දළදා හිමි උදෙසා කෙරෙන වත්පිළිවෙත්වලදී කාන්තා දායකත්වය?
දළදා වත්පිළිවෙත් සහ කාන්තා ජන සමාජයේ පවතින ආකල්පයන් සම්බන්ධයෙන් ඇතමුන් තුළ විවිධ මතිමතාන්තර පවතී. ඒ පිළිබඳ අදහස් දැක්වීම සඳහා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහාලේඛකාධිකාරී ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් අප “අද”ට සම්බන්ධ කරගතිමු.
Q කාන්තාව සහ බුදුදහම සම්බන්ධයෙන් පවතින සබැඳියාව පැහැදිලි කළොත්?
දළදා හිමියන් වෙනුවෙන් දුරාතීතයේ සිට අද දක්වා පවත්වාගෙන එනු ලබන චාරිත්රවාරිත්ර අපේ සංස්කෘතිය සමග පවතින කරුණක්. බුද්ධ ධර්මය ගත්තොත් කාන්තාවට මූලික ලෙස වගේම හරවත් ආකාරයෙන් නිදහස තහවුරු කර ඇති දර්ශනයක් ලෙස හැඳින්වීමට පුළුවන්. කාන්තා නිදහස සහ විමුක්තිය වඩාත් තහවුරුව ඇත්තේ බුද්ධ දර්ශනය තුළයි. ඒ වගේම ජෛනාගමේද යම් නිදහසක් තිබුණා. නමුත් බුදුදහම තුළ සහ සමාජ වාතාවරණය තුළ කාන්තා විමුක්තිය යන්න වඩාත් පැහැදිලි වුණා.
ශාසනය පිහිටුවීමේදීද අෂ්ට ගරුධර්ම, ඒ කියන්නෙ නියාම 8ක් විවාදයට පත්ව තිබෙනවා. සමාජය තුළ ඒ ඒ වකාවනුවලදී තිබුණු යම් ආකල්ප සහ බලපෑම් සමග ඒ අනුව කාන්තාව සම්බන්ධයෙන් යම් සීමා කිරීම් පැන වුණා. ඒවා අතීතයේ පැවැති සමාජ චාරිත්රවාරිත්ර විධි සමග සාකච්ඡා කළ යුතු දෙයක්.
ඒ හැමදයෙක්ම සිදුවුණේ මනුෂ්‍යත්වය අනුව මිස කාන්තාවන්ට හානිකර තත්ත්වයෙන් නොවෙයි. එයින් කාන්තාවට හානියක් වුණේ නැහැ. ඔවුන් සුරක්ෂිත වුණා. බුදුබණ අසා නිවන්, සෝවාන්, අරහත් ඵල ලබාගත් කාන්තාවන් ගැන ඇහෙන්නේ ඒ නිසයි. එයින් සනාථ වන්නේ කාන්තාවට පිරිමින් මෙන්ම නිවන් දැකීමට බාධාවක් නැති බවයි.
බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු කාන්තාවන්ට උන්වහන්සේගේ දේහය වන්දනා කිරීමට අවස්ථාව දුන්නේ යැයි පසු කලෙක ඇතැම් භික්ෂූන් වහන්සේලා ආනන්ද හිමියන්ට චෝදනා කළා. භික්ෂුණී ශාසනයට උදව් කළා යනුවෙන් බුදු හිමියන්ගෙන් පසු කාලයේදී ආනන්ද හිමියන්ට චෝදනා නැගුණා.
Q කාන්තාව සම්බන්ධයෙන් කතා කිරීමේදී කිල්ල යන තර්කය තුළ යම් ආගමික අවස්ථාවන්ට ඔවුන්ට සහභාගි වීමට ඇති අවස්ථාව වළක්වා ඇතැයි මැසිවිල්ලක් නැගෙනවා? එය බුද්ධ දර්ශනයට අනුකූලද?
