දරුවන් ගැන අවධානය මාපියන් අතින් දැන් ගිලිහිලාද?
ඔක්තෝම්බර් 01 දාට යෙදෙන ලෝක ළමා දිනය මෙවර සැමරෙණුයේ %මාපිය වැඩිහිටි සෙනෙහස රඳවමු - සොඳුරු ලොවක් වෙත දරුවන් කැඳවමු ^ යන තේමාව පෙරදැරි කරගෙනය.
දරුවන්ට සොඳුරු ලොවක් උදාකර දීම වෙනුවෙන් වැඩිහිටියන්ගේ සෙනෙහස රඳවන්නට ඇරයුමක් කෙරෙන මෙවර ලෝක ළමා දින සැමරුම යෙදෙන දිනයේ සැබැවින්ම සිතා බැලිය යුත්තේ අප රටේ වෙසෙන දහස් සංඛ්‍යාත දරුවන් අතරින් කීයෙන් කීදෙනෙකු වෙත වැඩිහිටි සෙනෙහස හා අවධානය යොමු වන්නේද යන්න පිළිබඳවය.
1989 නොවැම්බර් මස 20 වැනි දින එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය (CRC) සම්මත කරගැනීමෙන් පසු ලොව පුරා බොහෝ රටවල නොවැම්බර් 20 වැනි දින ලෝක ළමා දිනය සමරනු ලැබූවද එය අපේ රටේ එය සමරනු ලබන්නේ ඔක්තෝම්බර් පළමු වැනිදාය.
මෙරට ළමා අයිතිවාසිකම් අණ පනත් පැනවීම යටත් විජිත යුගයේ සිටම සිදුකෙරුණු බව 1883 දණ්ඩනීති සංග්‍රහය දෙස බලන විට පෙනී යන්නකි.
එසේම 1939දී පැනවූ ළමුන් හා තරුණයන් පිළිබඳව ආඥා පනත , 1956 අංක 47 දරන ස්ත්‍රීන් , තරුණ හා ළමුන්ගේ ශ්‍රමය ලබාගැනීම වැළැක්වීමේ පනත , 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත, 1998 අංක 27 දරන අධිකරණ සංශෝධන පනත, 1998 අංක 29 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත, අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත, 2005 අංක 34 දරන ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත ආදී නොයෙකුත් පනත්වලින් මෙරට දරුවන් නීතියෙන් ආරක්ෂා කර තිබේ.
නමුත් සැබැවින්ම නීති පනවා තිබීමෙන්ම පමණක් ළමයින්ගේ සුරක්ෂිතතාව ආරක්ෂා කළ හැකිද? යන පැනය පසුගිය කාල වකවානුවේ මෙරට දරුවන් මුහුණ පෑ අවාසනාවන්ත සිදුවීම් දෙස බලන විට හැඟී යන්නකි.
විශේෂයෙන් ළමයෙකුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙමාපියන්, වැඩිහිටියන් මෙන්ම මුළු මහත් සමාජයම මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවට පැහැදිලි උදාහරණ රැසක් මෙරට විවිධ ප්‍ර‘දේශවලින් වාර්තා වී තිබුණි.
විශේෂයෙන් දෙමාපියන් හා වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ දරුවන් කිහිපදෙනෙකු පිළිබඳව මේ වසර තුළ අසන්නට ලැබිණි.
එහි ආසන්නතම සිදුවීම වාර්තා වූයේ මෙම මස 25 වැනි දිනයේදීය, ඒ ගම්පහ රෝහලේදී ලබාදුන් ඖෂධයක් විෂ වී මිය යන්‘නට ඇතැයි සැක කරන අවුරුදු 3 ½ක දරුවෙකුගේ සිදුවීමයි.
එදිනම රුපියල් තිස්පන්දහසක ණයක් ගෙවා ගැනීමට නොහැකිව හොරණ ප්‍ර‘දේශයේ මවක් අවුරුදු 2 ½ ක දරුවාටද වස පොවා ඇයද වස පානය කර තිබුණි.
