Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 ඔක්තෝබර් මස 16 වන බදාදා
2024 ඔක්තෝබර් මස 16 වන බදාදා
පවුලේ වගකීම් සමුදාය මෙන්ම සැමියාගේ ව්‍යාපාර පවත්වාගෙන යාම පිළිබඳ අභියෝගයද සිය කරපිට හොවාගත් ඇය තම සැමියා මෙලෝ තලයේ ඉන්දූ ව්‍යාපාර දැවැන්ත වෘක්ෂයක් බවට පත්කරලන්නට වෙර දැරුවාය. එපමණකින් නතර නොවූ ඇය දැවැන්ත සමාජ සේවිකාවක්ද වූවාය. හැත්තෑ හය වසක ජීවන ගමනට සමුදෙමින් ඇය පසුගිය සතියේ මෙලොවින් නික්මුණේ සමස්ත ශ්‍රී ලාංකේය කාන්තා පරපුරට ආදර්ශ සමුදායක් ඉතිරි කරමිනි. ඇය අන් කවුරුත් නොව එදිරිසිංහ යන තම ස්වාමිපුරුෂයාගේ නාමය ඉදිරියට රැගෙන ගිය ආචාර්ය සෝමා එදිරිසිංහයන්ය.මෙරට දැවැන්ත මෙන්ම ජනප්‍රිය කර්මාන්ත රැසක ඊ.ඒ.පී. එදිරිසිංහ යන නාමය රැන්දූ ඇයගේ ආයතන හා සේවාවන් පිළිබඳ තතු දන්නා නමුදු ඇගේ අතීත තතු බොහෝ දෙනෙකු නොදන්නා බැවින් මෙලෙස ඇය පිළිබඳ අතීතාවර්ජනය කිරීමට අපි අදහස් කළෙමු.
ව්‍යාපාරිකයෙකු වූ චාල්ස් පෙරේරාගේ දියණියන් අටදෙනාගෙන් එක් අයෙකු වූ සෝමා මෙලොව එළිය දකින්නේ 1939 වසරේ ජූලි 05 වැනි දිනය. ඒ පවුලේ හත්වැන්නිය ලෙසය. එලෙස මෙලොව එළිය දකින ඇය තම මවගේ උණුසුම බෙදාගනු ලැබුවේ ඇගේ වැඩිමහල් සොහොයුරියගේ දියණියත් සමගය. ඒ ඇගේ වැඩිමහල් සොහොයුරිය පළමු දරු ප්‍රසූතියේදී මිය යෑම හේතුවෙනි. වටරැක ගම්මානයේ ගැමි පරිසරයක් තුළ හැදී වැඩෙන ඇය මූලික අධ්‍යාපනය වටරැක රජයේ මූලික පාසලෙන් සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් ලද අතර, පසුව නුගේගොඩ සමුද්‍ර දේවි විද්‍යාලයට ඇතුළුව අධ්‍යාපන කටයුතු හැදෑරුවාය. ඇය කුඩා කාලයේදී කෙළිලොල් මෙන්ම දඩබ්බර චරිතයක් බවට පත්වූ ආකාරය ඇගේ චරිතාපදාන ග්‍රන්ථයේ මෙලෙස සඳහන් කර ඇත.