බුදුදහම තුළ කාන්තාවට නුසුදුසුයි හෝ කිලි වැනි මතවාදයක් නැහැ. නමුත් කාන්තාවන්ට බලපාන ජෛව විද්‍යාත්මක කරුණුවලදී යම් ස්වාභාවික අපහසුතා තිබෙනවා. බුදු හිමියන් වෙනුවෙන් කෙරෙන වත්පිළිවෙත් විමසීමේදී කාන්තාවන්ට යම් ගැටලුවක් විය හැකි අවස්ථාවන් ඒ අතර තිබෙන බව පැහැදිලියි.
දැන් බලන්න අනුරාධපුර යුගය අවසානයේ ලංකාවේ බුදුදහම නැත්තටම නැතිවී ගියා. යුද්ධ අරගල ඇති වුණා. භික්ෂුණීන් වහන්සේලාට පමණක් කැලයේ හෝ ආරාමවල තනිවම සිටිය නොහැකි තැනට කරුණු යෙදුණා. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇති වුණා. කාන්තාව ශාසනයේ පැවිද්දෙන් ඉවත් වුණා.
Q එහෙම වුණත් දළදා හිමියන් වෙනුවෙන් පවතින ඇතැම් වත්පිළිවෙත්වලදී පිරිමින්ට හිමි තැන කාන්තාවන්ගෙන් අහිමිකර ඇතැයි මතයක් තිබෙනවා?
කාන්තාව දළදා වහන්සේ කෙරෙහි පවතින වත්පිළිවෙත් බෞද්ධ සමාජය සහ සංස්කෘතිය සමග බැඳී තිබෙනවා. ඕනෑම ආගමික සංස්ථාවක එවැනි සමාජයීය කරුණු සමග බැඳෙන අවස්ථා තිබෙනවා. ඒක ස්වාභාවිකයි. ඒවාට විරුද්ධ වීමට හෝ ඒවා බැහැර කිරීමට හැකියාවක් නැහැ.
දළදා වහන්සේ පූජනීය වස්තුවක් ලෙස සලකන නිසා එය දේවත්වයෙන් සලකනවා. සම්‍යයක් දෘෂ්ටික දෙවි දේවතාවුන් බුදුහිමියන් වහන්සේ වන්දනාවට රාත්‍රියට එනවා යැයි කියන විශ්වාසය සහ පිළිගැනීම තිබෙනවා. බුදුන් වහන්සේගේ සමයේ දෙවිවරු උන්වහන්සේ හමුවී ගැටලු නිරාකරණය කරගත් බවට සඳහන් වෙනවා.
එතැනදී දෙවි දේවතාවුන් කිලිටි තැන්වලට එන්නේ නැහැ කියන අදහසක් සමාජය තුළ පවතිනවා. ජීවමාන දළදා වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන දෙවි දේවතාවුන්ට ඒ කිලි හෙවත් අපිරිසුදුකම බලපා හැකි යයි සම්මතයක් එදා සිරිත්විරිත් අනුව එම අවස්ථාවේදී තීරණය කරන්නට ඇති. එය සංස්කෘතිකමය ලක්ෂණයක්.
අදටත් බදාදාට නානුමුර මංගල්‍යය පැවැත්වෙනවා. පාරම්පරික ආලත්ති අම්මලා එයට පැමිණ එම කටයුතුවලට සහභාගි වෙනවා. එතැන කාන්තාව සම්බන්ධ යැයි ප්‍රතික්ෂේප වීමක් නැහැ.
Q කාන්තාවන්ට පත්තිරිප්පුවට ගොඩවීම සුදුසු නැතැයි කතාවක් තිබෙනවා?
පත්තිරිප්පුව කාන්තාවන්ට ගොඩවීමට නුසුදුසු තැනක් ලෙස මතයක් තිබුණා. එතැන තිබුණේ එදා රජතුමාට ජනතාව ඇමතීමටයි. ඒ නිසා එය රජුට පමණක් වෙන් කළ ස්ථානයක් බව පැහැදිලියි. එතැන බාහිර පුද්ගලයන්ට සුදුසු නැහැ. නමුත් දැන් එතනට කවුරුත් යනවා. වෙනසක් නැහැ.
