පාසල් කාලය යනු ඕනෑම පුද්ගලයෙකුගේ සුන්දරම කාලයයි. මේ සුන්දර කාලය සුන්දරව විඳීමට අප දරුවන්ට පුරුදු කළ යුතුය. නමුත් වර්තමානය වන විට මේ සුන්දරත්වය විඳින්නේ කොතරම් සුළු පිරිසක්ද? බොහෝ දරුවන් නව තාක්ෂණයේ වහලුන් බවට පත්වී හමාරය. නවීන තාක්ෂණය සමග ගනුදෙනු කරන අපේ දරුවන් අද ඒ නිසාම ප්‍රශ්න ගණනාවකට මුහුණපා ඇත.
පාසල් දරුවන් අතර ජංගම දුරකථන භාවිතය වර්තමානය වනවිට සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වී ඇත. පසුගිය වසර කිහිපය දෙස හැරී බැලීමේදී පාසල තුළට ජංගම දුරකථනයක් ගෙන ඒමේ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ දරුවන් බොහොමයකි. ඒ පිරිසෙන් බොහොමයක් බාලිකා පාසල්වල දැරිවියන්ය. ජංගම දුරකථන පාසලට රැගෙන ඒම තහනම් නමුත් දරුවන්ගේ අනාරක්ෂිත තත්ත්වය තුළ දෙමාපියන් නිරතුරුවම තම දරුවන් සමග සම්බන්ධතා පැවැත්විය යුතුය. එම නිසා ජංගම දුරකථන තහනම් කිරීම වැනි තීරණ ප්‍රශ්නයට විසඳුමක් නොවේ.
පාසල් සිසුන්ගෙන් වැඩි පිරිසක් දුරකථන භාවිත කරනුයේ තමන් ළඟ මිල අධික වටිනා ෆෝන් එකක් තිබෙන බව අනෙක් අයට පෙන්වීමටත්, ජංගම දුරකථනයෙන් උපරිම ප්‍ර‘යෝජන ලබා ගැනීමටත්, දුරකථන සම්බන්ධයෙන් මනා දැනුමක්, අවබෝධයක් තිබෙන අයෙක් ලෙස සමාජය තුළ කැපී පෙනෙන බොලඳ උත්සාහයත් මතය.
බාලිකා පාසල් දැරියන් සම්බන්ධයෙන් ගත් කල ඔවුන්ගෙන් උසස් පෙළ හදාරන සිසුවියන් වැඩි පිරිසක් ජංගම දුරකථන භාවිත කරයි. පාසල තුළට ජංගම දුරකථන රැගෙන යාම තහනම් වන නමුත්, අමතර පන්තිවලට සහභාගී වන උසස් පෙළ සිසුවියන්ගෙන් වැඩි පිරිසකට ජංගම දුරකථනයක් ඇත. බොහෝවිට සාමාන්‍ය පෙළ සමත් වීමේ තිළිණයක් ලෙස දරුවනට ජංගම දුරකථනයක් ලබාදෙන තැනට වර්තමාන දෙමව්පියෝ පත්ව ඇත. එය දරුවා නොමග යැවීමට සිදුකරන රුකුලකි.
අද ඔබේ දරුවා ඔබට වඩා ජංගම දුරකථනය හා පරිගණකය භාවිතය පිළිබඳව දැනුමෙන් සන්නද්ධයි. එය ඔබට ආඩම්බර වන්නට පුළුවන්. ඒ ඔබට දිනිය නොහැකි ලෝකය ඔවුන් ඉතා ඉක්මනින් දිනාගත් බව ඔබට හැඟී යන නිසාවෙනි. එහෙත් ඔබ දිනූ ලෝකය ඉක්මනින් උදුරාගන්නට සමත් වන්නේද ඒ මෙවලම්ය.
පෑනේ මිතුරු මිතුරියන්ට ලිපි ලියමින් සමාජ සම්බන්ධතා ගොඩනැගූ යුගය යල්පැනගොස් ඇත. ඒ වෙනුවට ඔබේ දරුවාට සැනින් මිතුරන්, අදහස්, උදහස්, ආදරය, විනෝදය ගෙන දෙන්නේ ඔබම තිළිණ කළ ජංගම දුරකථනයයි. එය ඔබ නොදන්නා බොහෝ දේ දරුවාට සමීප කරනු ඇත. බොහෝවිට මේවායේ ගොදුරු බවට පත්වන්නේ ඔබගේ අහිංසක දරුවාය.