“ළමා අවධියේ ඇතිවන දඟකාරීත්වයේ චමත්කාරය මම නිබඳව විඳ ඇත්තෙමි. ඒ හේතුවෙන් ගුරුවරුන්ගේ පහරකෑම්වලට ලක්ව ඇත. අපේ විදුහල්පතිනිය වූ ඕල්ඩන්ස් මහත්මියගෙන් මා දඬුවම් ලබා ඇති වාර අනන්තය. එහෙත් පාසලෙන් ඉවත් කරන්නට තරම් ඒ වරදවල් දරුණු නොවීය" (අසිරිමත් ජීවිතයක් - දයාවංශ කරුණාමුණි පිටු අංක 37,38)
කෙසඟ ශරීරයකින් යුතු වූ තමන් පාසල් සමයේ නිතර නිතර ක්ලාන්ත වූ බව සිය චරිතාපදාන ග්‍රන්ථයේ සඳහන් කරන ඇය තම යොවුන් වයසේ කළ දඟකාරකම් පිළිබඳවද මෙලෙස සඳහන් කර ඇත. "ඒ වනවිට කරුණා අක්කා විවාහ වී පදිංචි වී සිටියේ කොළඹ තිඹිරිගස්යායේ නිවසකය. දින කිහිපයක් එහි නතර වී සිටි අපි තිදෙනා (මා, සුසිලා සහ ආරි අක්කා) දිනක් සාකච්ඡා කොට කිලිටි ඇඳුම් ඇඳගතිමු. පසුව බෙලෙක්ක කිහිපයක් අතට ගත් අපි තිඹිරිගස්යාය ප්‍ර‘දේශයෙන් ඈතට ගොස් රොඩී ගැහැනුන් ලෙස සිඟා කෑමට පටන්ගතිමු" (අසිරිමත් ජීවිතයක්, පිටු - 43)පාසල් සමයේ ක්‍රීඩාවලින්ද දස්කම් දැක්වූ ඇය උස පැනීම හා දුර පැනීම ඉසව්වලින් මාණ්ඩලික හා දිස්ත්‍රික් තරගවලින්ද ජය ලබාගෙන ඇත.
ගැහැනු ළමයින් අට දෙනෙකුගේ පියෙකු ලෙස ඇගේ පියා ඔවුන්ට ආදර සබඳතා සඳහා අවසර ලබා දී නැත. ඇයට වයස අවුරුදු 17ක්ව තිබියදී වැඩිමහල් සොහොයුරියක වූ ආරිට ව්‍යාපාරිකයෙකු වූ ඊ.ඒ.පී. එදිරිසිංහ යන අයගෙන් විවාහ යෝජනාවක් ලද බවත්, ඔහු දේහ වර්ණය කළු වීම නිසා තම සොහොයුරිය එය ප්‍රතික්ෂේප කළ බවත් ඇය සඳහන් කරන්නීය. පසුව එම යෝජනාව ඇය වෙත යොමුවෙද්දී තමන් ඒ සඳහා කැමැත්ත පළකළේ රඟපෑමට දැක්වූ ඇල්මත්, ඒ වනවිට ඊ.ඒ.පී. එදිරිසිංහයන් සිනමාවට සම්බන්ධ වී සිටීමත් නිසා බව ඇය අසිරිමත් ජීවිතයක් කෘතිය තුළ මෙලෙස සඳහන් කර ඇත.
"විවාහයක් ගැන සිතා නොසිටි පාසල් යුවතියක වූ බැවින් මට විවාහයේ ඇති බැරෑරුම්කම තේරුණේ නැත. එහෙත්, එදිරිසිංහ මහතා චිත්‍රපටවලට සම්බන්ධ වී සිටීම හේතුවෙන් මම ඔහු කෙරෙහි දැඩිව බැඳී සිටියෙමි. මට අවශ්‍ය වූයේ චිත්‍රපටයක රඟපෑම සඳහා අවස්ථාවක් ලබාගැනීමයි." ඒ අනුව 1960 වර්ෂයේ දෙසැම්බර් මස ගාලු මුවදොර හෝටලයේදී ඇය විවාහ දිවියට ඇතුළු වූවාය. විවාහයෙන් පසු ඇය කොළඹ ජාවත්තේ, සුලෙයිමාන් ටෙරසයේ පිහිටි ඊ.ඒ.පී. එදිරිසිංහයන්ගේ සුවිසල් මැදුරේ පදිංචියට පැමිණ ඇත.