Q දළදා හිමි ඉදිරියට රැගෙන එන සිඟිති දරුවන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය?
අලුත උපන් දරුවෙකු දළදා හාමුදුරුවන් ඉදිරියට ගෙනැවිත් උන්වහන්සේට පූජා කරනවා. ඒකට ගැහැනු, පිරිමි භේදයක් නැහැ. නමුත් දිනපතා එම වෙලාවට පැමිණෙන ජනතාව අනුව දළදා හිමි වැඩසිටින කුටිය විමසීමේදී එතැන තිබෙන්නේ ඉතා සීමිත ඉඩකඩක්. ඒ තුළ ආවතේව භාර භික්ෂූන් වහන්සේලා දෙනමක් පමණ රැඳෙනවා. දිගු පෝළිමක් තිබෙනවා. මල් ආසන තිබෙනවා. එහෙම තැනකදී අතදරුවන් සමග එතැනට පැමිණෙන අයෙකුට තිබෙන කාලය සහ වැඳපුදා ගැනීමට කාලයක් ලබාගැනීම වැනි දේ ගැන හිතන්න.
බොහෝවිට දරුවා ඉහළට සිටින සේ අතට වඩා ගත්තාම ඒ අයගේ දෙපය මල් ආසනවල වදිනවා.සිඟිති දරුවන් දළදා හිමි වැඩසිටින කුටිය ඇතුළට නොගන්නේ ඒ අය කලබල කරන්න පුළුවන්. හඬන්න පුළුවන්. සමහර විට කිරි දරුවන් මලමූත්‍ර කරන්නත් පුළුවන්. ඒවා ශුද්ධ ස්ථානයකට ගැළපෙන්නේ නැති නිසා තමයි එහෙම කරන්නේ. එහෙම නැතිව එතැනට ගැහැනු, පිරිමි භේදයක් නැහැ. මේවා පුරුද්දට රැල්ලට බටහිර බලපෑමට ගොතන කතා. ගැහැනු දරුවන්ද පිරිමි දරුවන්ද බිම තබා බුදුන්ට පූජා කරනවා. අනික කවුරු හරි කියනවා නම් දළදා වහන්සේ වැඩසිටින කුටියට කාන්තාවන්ට යන්ට තහනම් කියලා ඒක වැරදියි.
කිල්ල කියන්නෙ ජීව විද්‍යාත්මක කරුණක්. එය අප සමාජයේ මුල් බැසගත් සංස්කෘතිකමය ආකල්පයක් බවට පත්වුණු දෙයක්. යන්ත්රමන්ත්ර, මළගෙවල්, ඇතැම් ලෙඩරෝග, මස්මාළු වර්ග ආදී කරුණු සමග කිල්ල ගැන කතා කරනවා. ඒවා ගැන කතා කරන්නේ සමාජ අවශ්‍යතා හැටියට සහ ඒවාට ගෙතුණු යම් අවශ්‍යතාවන් අනුවයි. ඒවා මිනිසුන්ගෙන් ඉවත් කරන්න බැරි සාධක. එතැන්දී එදා දළදා හිමියන් වෙනුවෙන් පුදපූජා පැවැත්වූ භාරකාරදීන්ද ඒ අනුව යමින් කාන්තාවන් වෙනුවෙන් ඒ පිරිසුදුකම බලපාන ආකාරය අනුව යම් තීරණ ගන්න ඇති. ඒවා අද සිරිත්විරිත් දක්වා සාම්ප්‍රදායිකව පවතින කරුණු බවට පත්වෙලා.
Q දළදා හිමියන් වෙනුවෙන් පැවැත්වෙන සංස්කෘතිකමය පැවැත්මක් ඇති සාම්ප්‍රදායික සිරිත්විරිත් කිහිපයක් පැහැදිලි කළොත් ?
විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි. දළදා හිමි වෙනුවෙන් දිනපතා උදේ හවස කෙරෙන කිසිදු පුදපූජාවක් ජනතාවට විවෘතව කරන්නේ නැහැ. ඒවා තේවාව භාර හාමුදුරුවන් පමණයි කරන්නේ.
දළදා හාමුදුරුවන් ජීවමාන බව අපි පිළිගන්නවා. ජීවමාන බුදු හිමියන් වගේ කියලා කියන්නේ ඒකනෙ. එතැන්දී උන්වහන්සේලා දානය ගිලන්පස පූජා කරනවා නම් කරන්නේ ජීවමාන බුදුන් වහන්සේට කරන වත්පිළිවෙත් අනුවයි. එහෙම නම් උන්වහන්සේට පූජා කළ දේ එතැන තබා ඒ දෙස නැවත බලා සිටීම සාමාන්‍යයෙන් පිළිගත් සම්ප්රදායක් නොවෙයි. අපි යම් කෙනකුට දානයක් දුන් පසු එය වළඳන දෙස බලා සිටින්නේ නැහැනේ.
ඒක අපේ හැදියාව. රජතුමාට වුණත් දළදා මාළිගාවේ සාම්ප්‍රදායික වත්පිළිවෙත් එකහා සමාන වුණා. දළදා මන්දිරයේ දළදා හාමුදුරුවන් වෙනුවෙන් දිනපතා හවස තේවාව කරනවා. එතැන්දී පුදපූජා පවත්වාගෙන යාම සඳහා අතීතයේ සිට රජතුමා පැමිණෙනවා. වරක් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාට සවස පූජාවට නියමිත වෙලාවට එන්න බැරි වුණා. තේවාව භාර භික්ෂූන් වහන්සේලා රජතුමා එනතුරු බලාසිට නොපැමිණි නිසා දළදා හිමි වැඩසිටින කුටිය වසාදමා දවසේ පුදපූජා කටයුතු අවසන් කළා. ඒ අතර රජතුමා පැමිණියා. නැවත දළදා පූජාවට අවස්ථාව නැති බව හිමිවරුන් පවසා සිටියා. රජුගේ බලවත් ඉල්ලීම මත භික්ෂූන් වහන්සේලා නැවත දළදා කුටිය විවෘත කර රජුට පූජා පැවැත්වීමට අවස්ථාව දුන්නා.
ඒ අනුව එය සිරිතක් බවට පත්වෙමින් අදටත් හවස තේවාව අවසන්වූ පසු දළදා හිමි වෙනුවෙන් වතාවත් නිමකර නැවත රාත්‍රී පූජාවක් තිබෙනවා. දැන් ඒක සම්ප්රදාය වෙලා. රජතුමා දළදා වහන්සේ පුදපූජාවන්ට පැමිණි පසු රජතුමාගේ ඔටුන්න දළදා කුටියේ උළුවස්ස පාමුල එළිපත්ත මත තබා කුටියට ඇතුළු වෙනවා. ඒ නිසා රටේ රජුගේ කිරුළ එහි තබන නිසාම ඒ එළිපත පෑගීම නොකළ යුතුයි යනුවෙන් සම්ප්රදායක් ඇතිවුණා. අදටත් ඒ සම්ප්රදාය ඒ ආකාරයෙන්ම ඉටු කෙරෙනවා. ඒ කියන්නේ රටේ රජුගේ ඔටුන්න තබන තැනටත් ගරුත්වයක් පවතිනවා.
අපි මේ සිරිත්විරිත් රැකගැනීමට උත්සාහ කරනවා. රජ කාලේ සිට පැවත එන සිරිත් විකෘති කරන එක සංස්කෘතිය රැකගැනීමට අනුබලයක් නෙවෙයි. ඒවා එලෙසම රැකගත්තොත් තමයි අපේ සංස්කෘතිය රැකුණා වෙන්නේ.
