2016 වර්ෂයේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත දිවයිනේ කලා අංශයෙන් සිව්වන ස්ථානය හිමිකර ගැනීම වෙනුවෙන් කැප වූ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට හා දරුදැරියන්ට උපහාර දැක්වීමේ උත්සව අවස්ථාවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, 'ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහිකරපු රට ශ්‍රී ලංකාව කියන්න අකමැති අය අපි අතර ඉන්නවා. මේ රටේ කාන්තාවන් ලබපු එවැනි ජයග්‍රහණ ගැන කතාකරන්න ඒ අය කැමති නෑ. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි ඊර්ෂ්‍යාව, කුහකකම නිසා. තව දින කිහිපයකින් අපි ජාත්‍යන්තර කාන්තා දිනය සමරනවා. එහෙම සමරනකොට ඒ අය කියන්නේ අද ගෑනුන්ගේ දිනේනෙ. ඔන්න ගෑනු ටිකක් එකතුවෙලා පෙළපාලි යනවා කියලා. කාන්තාව කියල කියන්නේ මාර්තු 8 වෙනිදට වෙන්කරපු කෙනෙක් නෙවෙයි. මුළු ජීවිතේම වටිනාකමක් ඇති කරලා, වටිනාකමක් ලබාදීලා මේ පරම්පරාව ඉදිරියට ගෙනියන්න බිහිවෙච්ච මහා පවුර මහාකන්ද තමයි කාන්තාව කියලා කියන්නේ.
මේ රත්නපුර දිස්ති‍්‍රක්කයේ පාසල් 700කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් කලවාන මීපාගම ජයන්ති මහා විද්‍යාලය දිවයිනෙන් 4 වෙනි තැනට පත්වෙද්දිත් ඒ පිටුපස වැඩි වශයෙන් හිටියේ කාන්තාවන්. මේ දේවල් අපි අගයන්න ඕන. මම පහුගිය දවසක රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් එක්ක කතා කරනකොට ඔහු කිව්වා දිස්ති‍්‍රක් ලේකම්වරු විදිහට තවත් කාන්තා නිලධාරිනියන් පත්කරන්න අමාරුයි කියලා. වැඩි වශයෙන් ඉන්නේ කාන්තා දිස්ති‍්‍රක් ලේකම්වරියන්.
අධ්‍යාපනය තුළින් ඉදිරියට එන්නේ කාන්තාවද පිරිමියාද කියන දේ නෙවෙයි. අද අපි ජීවත් වෙන රටේ අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කරලා තියෙනවා. ඇතැම් ප්‍රදේශවල දෙවනි වර දරුවන් සාමාන්‍ය පෙළ විභාගය කරන්නේ නෑ. තේ කෑල්ලට හරි පතලකට හරි වැඩට යනවා. අධ්‍යාපනය අනිවාර්ය කර තිබීම තුළ ලොකු බලාපොරොත්තුවක් මේ රජයේ තියෙනවා” යනුවෙන් අමාත්‍යවරිය සඳහන් කළාය.
1955 වර්ෂයේ ආරම්භ කරන ලද රත්නපුර කලවාන මීපාගම ජයන්ති මහ විද්‍යාලයේ 2016 වර්ෂයේදී දරුවන් 23 දෙනෙකු උසස් පෙළ විභාගය සඳහා මුහුණ දුන් අතර, එයින් දරුවන් 5 දෙනෙකු විශ්වවිද්‍යාල වරම් හිමිකරගන්නා ලදී. දුෂ්කර වූත්, කටුක වුත් අත්දැකීම් මැද ජීවත් වන මෙම දරුවන් උසස් පෙළ විභාග ප්‍රතිඵල මත දිවයිනෙන්ම සිව්වන ස්ථානය ලබාගැනීම මහත් ආඩම්බරයකි. මෙම ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයටත්, දෙවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයටත්, තෙවන ස්ථානය කොළඹ විශාකා විද්‍යලයත් ලබා ඇති අතර, සිව්වන ස්ථානය රත්නපුර කලවාන මීපාගම ජයන්ති මහ විද්‍යාලය හිමි කරගෙන ඇත.
මීට අමතරව 2016 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විෂයන් අතරින් බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට ප්‍රථම ස්ථානය, සිංහල විෂයට දෙවන ස්ථානයත්, ඉතිහාසය විෂයට හතරවන ස්ථානයත් මේ දරුවන්ට හිමි වී තිබේ.
මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, කලවාන එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක සරච්චන්ද්‍ර රාමනායක, නිවිතිගල කලාප අධ්‍යාපන අධ්යක්ෂ සුවිනීතා දෙල්ගොඩ ආරච්චි, විද්‍යාලයේ විදුහල්පති ඩී. ඒ. මහින්ද යන මහත්ම මහත්මීන් එක්විය.