" මේ අතර, නිවසේ දහවල් තනිව සිටීම දුෂ්කර කාර්යයක් වූයෙන් මම කෑම සකස් කිරීමට හා ඇඳුම් මැසීමට අදාළ ඉගෙනීම් සඳහා පන්ති දෙකකට ගියෙමි"
සියලු සැප පහසුකම් මධ්‍යයේ සේවිකාවන් රැසක් සමග කොළඹ සුවපහසු ජීවිකාවක් උරුම වුවද, බිරිඳකගේ වගකීම් නිසිලෙස ඉටුකිරීම සඳහා තමා උත්සාහ ගත් බව ඇය සඳහන් කරන්නීය. ජීවිතයේ අත්දැකීම් අල්ප බිරිඳකට හෝ වේවා, තම ස්වාමියාගේ ආදරය, සෙනෙහස හමුවේ පරිණත වන්නට හැකි බව ඇය මෙලෙස සඳහන් කරන්නීය.
"ගේදොර සියලු අවශ්‍යතා සපුරාලූයේද එදිරිසිංහ මහතාය. සැබැවින්ම විවාහ වූ ගෘහිණියකට අවශ්‍ය බොහෝ සුදුසුකම් මා තුළ නොවූවද ඔහු ඒ ගැන අමනාප නොවීය. කුමන අංශයකින් බැලුවද එදිරිසිංහ මහතා ගුණ යහපත් සැමියෙකු බව මට දැනෙන්නට වැඩි කලක් ගතවූයේ නැත. එය මාගේ ජීවිතය සාර්ථක වන්නට වැටුණු හොඳම පදනම යැයි දැන් මට සිතේ" (අසිරිමත් ජීවිතයක්, පිටුව 71)
පුතණුවන් තිදෙනෙකුගේ හා දියණියකගේ මවක බවට පත්වන ඇය නිවසේ සියලු කටයුතු සිය අතට ගෙන ඇත්තේ මවක ලෙස වගකීම් දැරීම ආරම්භ වූ පසු බව මෙසේ සඳහන් කර ඇත."බබා වගේ හිටියා හොඳටම ඇති යැයි මටම සිතුණි. දරුවන් ඉපදීමෙන් පසු මම ධෛර්යසම්පන්න වීමි. කළ හැකි සෑම කාර්යයක්ම තනිව කරගැනීමට මම උත්සාහ කළෙමි" (අසිරිමත් ජීවිතයක්, පිටුව 79)
සෑම සැප සම්පතක්ම තිබුණද තම දරුවන්ට තමන්ගේ වැඩ කටයුතු තනිව කරගැනීමට හුරුපුරුදු කළ ඇය, තම ස්වාමියාගේ ව්‍යාපාර අනාගතයේ තම දරුවන්ට භාරවන බැවින් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කළාය. ඒ නිසා ඇය සෑමවිටම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිතා තීන්දු තීරණ ගත්තාය.
කෙසේ නමුත් 1986 වසරේ ජනවාරි මස 23 වැනිදින ඊ.ඒ.පී. එදිරිසිංහ මහතාගේ වියෝවත් සමග ඇය දරුවන් සිවුදෙනාගේ මෙන්ම ඊ.ඒ.පී. ආයතන සේවකයන්ගේ වගකීම් සියල්ල සමග තනි වූවාය.
සැමියාගේ වියෝවත් සමග ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන යෑමේ ගැටලුවකට මුහුණදුන් ඇයගේ ධෛර්යය බවට පත්වූයේ ගංගාරාම විහාරස්ථානයේ පොඩි හාමුදුරුවන් වූ ගලබොඩ ඤාණිස්සර හිමියන් හා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අනුශාසනා බව ඇය සඳහන් කරයි. ඒ අනුව තම ස්වාමියාගේ ව්‍යාපාර කඩාවැටෙතැයි බලා සිටි අයට හා එම ව්‍යාපාර මිලදීගැනීමට බලා සිටි අයට ඇය මෙලෙස පිළිතුරු ලබා දී ඇත.