Q හේමමාලි කුමරියට දන්ත ධාතූන් වහන්සේ කෙස් කළඹේ සඟවා ගෙන පැමිණීමට හොඳ නම් කාන්තාවන්ට දළදා හිමි සම්බන්ධ වත්පිළිවෙත් අකැප ඇයි දැයි ඇතමුන් චෝදනා කරනවා?
හේමමාලි කුමාරිය කෙස් කළඹේ සඟවා ගෙන ආ කතාව ඇත්ත. ඒ කාන්තාව එය ගෙනැවිත් මෙරට රාජ්‍ය පරම්පරාවට බාරදුන් පසු එය රැකගැනීමේ වගකීම ඒ පරම්පරාවට හිමි වුණා. එතැන්දි ඒ ඒ කාලවල පැවැති සහ අවශ්‍යතා අනුව සමාජ ආගමික වගේම සංස්කෘතික ආකල්පයන් තුළ රැඳෙමින් සකස් වුණු සිරිත්විරිත් අදටත් ඉතිරිව පවතින දේ බැහැර කරන්න අපට බැහැ.
කාන්තාව තරම් බුද්ධශාසනයේ ආගමික වතාවත් වත්පිළිවෙත් වෙනුවෙන් මැදිහත්වන තවත් පිරිසක් නැති තරම්. ඔවුන් ඒ තරමට මේ ආගමික වතාවත් වෙනුවෙන් කැප වෙනවා. ඒ නිසා එවැනි අයට මෙවැනි දේ අර්බුදයක් නොවන්නේ දළදා හිමියන්ගේ ශුද්ධ, පවිත්‍ර බව, ගරුත්වය මහානුභාව සම්පන්න බව ආරක්ෂාව වගේ හැම දෙයකම වගකීමත්, අගයත් ඔවුන් පුරුද්දෙන් දන්නා නිසා. මේ ඇතැම් සිරිත්විරිත් පෝෂණය වෙන්න එදා ඒ ඇත්තන්ද දායක වෙන්න ඇති. අපි පරමල් ටිකක්වත් මල් අසුන මත තියන්නේ නැහැ. වහාම ඉවත් කරනවා. නමුත් ඔය ඇතැමුන් කියන ආකාරයේ අකැප දේ නම් අපි දන්නේ නැහැ.
Q බුදුන් වහන්සේ සහ කාන්තාව ගළපන අවස්ථාවක් උදාහරණ ලෙස පැහැදිලි කළොත් ?
කාන්තාවන් බුදුන්ට ගළපා සමාන කරනවා. මගේ අම්මා බුදු වේවායි දරුවන් කියනවා. අමාමෑණියන් වහන්සේ යැයි සදැහැතියන් කියනවා. එතැන්දී පුද්ගලානුබද්ධ ගෞරවය පිළිගැනීම ඇගයුමට ලක්වෙනවා. එයින් කාන්තාව ගැන ඇති උත්තරීතරත්වය තවදුරටත් බුද්ධ ධර්මය සමග තහවුරු වෙනවා.
Q එහෙම වුණත් දියවඩන නිලමේ තනතුර සඳහා නිලවරණයේදී කාන්තා පාර්ශ්වයට ඡන්ද අයිතිය අහිමි කර ඇතැයි චෝදනා කරනවා ?
