මෙරට තේ කර්මාන්තය ආරම්භ කර වසර 150ක් ඉක්ම වූයේ පසුගිය වසරේයි. බ්‍රිතාන්‍යයන් විසින් අපට හඳුන්වා දුන් තේ කර්මාන්ත මේ වන විට කෘෂි අපනයන ආදායමෙන් 65%ක තරම් ඉහළ අගයක රැඳී තිබෙයි.
එහෙම මෙරට ජනගහනයෙන් 20%ක් පමණ තේ කර්මාන්තය ආශ්රිත ඍජු හා චක්‍ර රැකියාවන්හී නියැළෙයි. තේ වතු සමාගම්හී සේවය කරන කම්කරුවන් ලක්ෂ දෙකකට අධික පිරිසක් වෙසෙන අතරම කුඩා තේවතු ආශ්‍රිතවද බොහෝ පිරිසක් සේවය කරති.
තේ කර්මාන්තය ආශ්රිත රැකියාවන්හී යෙදෙන පිරිසෙන් 50%කටත් අධික පිරිසක් කාන්තා ශ්‍රමිකයන් වන අතර, ඔවුන් ප්‍රධාන වශයෙන් තේ දළු නෙළීමේ ක්‍රියාවලියට දායක වනු දැකගත හැකිය.
මෙරට තේ වතු ආශ්‍රිතව ජීවත්වන ජනතාවගෙන් බහුතරය ඉන්දියානු ද්‍රවිඩ සම්භවයකට උරුමකම් කියයි. ඉතා අවම පහසුකම් යටතේ පිහිටි ලැයිම් නිවාසවල ජීවත් වන වතුකරයේ කාන්තාවන් හා ළමුන් මුහුණදෙන ගැටලු රාශියකි. විශේෂයෙන් අධ්‍යාපනය අතින් ගත් කල මෙම ජනතාව අතරින් පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළ දක්වා හෝ නිමකර ඇති අය සිටින්නේ සුළු ප්රමාණයකි.
තේ දළු නෙළන කාන්තාවන්ගේ දිනක වැටුප රුපියල් 480 ක් වන අතර, එයට දීමනා කිහිපයක් එකතු කිරීමෙන් පසු රුපියල් 675ක් වැනි අගයක් හිමි වෙයි. නමුත් එම මුදලට හිමිකම් කියන්නට 70%කට පමණම නොහැකි වන්නේ දීමනා හිමි වන්නේ ලබාදී ඇති ඉලක්ක සපුරා දීමෙන් වන හෙයිනි. එනම් දෛනිකව කැඩිය යුතු තේ දළු කිලෝ ප්‍රමාණයක් මෙන්ම වැඩ කළයුතු දින ගණනක්ද ඒ ඒ වතු සමාගම් මගින් තීරණයකර තිබෙයි. එම ඉලක්ක සපුරා ගැනීමට බොහෝදෙනාට නොහැකි වීමට කාලගුණයද හරස් වෙයි.
උදෑසන හතටත් පෙර තේ වත්තට පැමිණෙන කාන්තාවන් දළු නෙළීම කල්තියා ආරම්භ කරන්නේ ඒ හෙයිනි. තම ඇඳුමට උඩින් ඉටිරෙද්දක් හැඳ, ඊටත් උඩින් චීත්තයක් හෝ රෙදි කඩක් හැඳගන්නා ඔවුන් හිස වැසෙන ලෙසද රෙදිකඩක් බැඳගන්නේ පින්නෙන් ආරක්ෂා වීමටය. තමාට හිමි දළු බෑගය හා දළු නෙළන සීමාව සලකුණුකර ගැනීමට මීටර් එකහමාරක් පමණ වන කෝටු කැබැල්ලක් රැගෙන උදෑසනින් නිවසින් පිටත්වන මෙම කාන්තාවන් දිනකට සාමාන්‍යයෙන් තේ දළු කිලෝ 16 ක් 17 ත් අතර ප්‍රමාණයක් නෙළීම සිදුකරයි.
කුඩා දරුවන් සිටින මව්වරුන් තම දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙත භාරදී දළු නෙළීමට පැමිණෙන අතර, වතු සමාගම් විසින් මෙම පහසුකම් ඔවුන් වෙත සලස්වා දෙනු දැකගත හැකිය.
ලැබෙන ආදායමෙන් ප්‍රධාන ආහාර ලෙස රොටී සකස් කරගනිමින් එදා වේල සරිකරගන්නා මොවුන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වනු දැකගත හැකිය. තවද වැසිකිළි පහසුකම් ආදී සනීපාරක්ෂක පහසුකම් අවම ලෙස භුක්ති විඳින මෙම ජනතාව අවම පහසුකම් යටතේ ජීවත්වන බව නම් කිව යුතුමය.
එවන් අසීරුකම් හමුවේ තම ශ්‍රමය වෙහෙස මහන්සිය වගුරුවන කාන්තාවන් අතරේ ශාන්ති කුමාරිලා වැනි දිරිමත් කාන්තාවන් පිළිබඳවද වාර්තා වෙයි. දිනකට නෙළිය යුතුව තිබු තේ දළු කිලෝ 18ට අමතරව දෛනිකව වැඩි තේ දළු ප්‍රමාණයක් නෙළා ගනිමින් ශාන්ති කුමාරි 2014 වසරේ රුපියල් 57,395ක වැටුපක් උපයාගෙන තිබුණි. ඒ අනුව 51 හැවිරිදි ඇය තේ වතු ක්ෂේත්රයේ වාර්තාගත ආදායමක් ඉපැයුවාය. මෙලෙස කාන්තාවන් තම ශ්‍රමය කැප කරන්නේ මෙරට අපනයනයන්ගෙන් 17%ක අගයක් උසුලන තේ කර්මාන්තය තම දෑගිලි තුළ රඳවා ගනිමිනි.
ඡායාරූප - දර්ශන් ජූලියන්