"කිසිම ව්‍යාපාරයක් දේපළක් මං විකුණන්නේ නැහැ. ඒවා තවදුරටත් ඉදිරියට ගෙනයනවා. පුළුවන්නම් තවත් බිස්නස් අරගෙන එන්න, මම අරගන්නවා. ඒ එදා මා කී වචනයි. මගේ වචනවලින් ඇතැම්හු පුදුමයට පත්වූහ. තවත් අයෙක් මා දෙස බලා උපහාසයෙන් මෙන් කට කොනකින් සිනාසුණේය. මේ ගෑනිට කරන්න පුළුවන් මොනවාද?" ඔවුන් එසේ සිතන්නට ඇත. (අසිරිමත් ජීවිතයක් - පිටු අංක 105)
මෙලෙස ඇය සිය සැමියාගේ ව්‍යාපාර ඉදිරියට රැගෙන යෑමට ගත් තීරණය අනුව ඇය එම වගකීම් නොපිරිහෙළා ඉටුකළාය. එහි ප්‍රතිපල ලෙස ඇය සිය සැමියා ජීවත්ව සිටියදී පවත්වාගෙන ආ ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන පැමිණියා සේම ඒවා ව්‍යාප්ත කළාය. එලෙස ඇය අධ්යක්ෂ ධුරය දැරූ ආයතන මෙලෙස සඳහන් කළ හැකිය.
තම වැඩිමහල් පුතණුවන් වන ජීවක එදිරිසිංහගේ යෝජනාවක් මත මිලදීගන්නා චැනල් 99 ලෙස ක්‍රියාත්මක ඊ.ටී.වී. නාලිකා දෙකත්, තවත් නාලිකා දෙකකුත් මිලදී ගෙන ඊ.ඒ.පී ව්‍යාපාරයේ ප්‍රකට නාමය වූ ස්වර්ණමහල් නාමයෙන් ස්වර්ණ යන්නත්, රූපවාහිනී නාළිකාවක් යන අරුත් දෙන වාහිනී යන්නත් එක්කර ස්වර්ණවාහිනී නාලිකාව බිහි කෙරෙන අතර, එම නාළිකාව විකාශය කරන වැඩසටහන්, ප්රවෘත්ති, ටෙලිනාට්‍ය වෙනුවෙන් සම්මාන රැසකට පාත්‍ර වී ඇත.
2000 වර්ෂයේදී ගුවන් විදුලි නාළිකා කීපයක් ආරම්භ කෙරුණු අතර ඒවා ශ්‍රී එෆ්.එම්., රන් වන් හා ඊ එෆ්.එම්. වේ. ශ්‍රී එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවකට ලැබිය හැකි විශිෂ්ටතම ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වන තරමටම ඉහළට ඔසවා තැබීමට ඇයට හැකිවිය.
ඊ.ඒ.පී. එදිරිසිංහයන් විසින් තම ජීවිත කාලය තුළ චිත්‍රපට 07 ක් නිෂ්පාදනය කර තිබුණු අතර ඉම්පාලා, නුවරඑළිය තිවෝලි, ඕඩියන්, ටවර් යන සිනමාහල්ද ඊ.ඒ.පී. නාමය යටතේ විය. තම ස්වාමියාගේ මෙම ව්‍යාපාරයද ඉදිරියට ගෙනයමින් සෝමා එදිරිසිංහ 1994 ධවල පුෂ්පය චිත්‍රපටය නිෂ්පාදනය කරමින් නැවතත් ඊ.ඒ.පී. චිත්‍රපට නිෂ්පාදනය ආරම්භ කළාය.