දියවඩන නිලමේ තනතුරට කාන්තාවන්ගේ ඡන්දය නැහැ කියන කතාව ඇත්ත. එතෙන්දී පිරිමි ප්‍රාදේශීය ලේකම්වරුන්ට ඡන්ද බලය තිබෙනවා. 1931 විහාර දේවාලගම් පනත ආරම්භ කළ සමයේ ලංකාවේ ආදායම් එකතු කිරීම තිබුණේ ඩී.ආර්.ඕ කියලා ප්‍රාදේශීය ආදායම් නිලධාරී හෙවත් අද අපි කියන ප්‍රාදේශීය ලේකම්වරුන්ට. පනත යටතේ සඳහන් වන්නේ ආදායම් නිලධාරීන්ට ඒ අවස්ථාව ලැබිය යුතුයි යනුවෙන්. ඉතින් කාන්තාවන්ට ඒ අවස්ථාව නැත්තේ අදටත් පිළිගන්නා ඒ පනතේ පවතින බලාත්මක ප්‍රතිපාදන නිසයි.
Q දැන් එය වෙනස් කළ නොහැකිද ?
එහෙම යෝජනාවක් ආවා. අපි කීවා අර්බුදයක් නොවෙනවා නම් ඒ ගැන අධ්‍යයනයක් කරලා ඒ අයටත් ඒ අවස්ථාව දෙන්න කියලා. එය පනතක් වශයෙන් යෝජනා වුණා. ඒත් තවත් භික්ෂූන් වහන්සේලා සහ විවිධ අදහස් යෝජනා තර්ක නිසා ඒ අදහස අදටත් නතරවෙලා තිබෙනවා. ඒක කාන්තාව නොසලකා සිටීමක් නෙවෙයි. නීතිමය ප්‍රතිපාදන තුළ නිවැරදි කළයුතු වෙනසක්. බොහෝ විට එතැන මතුවුණේ සම්මතය සහ දළදා හිමියන් වෙනුවෙන් කෙරෙන වත්පිළිවෙත් සම්බන්ධයෙන් සම්ප්රදාය අතර ගැටුමක්.
Q එවැනි තැන් ඇතැමුන්ගේ චෝදනාවට අනුබලයක් විය නොහැකිද?
එහෙම වෙන්ට බැහැ. අපි සම්ප්රදාය අනුව කටයුතු කරනවා. සුවිශේෂ යෝජනා ආවොත් ඒවා සඳහා අවස්ථාව දෙනවා. එසේ වෙනස්වූ තැන් අතීතයේ තිබුණා.
Q පැහැදිලි කළොත් ?
අටමස්ථානාධිපති හිමියන් තේරීම සඳහා පවත්වන නිලවරණයේදී අස්ගිරි, මල්වතු සහ ශ්‍රීපාදය වගේම පවතින එම කාර්යය සඳහා සුදුසුකම් ඇති අයෙකු ලෙස සිටියේ කාන්තා පාර්ශ්වයේ කෙනෙක්. එතෙන්දී ඒ අයට එම අවස්ථාව ලැබුණා. ඒ අණපනත් අනුව එහෙම කිරීමට බාධකයක් තිබුණේ නැහැ.
දළදා හිමියන් වගේම ජයශ්‍රී මහා බෝ සමිඳුන් වෙනුවෙන්ද දුරාතීතයේ පටන් කාන්තාවන්ගේ දායකත්වය ලැබුණා. උන්වහන්සේ රකින්නට එදා කාන්තාව දරමිටි ඇද්ද හැටි, රෑ ගිනි තැප්ප හැටි. ඒ පිළිබඳ ගයන ගී පදයෙන්ම සනාථ වෙනවා. එතෙන්දී රාජ්‍ය පාලකයන් බලය සහ රාජකීයත්වය තුළ මෙම පූජනීය වස්තූන් වන්දනාමාන කිරීම කරනවා ඇති. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්.
Q භික්ෂුණී ශාසනයක් ඇති කිරීමටද යම් බාධකයන් පවතිනවා යැයි මැසිවිල්ලක් ඇසෙනවා?
භික්ෂුණී ශාසනය පොළොන්නරුව යුගය ආරම්භයේදී අභාවයට ගියා. ඒ අනුව ශාසනයේ විනය තත්ත්වයන් මත භික්ෂුණී පැවිද්ද පිළිබඳ බලය ඉල්ලන නමුත් ථේරවාදී සම්ප්රදාය තුළ එවැනි දෙයක් කළ නොහැකියි.