දඹුල්ලේ ගලෙන්බිඳුනුවැව ආසිරිගමේ දින 07ක් වයසැති දරුවෙකුගේ ජීවිතය බල්ලෙක් සපා කෑම නිසා අහිමි වූයේ මෙම මස දොළොස්වැනිදාය.
බාලවයස්කාර දරුවන් යොදාගෙන පවත්වාගෙන යන සිමෙන්ති වැඩපොළක් පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම මස 17 වැනිදාය. එසේම ලෝකයේ දිගම ඔසරිපොටට වාර්තා තබන්නට දරුවන් 250ක් යොදාගෙන ඔවුන්ව අපයෝජනයට ලක්වූයේ යැයි ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබුණේ මෙම මස 21 වැනිදාය.
මේ අප අද ගෙවා දමන මාසයේ අපට අසන්නට ලැබුණු අවාසනාවන්ත සිදුවීම් කිහිපයකි.
ඒ සියල්ල දෙස සැකවින් විමසා බැලුවහොත් පෙනී යන්නේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩිහිටියන් වෙත පැවරී තිබෙන වගකීම් බිඳී ගොස් ඇති ආකාරයයි. දරුවාගේ , ඥාතීන් , සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ නියැළෙන අය වැනි ඕනෑම වැඩිහිටි පුද්ගලයෙකු අතින් සිදුවන කුඩා වැරැද්දකින් නැත්නම් නොසැලකිලිමත් කමක් හේතුවෙන් දරුවෙකුගේ ජීවිතය අසුරු සැණකින් අවාසනාවන්ත තත්ත්වයකට ලක්විය හැක.
වැඩිහිටියන්ගේ නොසැලකිලිමත් කම හේතුවෙන් අප රටට මහ මගේදී ,නිවසේදී, පාසල් තුළදී, රෝහල් තුළදී, අහිමිවූ ළමා ජීවිත රැසක් වැඩිහිටියෙකුගේ අවධානය මදකට හෝ එම දරුවන් වෙත යොමු වූයේ නම් ආරක්ෂා කරගැනීමට හැකිව තිබිණි.
මෙම මස 14 වැනිදා විදුලිය විසන්ධි වී තිබුණු මොහොතක අවු. 4ක දරුවාට පෙවූ බෙහෙතක් විෂ වී එම දරුවා ජීවිතයෙන් වන්දි ගෙවූයේ දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසාය.
මවගේ විටමින් පානය කළ අවුරුදු 4ක දරුවකු ජීවිතය හැර ගියේ පසුගිය ජුනි 10 වැනිදාය. පොළොන්නරුව සිරිපුර ප්‍ර‘දේශයේ අවුරුදු 2 ½ක දැරියක් දියේ ගිලී මිය ගියේද වැඩිහිටියන්ගේ අවධානය ගිලිහී ගිය නිසාය.
පසුගිය මස 29 වැනි දින මාදම්පේ ප්‍ර‘දේශයේදී කුඩා පිරිමි දරුවන් දෙදෙනකු කැළයට ගෙන ගොස් අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්විය.
ගල්ගමුව අශෝකපුර ප්‍ර‘දේශයේ 17 හැවිරිදි දැරියක තම නිවසේදීම ඝාතනය කර තිබුෙණ් පසුගිය මස 24 වැනි දිනය.
මේ අවාසනාවන්ත සිදුවීම් පසුගිය මාස කිහිපයේ අපට අසන්නට ලැබුණු ඒවායින් කිහිපයක් පමණි.
දරුවන්ගේ ජීවිත මෙලෙස අනාරක්ෂිත වීමට තරම් වැඩිහිටියන්ගේ ජීවිත කලබලකාරී, වගකීම්වලින් ගිලිහුණු ජීවිත බවට පත්වූයේ කුමන හේතුව නිසාද යන්න පිළිබඳව සොයා බැලීමට මේ වනවිට කාලය උදාවී තිබේ. අතීතයේ අපේ පැරණි සාහිත්‍ය‘යේ මවකගේ උකුලෙන් දරුවකු ගිලිහුණු සිදුවීමක් පිළිබඳ සටහන් වූයේ ගුත්තිල කාව්‍යයේය.