මේ වනවිට ඊ.ඒ.පී. නිෂ්පාදන හෙළ සිනමාවට දුලීකා, පිරිමියෙක් නිසා, සුහද සොයුරෝ, සැනසුම කොතැනද, කපටිකම, බයිසිකල් හොරා, ධවල පුෂ්පය, සෙයිලම, විසිදැල, රෑ දනියෙල් දවල් මිගෙල් I,II,III, රෝස වසන්තය, යකඩ පිහටු, හිරිපොද වැස්ස, සමාරා, තාරකා මල්, හාට් එෆ්.එම්, ඉර මැදියම, වන්ෂොට් වන්, සලෙළු වරම, අසනි වර්ෂා, සර් ලාස්ට් චාන්ස්, ටිකිරි සුවඳ ආදී චිත්‍රපට තිළිණ කර ඇත. ඒ අතරින් ඉර මැදියම චිත්‍රපටය දෙස් විදෙස් සම්මාන 27ක්ද, සෙයිලම සම්මාන 22ක්ද, විසිදැල සම්මාන 13ක්ද ආදී වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇත. එසේම ඇයගේ බාල පුතු වන අසංක එදිරිසිංහ යටතේ ඊ.ඒ.පී. සිනමා ශාලා ගණන 16 ක් දක්වා ඉහළ දමාගැනීමටද සමත් වූ අතර, සැවෝයි වැල්ලවත්ත, ජා ඇල මෙගා තියටර්, නුගේගොඩ ක්වින්ලන්, ගාල්ල ක්වීන්ස්, කුරුණෑගල සිනෙක්ස්පෝ යන සිනමා ශාලා නවීන ඩී.ටී.එස්. තාක්ෂණය එක්කළ සුපිරි සිනමා ශාලා බවට පත්විය.
තම ස්වාමිපුරුෂයා බිහිකළ ඊ.ඒ.පී. උකස් සේවාව අඛණ්ඩව පවත්වාගනිමින් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් ලෙස සමාගමක් පිහිටුවා, ඒ යටතේ උකස් මධ්‍යස්ථාන 50 ක් පමණ දිවයින පුරා පිහිටුවීමට ඇය සමත් වූවාය. එසේම එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ඊ.ඒ.පී සමූහය යටතේ ලීසිං, ඉඩම් අලෙවිය, නිවාස අලෙවිය, රන් භාණ්ඩ අලෙවිය, වෙළෙඳ ණය, කෘෂිකාර්මීකරණය, ගොඩනැගිලි ඉදිකිරීමේ අංශය ආදී දැවැන්ත ව්‍යාපාර සමාගමක් ලෙස ව්‍යාප්ත විය. ඇය මුල් පුටුව දැරූ මෙම ETI ආයතනය 2008/2009 ලෝකයේ හොඳම වාර්ෂික වාර්තාව හිමි ආයතනයට හිමි සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනාගනු ලැබීය.
හෙට්ටිවීදියේ රන් අධිකාරය බිඳ හෙළමින් සිංහල වෙළෙඳ ව්‍යාපාරිකයෙකු රන් වෙළෙඳාමට හෙට්ටිවීදියේ සාප්පුවක් විවෘත කරන්නේ ස්වර්ණමහල් නමිනි. අඩු ලාභයකින් වැඩි වෙළෙඳාමක් ඇති කරගැනීමේ අරමුණින් සිය සැමියා ආරම්භ කළ ස්වර්ණමහල් නාමය කොළඹින් පිට ප්‍ර‘දේශ කරාද රැගෙන යන ඇය ලංකාවේ විශාලතම ස්වර්ණාභරණ අලෙවි සැල් ජාලය බිහි කරන්නීය. ඒ ස්වර්ණමහල් ශාඛා 19ක්ද විවෘත කරමිනි.
ඊ.ඒ.පී. එදිරිසිංහයන් යටතේ වූ වැල්ලවත්ත සෆායර් හා දෙහිවල කොන්කෝඩ් හෝටල් ද්විත්වය ඉහළ තත්ත්වයකට ඔසවා තැබූ ඇය ගල්කිස්ස වෙරළ තීරයේ පිහිටි ලැවීනියා බ්‍රීස් හෝටලය, කඩුවෙල රොක් ෂැලේ, නුවරඑළියේ හිල් කෝට් ආදියද ඊ.ඒ.පී. හෝටල් සමූහය අතරට එක්කළාය.
සෝමා එදිරිසිංහ නාමය සිංහ සමාජය හා එකට එක්ව කියැවෙන වාර අපමණය. ඒ ඇය සිංහ සමාජය හරහා ජනතාවට කළ සේවාව අති මහත් වූ බැවිනි. ඇය සමාජ සේවාවන්ට යොමුවන්නේ 1961 වර්ෂයේදීය.ඒ රජරට ප්‍ර‘දේශයේ ජනතාව ගංවතුරට මුහුණදුන් අවස්ථාවේ සිය සැමියා සමග එක්ව විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර එක්කිරීමට යොමුවීමෙනි. ඉන්පසු 1974 වර්ෂයේ සිංහ සමාජයට එක්වූ ඇය ඒ හරහා සිදුකළ සේවාවන් වෙනුවෙන් ලද දෙස්විදෙස් සම්මාන හා ඇගයීම් ගණනින් ඉහළය.