කලකට පෙර අනුරාධපුරයේ දේවසලා නමින් භික්ෂුණී කණ්ඩායමක් චීනයේ අනුග්‍රහයෙන් භික්ෂුණී ශාසනය මෙහි ගෙනැවිත් පිහිටු වූවා යැයි මතයක් පවතිනවා. දැනට සිටින භික්ෂුණියන් ඒ මුල් පිරිස පරම්පරාව කරගත් අය ලෙස අදහසක් තිබෙනවා. චීනයේ භික්ෂූන් පිරිසක් ඇති කළාට, එය ථේරවාදී සම්ප්රදාය නොවේය කියන අදහස මෙහිදී අපේ ත්‍රෛනිකායික නායක හිමිවරු තීරණය කර පිළිගන්නවා. මෙතැන තිබෙන්නේ ශාසනික විනය පිළිබඳ ප්‍රශ්නයක්.
Q ජාත්‍යන්තරය පැත්තෙන් ගත්තොත්?
මම උදාහරණයක් කියන්නම්. භික්ෂුණීන් වහන්සේලා පැවිදි කිරීම පිළිබඳ 2005දී පමණ ජර්මනියේ පැවැති සම්මන්ත්‍රණයකදී සාකච්ඡා වුණා. මමත් එයට සහභාගි වුණා. බොහෝ කාන්තාවන් භික්ෂුණියන් ලෙස පැවිදි කිරීමේ අවශ්‍යතාව සහ කාන්තාවන්ගේ පැවිද්ද පිළිබඳ දක්වන නව ප්‍රවණතාව අනුව එවැන්නක් විය යුතු බවට අවධාරණය වුණා. එතෙන්දී දලයි ලාමාතුමා පහත ප්‍රකාශය කළා. “මම බුදුහාමුදුරුවො නෙවෙයි. මට විනය සම්බන්ධ තීරණ ගැනීමට බැහැ. මෙය ෙථ්රවාදී රටවල හිමිවරු ගතයුතු තීරණයක්. අපට අපේ වජිරාන සම්ප්රදාය සහ ටිබෙට් සම්ප්රදාය තුළින් කටයුතු කළ හැකියි.”
Q එහෙම නම් දසසිල් මෑණිවරු ?
දසසිල් මෑණිවරුන්ගේ ඉතිහාසය දැනට අවුරුදු සියයක් පමණ අතීතයකට යනවා. ඔවුන්ද පැවිදි බවක් දරනවා. මෙවැනි පැවිදි ක්‍රම බුරුමය තායිලන්තය වැනි රටවල සිදුවෙනවා. ලංකාවේදී විලියම් බ්ලේක් ආර්යාව මේ කාර්යය සඳහා පළමුවැනිව උදව් කළා.භික්ෂුණී ශාසනය සහ දසසිල් මෑණියෝ කියන්නේ දෙකක්. දසසිල් අයට උපසම්පදාවක් නැහැ.
සංස්කෘතිය කියන්නෙ ආගමික වත්පිළිවෙත් සමාජ චර්යාවන් සහ පුද්ගල ආකල්ප සියල්ල තුළ අපේ අනන්‍යතාව උරුමය සහ සම්ප්‍රදායන් සියුම්ව විවරණය කළ යුතු දේ හැටියටයි මම දකින්නේ. වත්පිළිවෙත් අනුව අපිට සංස්කෘතියක් තියෙන්නේ අපේ හැදියාවට අනුව මිස බටහිර සංකල්පයන්ට අනුව නෙවෙයි. ඒක ඒ අයගේ හැදියාව. මේක අපේ හැදියාව. ඒ හැදියාව තුළ සංඝයා වහන්සේලා, රජවරු, උගත්හු, විද්වත්හු සමග ගමේ සාමාන්‍ය ජනතාවත් හිටියා කියන එක අමතක කරන්න හොඳ නැහැ.