වර්තමානය වනවිට ජංගම දුරකථනයක් යනු ඇමතුමක් පමණක් ලබාගත හැකි උපකරණයක් නොවේ. ඒවායේ විවිධ වූ පහසුකම් තිබේ. එය පරිගණකයක් තරමටම දියුණුය. එබැවින් දරුවන්ගේ අතට ජංගම දුරකථනයක් ලැබීම යනු ඔවුන් වෙනම ලෝකයක් වෙත යනවා හා සමානය. මෙහිදී බොහෝවිට කරදරවල වැටීමේ ඉඩකඩ ඇත්තේ දැරිවියන්ය. පාඩම් කළයුතු කාලයේ අන්තර්ජාලයේ සැරිසැරීම, කෙටි පණිවුඩ යැවීම, සමාජ ජාල භාවිතය, දුරකථන භාවිත කරමින්, විවිධ ක්‍රියා කිරීමට කාලය වැය කරයි. වර්තමානය වනවිට බොහෝ දරුවන් ජංගම දුරකථනය සමග හුදකලා වීමට යොමුව ඇත. ඔවුන්ට ළමා කාලය මඟහැරී ගොස්ය. දෙමාපියන් ලෙස ඔබගේ වගකීම වනුයේ දරුවන් මෙවැනි තත්ත්වයන්ගෙන් මුදා ගැනීමය.
මඳකට ඔබ ඔබේ දරුවාගේ දුරකථනය පරීක්ෂාකර බලන්න. එහි වැදගම්මකට ඇති යමක් ඔබට සොයා ගැනීමට නොහැකි විය හැකිය. බොහෝවිට දෙමාපියන් මේවාට වැට බඳිනවා විනා වෙනත් පිළියමක් සෙවීමට යොමු නොවේ. අවශ්‍ය වන්නේ ඔබත් නව තාක්ෂණය පිළිබඳ ඉගෙන ගැනීමය. තරුණ පරපුර හා වැඩිහිටියන් අතර පවතින නව මාධ්‍ය සාක්ෂරතාවේ ඇති පරතරය නිසාම දරුවන් මෙවැනි අවදානම්වලින් මුදා ගැනීමේ හැකියාව වැළකී යනු ඇත. එම නිසා ඔබත් මෙම මාධ්‍යයන් හොඳින් හැසිරවීමට උගත යුතුය.
ඔබට හොඳ උදාහරණයක් පැවසුවහොත් ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක අධ්යක්ෂ ස්ටීව් ජොබ්ස් යනු අති නවීන තාක්ෂණය ලොවට හඳුන්වා දුන් ඉසිවරයෙකි. ඔහුට දරුවන් තිදෙනෙකු සිටී. ඔහුගේ මරණයට පෙර නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවෙකු ඔහුගෙන් අපූරු පැනයක් විමසීය.
“ඔබේ දරුවන් අයිපෑඩ් භාවිත කරන්නට බොහෝ කැමති ඇති?"
ස්ටීව්ගේ පිළිතුර මෙසේ විය.
“නැහැ, ඔවුන් එය පාවිච්චි කර නැහැ. අපි ඇත්තටම අපේ ගෙදරදී අපේ දරුවන්ට තාක්ෂණය භාවිත කිරීම සීමා කරලයි තියෙන්නේ"
මේ පියා තාක්ෂණික ලෝකයේ ප්‍රබලයෙකි. නමුත් එහි ඇති බලපෑම ඔහු වටහාගෙන සිටියි. මෙහිදී ඔහු ඒවා භාවිතය නවතා දැමීම නොව සීමාකර තිබේ. ඇත්තෙන්ම අවශ්‍ය වන්නේද එයයි. නමුත් බොහෝවිට සිදුවන්නේ දෙමාපියන්, වැඩිහිටියන් දරුවන් කරන කියන දෙයකට ඉඩදී බලා සිටීමය. එසේ නැතහොත් අවැඩක් සිදුවන බව හැඟුණොත් දරුවන් හට කායික, වාචික, මානසික ප්රචණ්ඩත්වය පතුරවමින් ආවේගශීලී ප්‍රතිචාර දැක්වීමය. එසේ කිරීමෙන් සිදුවන්නේ දරුවන් තවත් මුරණ්ඩු වීමය.
මෙහිදී අවශ්‍ය වන්නේ ඔබත් නවීන ජංගම දුරකථන පරිහරණය පුදුරු වීමය. ඔවුන්ගේ ළමා කාලය ඔවුන්ගෙන් උදුරා ගැනීමට ඉඩ නොදෙන්න. දරුවා නිතර හුදකලා වීමට, රහස්‍යභාවයට ප්‍රියකරනවා නම් ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමු කරන්න.
සරසි නෙත්මිණී