ඒ ගුත්තිලගේ වීණා වාදනය නිසා මුසපත්වූ මවුවරුන් නිසාවෙනි. නමුත් වර්තමානයේ සිදුවන ඇතැම් සිදුවීම් පිළිබඳව විමසීමේදී දෙමාපියන් ජංගම දුරකථන නිසා මුසපත්ව තමන්ගේ දරුවන් කෙරෙහි යොමු විය යුතු අවධානය බිඳ ගනිමින් සිටින අවස්ථා ඕනෑ තරම් දැකගත හැක.
එමෙන්ම තමන්ගේ ආශාවන් පසුපස ගොස් අවසානයේ දරුවාගේ ජීවිත ඒවාට බිලිදෙන්නට ඉඩ හරින දෙමාපියන්ද නැතුවාම නොවේ.
දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව නිසාම කුඩා දරුවන් විවිධාකාරයේ අනතුරුවලට ලක්ව රෝහල්ගත කෙරෙන බව අනතුරු නිවාරණ ජාතික සතියේදී කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග ශල්‍ය වෛද්‍ය රවීබන්දු රණවක විශේෂඥ වෛද්‍යවරිය පවසා සිටියාය.
එම අනතුරු අතර බහුලවම පවතින්නේ වැටීම් , පිළිස්සීම් යන ඒවා බවට ඇය සඳහන් කළ අතර, බල්ලන් , පූසන් සපා කෑම් ආදියද බහුලව වාර්තා වන බව ඇය පැවසුවාය.
අවුරුදු 02 අඩු දරුවන් බොහෝවිට රෝහල්ගත වන්නේ උගුරේ යම් යම් දෑ සිරවීම නිසා ස්වසන අපහසුතාවන්ට ලක්වීමෙන් බවද මෙහිදී අනාවරණය විය.
මේ සියල්ල දෙසම බැලූ විට පෙනී යන්නේ වැඩිහිටියන්ගේ අවධානයෙන් ගිලිහී යාම නිසා දරුවන් අනතුරුවලට මුහුණ දෙන ආකාරයය.
කුඩා දරුවන් නෑවීම සඳහා උණුවතුර පිළියෙල කරන විට බේසමට ප්‍රථමයෙන් උණුවතුර දැමීමට මවුවරුන් හුරුව සිටින අතර, නැවත සීතල වතුර බේසමට එකතු කිරීමට මව සූදානම් වනවිට දරුවන් බේසමට අත පෙවීම නිසා සිදුවන පිළිස්සුම් තුවාල හේතුවෙන් දරුවන් රෝහල්ගත වන බවද වෛද්‍යවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.
තවද බොහෝ දෙමාපියන් යතුරුපැදිවල දරුවන් රැගෙන යද්දී දරුවාට හෙල්මට් පැලඳීම පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකිරීම නිසාද මාර්ග අනතුරුවලට මුහුණදීමෙන් ජීවිතයෙන් වන්දි ගෙවන දරුවන් ගණන ඉහළ ගොස් තිබේ.
එසේ නම් දරුවන්ට සොඳුරු ලොවක් බිහිකිරීමට වැඩිහිටියන් ලෙස සියලු දෙනාම ඒකාරාශී වීමේ අවශ්‍යතාව මුදුන්පත් කරගැනීමට සැවොම එකාවන්ව පෙළගැසිය යුතුය.
එසේ නොමැතිව නීතියෙන් සියලු දෙය ඉටු වේයැයි බලා සිටීම අඥාන ක්‍රියාවක් බව අපට තේරෙන විට දරුවන්ගේ ජීවිත බොහෝමයක් දැයට අහිමි වී තිබෙනු නොඅනුමානය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.