දළදා තේවාව කරන අපෙන් බැහැරව කාන්තාවට කොතැනක හෝ වාරණයක් තිබුණා නම් ඒක ඒ අපේ පැරණි ඇත්තන් දළදා හිමි වෙනුවෙන් ගෞරවයෙන් පිළිගත් සම්මතයක් වෙන්නත් පුළුවන්. ඒ සම්මතයට එරෙහි වීමට අපට බැහැ.
Q මෙවැනි යම් මතවාද තර්ක වෙනත් ආගමික සංස්ථාවන්ටත් තිබෙනවාද?
හැම ආගමකටම මේ වගේම හෝ එයටත් වැඩි අර්බුද ප්‍රශ්න තම තමන්ගේ සංස්කෘතියට අදාළව තිබෙනවා. නමුත් ඒවා අපට අදාළ නැහැ. ඒවා වසාගන්නට අපේ සංස්කෘතිය විකෘති කිරීමටත්, අපේ පවතින සම්ප්‍රදායන් සහ හැදියාවන් වෙනස් කිරීමටත් යමෙකු අපේ ඉතිහාසය සහ සම්ප්‍රදායන් ගැන අවබෝධයෙන් තොරව ප්‍රකාශ කරනවා නම් හෝ බලපෑම් කරනවා නම් ඒකත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන විදිහට ආගම ඇදහීමේ අයිතිය නෙවෙයිනෙ.
Q එහෙම නම් මේ මතවාදය මොකක්ද?
බටහිර ස්ත්‍රීවාදී ආකල්ප සමග හිතන්නට යනවිට මේ හැම අර්බුදයක්ම මතුවෙනවා. මේ වගේ ආගම පිළිබඳ මත ගැටුම් ඇති කරන ප්‍රශ්න දළදා හිමි, ජයශ්‍රී මහ බෝ සමිඳුන් රැකගත් සහ වත්පිළිවෙත් කළ එදා අපේ අත්තලා, මුත්තලා කිරිඅම්මලාට තිබුණෙ නැහැනෙ. ඒ අය මේ වත්පිළිවෙත් පිළිබඳ ගරුත්වයෙන් කටයුතු කළා.
අද ඇතැමුන්ට මාළිගාවට එනවිට අඳින ඇඳුමත් කියලා දෙන්ටවෙලා තියෙන්නේ. අපේ සංස්කෘතික හරයන් ඒ අයගෙන් ගිලිහිලා. පූජා බිමකට නොගැළපෙන විකාර ඇඳුම්වලට යටවෙලා. අසම්මත චර්යාවන් නිසානේ.
නමුත් දේවාලයකට යනවිට එහෙම යන්නේ නැහැනෙ. සතියක් පේවෙලා මස්මාළු නොකා කිල්ලට අහු නොවී යනවා. එතැනත් තියෙන්නෙ සම්ප්රදාය සහ සම්මතය ගරු කිරීමක්. මේවා ආගමික සංස්ථාව සහ සමාජ ආකල්ප සමග පවතින ක්‍රියාකාරකම්.නමුත් බටහිර ස්ත්‍රී විමුක්තිය සහ ස්ත්‍රීවාදී ආකල්ප තුළ ඒවා ආගම විනාශයට රිංගවීමේ සහ සංස්කෘතිය උඩුයටිකුරු කර සංස්කෘතියත් සදාචාරයත් විනාශ කිරීමේ උත්සාහයක් තිබෙනවා. එතෙන්දී ඔවුන් උත්සාහ කරන්නේ කාන්තාව කොන් කරනවා කියන මතයක් හදන්න.හැමවිටම අපේ දේශීය සංස්කෘතිය සහ එහි ඇතුළාන්තය තුළ සිදුවන සම්ප්රදාය සහ සිරිත්විරිත් හදාරමින් මේ යථාර්ථය වටහා ගැනීම වැදගත්.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

