මව්කිරි දීමෙන් කාන්තාවකට ලැබෙන වාසි රැසක් පවතී. ඒ අතරට පියයුරු පිළිකා වැලඳීමේ අවධානම අඩුවීම ඇතුළත්වේ. එසේම නවතම පර්යේෂණයකින් හෙළිදරව් කරගෙන ඇති ආකාරයට දරුවෙකුට මාස හයක්වත් මව්කිරි ලබාදෙන මවකට ගර්භාෂයේ පිළිකා ඇතිවීමේ අවධානමද 11%කින් අවම වන බවට පැවසේ.
මාස හයකට වැඩි කාලයක් මව්කිරි ලබාදෙන මව්වරුන්ට මෙම වාසිය තවත් වැඩි ප්‍රතිශතයකින් අත්විඳීමේ හැකියාවක් ඇති බවද මේ පිළිබඳව පර්යේෂණය සිදුකළ ඕස්ට්‍රේලියාවේ QIMR Berghofer Medical Research Institute හි මහාචාර්යවරු සඳහන් කරති.
මේ වනවිට සංවර්ධිත රටවල් වන කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව වැනි රටවල වෙසෙන කතුන් අතර වැඩි වශයෙන් දැකගත හැකි පිළිකාවන් ලැයිස්තුවේ සිව්වැනි තැන ගෙන තිබෙන්නේ ගර්භාෂගත පිළිකාය.
එහෙයින් මෙම පිළිකාවට ගොදුරු නොවීමට කළ හැකි දෑ පිළිබඳ වැඩි අවධානයක් යොමුකිරීමට කාන්තාවන් දැනුම්වත් වී සිටීම වඩාත් සුදුසු බව එම පර්යේෂණ ආයතනයේ මහාචාර්යය සුසන් ජෝඩ්න් මහතා පවසා සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය වන්නේද අවම තරමේ දරුවෙකුට මාස 6ක් යන තුරුවත් මව්කිරි ලබාදිය යුතු බවයි. මෙම පර්යේෂණය සඳහා ඇමෙරිකාව , කැනඩාව, යුරෝපය , චීනය, ඕස්ට්‍රේලියාව යන රටවල පර්යේෂකයන්ගේ දායකත්වය ලැබී ඇති අතර, පර්යේෂණය සඳහා 26,000ක් පමණ දරුවන් සිටින මව්වරුන් යොදාගෙන තිබේ.
එම කාන්තාවන් අතර 9000කට ගර්භාෂගත පිළිකාමය තත්ත්වයන් හටගෙන ඇති බවට සොයාගත් බවද ඔවුහු සඳහන් කරති. මෙහිදී පර්යේෂණයට ලක් කළ කාන්තාවන්ගෙන් වයස, ජාතිය හෝ වර්ගය, අධ්‍යාපන මට්ටම, ලබාගෙන ඇති පවුල් සැලසුම් සඳහා භාවිතකරන ඖෂධ වර්ග, ඔසප් වීම පිළිබඳ තොරතුරු, අවසාන දරු ප්‍රසූතියේ සිට ශරීර ස්කන්ධ දර්ශකයේ හැසිරීම යන සාධකයන් පිළිබඳවද අවධානය යොමුකර තිබේ.
මෙම පර්යේෂණයේදී තහවුරු කරගත් තොරතුරු අනුව මව්කිරි දීමෙන් ගර්භාෂගත පිළිකා වැලඳීම 100%කින් අවම කිරීමක් නොකරන බවත්, එම තත්ත්වයට ගොදුරුවීමේ අවධානම පමණක් පහළ දමන බවත් ඔවුහු වැඩිදුරටත් දන්වා සිටිති.
ඩේලිමේල් වෙබ් අඩවිය ඇසුරෙනි.
නිසංසලා