ඒ පිළිබදව ඇය මෙසේ සඳහන් කරන්නීය. ,එක් අතකින් මෙම සියලු සම්මාන ඇගයීම් මට හිමිවූවක්ද, නොඑසේ නම් ශ්‍රී ලාංකේය කාන්තා පරපුර ලැබූ ජයග්රහණයක්දැයි වරෙක මට නොසිතුණා නොවේ. කලක් දරුවන් බිහිකිරීමටත්, පවුලේ කටයුතු වෙනුවෙන් නිවසට කොටු වී සිටිමටත් සිදු වූ මෙරට කාන්තා පරපුර සමාජයේ විවිධ සීමා හා බාධා මැඩගෙන ඉදිරියට ගිය ගමනේ එක් චරිතයක් වීමට මටද අවස්ථාවක් ලැබුණු බව දැන් මට සිතේ. එවන් චරිතයක් වීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව එක් අතකින් මම පුදුම වෙමි, (අසිරිමත් ජීවිතයක් - පි.අ. 167)
ඇයගේ සභාපතිත්වය ඇතිව සිංහ සමාජය සුවනෙත සිංහ අක්ෂි රෝහල, සංහිඳ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානය ආදිය ඇතුළු ප්‍රජා සත්කාර රැසක් පවත්වාගෙන ගියේය. එසේම රෝහල් සඳහා ගොඩනැගිලි, විහාරස්ථාන සඳහා උදව් උපකාර කිරීම, අසරණ මිනිසුන් සඳහා උපකාර කිරීම ආදී සමාජ සත්කාර රැසක්ද සිදුකර ඇත.
දිනකට තමන්ට හමුවන සරණක් අහිමි මිනිසුන් වෙනුවෙන් මානූෂීය හස්තය දිගුකිරීම සඳහා ඇය බිහිකළ ආයතනයක් ලෙස ජනසරණ හා පුනර්ජීව හදවත් සැත්කම් අරමුදල හඳුන්වාදිය හැකිය. මෙම වැඩසටහන් හරහා ඇය සිදුකළ සේවාවන් ගිණිය නොහැකිය. එසේම ඇයගේ කාර්යමණ්ඩලයේ සාමාජිකයන් පවසන පරිදි ඇය ඉතා කරුණාබර, තම සේවකයන් පවුලේ සාමාජිකයන් ලෙස සිතා කටයුතු කළ තැනැත්තියකි.
විශේෂයෙන් ඇය ආහාර ගන්නා අවස්ථාවක ඇය හමුවීමට පැමිණෙන අය සමග පවා ඇගේ ආහාර වේල බෙදාගැනීමටත්, දුප්පත් පොහොසත් භේදයකින් තොරව ඕනෑම නිවසකට ඇතුළුව කෑමබීම පවා ගැනීමටත් ඇය නිහතමානී වූ බවද ඔවුහු සඳහන් කරති. තවද ඇය සිය අවසන් ජන්ම දින උත්සවය සඳහා ආරාධනා කළ අයට තෑගි වෙනුවට ඒ සඳහා වැයවන මුදල් පුනර්ජීව හදවත් සැත්කම් අරමුදල සඳහා වන කැටයට දමන ලෙස සඳහන් කළ බවත්, එම කැටයට එකතු වුණු මුදල් රිසිට් පත් නිකුත් කර අරමුදලට බැර කළ බවත් ඔවුහු සඳහන් කරති.
