විදේශ රැකියා සඳහා යොමුවන පිරිස් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවත්, රජය මගින් ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදෙන සියලු පහසුකම් හා සුභසාධනයන් හිමිවන්නේ ශ්‍රමික සුරැකුම වැඩසටහන තුළ ලියාපදිංචි වීම මගින් පමණක් බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, අම්පාර දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමිකයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහනට පසුගියදා සහභාගි වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය,
“විදේශගතව රැකියා කරන අය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පොරොන්දු තුනක් දුන්නා. පළමු එක තමයි රටවල්වල වැඩ කරන ශ්‍රමිකයන්ගේ මෙහේ පවුල්වල සුභසාධනය ඇති කරන එක. අපි ඒක 2016 ජනවාරි 8 වෙනිදා ක්‍රියාත්මක කළා. ජනවාරි 08 වෙනිදා සිට 14 වෙනතුරු සතියක් කල් දුන්ණත් ලක්ෂ 14/15 පිටරට රැකියා කරන අයගෙන් 90,000ක් පමණයි ලියාපදිංචි වුණේ. සීමාවක් නැතුව දැන් ලියාපදිංචිය කරගෙන යනවා. මේ වෙනකොට අපේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය යටතේ ඉන්න සංවර්ධන නිලධාරීන් හරහා ලක්ෂ 03ක් පමණ ලියාපදිංචි කරලා තියනවා.
මේ වැඩසටහන ජනාධිපතිතුමා ක්‍රියාත්මක කරන්න පොරොන්දු වුණේ වැඩියෙන්ම පිටරට යන අය ඉන්නේ නැගෙනහිර පළාතේ. එතුමා නියෝජනය කරන උතුරු මැද පළාතේ සහ වයඹ පළාතේ, පිටරට රැකියා කරන අයගෙන් වැඩියෙන්ම ඉන්නේ කාන්තාවෝ. කාන්තාවෝ තමන්ගේ දරුවන්ව තියලා රට ගියාට පස්සේ දරුවන්ගේ ජීවිත විශාල වශයෙන් කඩාවැටීමක් සිදුවෙනවා.
අධ්‍යාපන කටයුතු හරියට කෙරෙන්නේ නැහැ. අම්මලා දුක්විඳලා එවන මුදල් තාත්තලා හරියට යොදවන්නේ නැහැ. තමන්ගේ සිහිනයක් ගෙයක් හදාගන්න එක, දරුවන්ට උගන්වන එක ගැන හිතලා රට යන අම්මලා එනකොට සිහින ඔක්කෝම නැති වෙලා තියෙනවා. ඒ මේ පවුල් ගැන සොයා බැලීමක් නොකෙරුණු නිසා.” යැයි සඳහන් කළාය.
''පිටරට රැකියාවලට යන අය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා යන එක අනිවාර්ය දෙයක්. ඉදිරියේදී මේ ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදෙන හැමදෙයක්ම සිදු කෙරෙන්නේ මේ වැඩසටහනේ ලියාපදිංචි වෙලා තිබුණොත් පමණයි. අපි ලබන සතිය වෙනකොට නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම ආවරණය කරලා අවසන් කරනවා. ඊළඟ පියවර විදියට ස්වයං රැකියා සහ නැවත ඇවිත් ඉන්න අයගේ වැඩසටහන් නීතිරීති අනුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
පහුගිය 30 අවුරුද්දකට ආසන්න කාලයක් මේ ප්‍රදේශවල ජනතාව සාමාන්‍ය ජීවිතයේදී නොයෙකුත් අපහසුතාවලට, පීඩනවලට මුහුණදීපු අය කියලා අපි දන්නවා. මේ රජයේ පරම වගකීම සහ ජනපතිතුමාගේ, අගමැතිතුමාගේ අවශ්‍යතාව මේ රටේ කොයි තැනක ජීවත් වුණත් මොන ආගමක වුණත්, මොන ජාතියක, කුලයක වුණත්, මොන සමාජ මට්ටමක හිටියත් සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් සහ මනුෂ්‍යයන් හැටියට රජය විසින් වගකීම් ඉෂ්ට කරනවා.
අපේ කටයුතු අපි දිගට කරගෙන යනකොට අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. මගේ වගකීම මේ ප්‍රශ්න අවබෝධ කරගැනීම. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබුණු නැති ප්‍රශ්න අම්පාර දිස්ත්‍රික්කයේ තියෙනවා. මේ ප්‍රශ්න හඳුනාගෙන තමයි ඒවාට පිළියම් යොදන්න වෙන්නේ. ඉදිරියේදී රට යවන ප්‍රමාණය ගැන නෙමෙයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය බලන්නේ.
රට රැකියාවට යන අයගේ ප්‍රමිතිය. හොඳ පුහුණුව වගේම යන අයගේ ආරක්ෂාව සහ සුභසාධනය ගැන සහ පිහිටුවන වැටුප් තලය ගැනයි බලන්නේ.
මේ නැගෙනහිර පළාතටම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එක කාර්යාලයක් තමයි මඩකලපුව ප්‍රදේශයේ තියෙන්නේ. විදෙස්ගත වෙන ශ්‍රමිකයන්ට ඇති වන ගැටලු සම්බන්ධයෙන් කතා කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඉන්නවා. රට යන අය පුහුණු කරන්න, ලියාපදිංචි කරන්න සහ ගැටලුවක් ඇති වුණොත් ඒවා සමථ කරන බලය තමයි ඉදිරියේදී මඩකලපුවට යන්නේ.
ඒ අනුව ඔබලාට ඉදිරියේදී තිරුක්කෝවිල් ඉඳන් අම්පාරට යන්න නෙවෙයි අවශ්‍ය සහායට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේම නිලධාරීන් ඉන්නවා. මේ වසම් 22ටම 1400ක් විතර දැනට ලියාපදිංචි වෙලා තියෙනවා. ඉන් වැඩිම පිරිසක් ඉන්නේ 900 ගාණක් විතර පිරිමි අය. 400ක් විතර කාන්තා ශ්‍රමිකයන් ලියාපදිංචි වෙලා ඉන්නවා.
රජයේ ප්‍රතිපත්තිය තමයි වියදම් අඩු කිරීම. විශේෂයෙන්ම වගකිව යුතු නිලධාරියා හරියට එයාගේ වගකීම ඉටුකරන්න ඕනි. අද මේ වැඩපිළිවෙළට ප්‍රාදේශීය ලේකම්තුමා ලොකු සහයෝගයක් ලබාදුන්නා.
අපි එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට භාෂා තුනෙන් පොස්ටරයක් විතරයි ප්‍රදර්ශනය කළේ. ඊට අමතරව වෙන කිසිම ප්‍රසිද්ධියක් නෑ. අපේම පවුලේ සමාජිකයන් ලෙස හිතලා අපේ මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් තවත් අය දැනුවත් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.'' යනුවෙන්ද අමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.