එසේම තම වත්තේ වැවෙන ගසක ඵලදාව පවා තම සේවක මණ්ඩලය සමග බෙදාගත් ඇය සිංහල අලුත් අවුරුද්දට පෙර පවුල් 1000කට ආහාර ද්‍රව්‍ය බෙදාදීම සඳහා වන කටයුතු ඇගේ නිවසේ ඉතා ඕනෑකමින් සිදුකරනු ලැබූ බවද ඔවුහු කියා සිටිති.උදෑසන අවදි වන ඇය දවසේ කාර්යයන් සිහිපත් කර ඒවා සටහන් තැබීමත්, ඒහි පස්සිකෝ ආගමික වැඩසටහන හරහා බුදුන් වැඳීමත් දෛනික කාර්යයන් බවට පත්කරගෙන තිබුණු අතර, තම දෛනික කාර්යයන් පසු විපරම් කිරීම ඇගේ දියුණුවේ රහස විය හැකි බවද ඇගේ කාර්යමණ්ඩලය සිහිපත් කරයි.
විශේෂයෙන් තමාට ලැබෙන සියලු ලිපිවලට පිළිතුරු යැවීමද ඇය විසින් සිදුකරන ලද බවද ඔවුහු පවසති. ආගමික කටයුතු සමග ඉතා සමීපව කටයුතු කළ ඇය කෝට්ටේ සංහිඳ වැඩිහිටි නිවාසය ඉදිකරන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ප්රදානය කරන ලද ඉඩමකය. වැඩක් කිරීමට පෙර ඇයට ඒ පිළිබඳ ඉවෙන් මෙන් යමක් පෙර සිට දැනීමේ ස්වභාවයක් තිබූ බවද ඇගේ කාර්යමණ්ඩලය සඳහන් කරන අතර, ඒ පිළිබඳ ඇගේ චරිතාපදානයේ ඇය සඳහන් කර ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයා වන ඊ.ඒ.පී. එදිරිසිංහයන් ඇය පිටුපස සිට ඇයට මඟපෙන්වන්නේ යැයි ඇයට දැනෙන බවය. කෙසේ නමුත් ඇය පසුගිය සතියේ ජීවිතයෙන් සමුගැනීමට පෙරාතුව තමා මියගිය පසු සැබැවින්ම දුක්වන්නේ කවුරුන්ද යන්න දැනගැනීමට කැමති බව වරක් පැවසුවේ යැයි ආචාර්ය සෝමා එදිරිසිංහයන්ගේ ලේකම්වරිය සඳහන් කර සිටියි.
රූමත් කාන්තාවක ලෙස තම පෙනුම පිළිබඳ වඩාත් සැලකිලිමත් වූ ඇය එම පෙනුමින්ම අවසන් ගමන් යාමට අවශ්‍ය බවට කළ ඉල්ලීම නිසා ඇය මියගිය දිනම අවසන් කටයුතු සංවිධානය විය. කෙසේ නමුත් ඇය රෝගාතුරව සිටියදී පවා හදවත් රෝගීන් වෙනුවෙන් පුනර්ජීව පාගමනට එක්වූ අතර, තමා ඉගෙනගත් පාසල වූ නුගේගොඩ සමුද්‍ර දේවි පා ගමන වෙනුවෙන් ඇය දිවියේ අවසන් වරට පා නැගුවාය. එතැන් පටන් දැඩිව රෝගාතුරව සිටි ඇය ලෙඩ ඇඳේ සිටියදී පවා ඇවිදීමට නොහැකි අසරණ පුද්ගලයෙකුට ඇවිදීම සඳහා ආධාරකයක් පරිත්‍යාග කරන්නට කාලය වෙන් කර ඇත. තමා හරිහම්බ කළ මුදල් හා ආධාර එකතු කරමින් ඇය කළ සේවාවන් බොහෝය. තමන්ට තවත් ආත්ම තුන හමාරකින් පසු නිවන් දැකීමට හැකිවනු ඇති බව විශ්වාස කළ ආචාර්ය සෝමා එදිරිසිංහයන් වෙනුවෙන් අද (13දා) ඇය ඉදිකළ සංහිඳ වැඩිහිටි නිවාසයේ සාංඝික දානයක් පිරිනැමීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd