සමෘද්ධි ව්‍යාපාරය අපේ රටේ ආරම්භ කළේ නැතිබැරි පිරිස් ඇතිහැකි අය කිරීමේ අරමුණින් වුවද එම ආධාරයෙන් ජීවන ගමන සාර්ථක කරගෙන ඇත්තේ කීදෙනෙකුද යන්න ගැටලුවකි. ඒ අතර ජීවන ගමන එළිය කරගත් අතලොස්සක්ද නැතුවාම නොවේ.
සමෘද්ධි සහනාධාරයෙන් හා සමෘද්ධි බැංකු ණය මගින් ඉතා කුඩාවට මල් පෝච්චි කර්මාන්තයක් ආරම්භ කර මේ වනවිට තම පවුලට ශක්තියක් වූ දිරිය කාන්තාවක ඇඹිලිපිටිය, උඩගම, තල්ගස්වත්ත ප්‍රදේශයේදී අපට හමුවිය. ඇය නමින් නයනා ගුණසේකර ය.
තම දෑතේ සවියෙන් මල් පෝච්චි සකසන ඇය, සියකර්මාන්තය පිළිබඳව මෙලෙස අප හා අදහස් දැක්වූවාය.
" මගේ සැමියා වන නිලන්ත රංගජීව ගුණසේකරත්, මමත් දුප්පත් දෙමාපියන්ගේ දරුවො. අපට එක පුතෙක් ඉන්නවා. වයස අවුරුදු 10යි. පහ වසරෙ ඉගෙන ගන්නෙ. අපට ස්ථිර ආදායමක් හා රැකියාවක් නැති නිසා දරුවාගේ අධ්‍යාපන කටයුතුත් එක්ක වියදම අධිකයි. මේ නිසා ස්ථිර ආදායමක් ලැබෙන කටයුත්තක් කරමු කියලා අපි දෙන්නා තීරණය කරලා තමයි මල් පෝච්චි හැදීම ආරම්භ කළේ.
ඉතා කුඩාවට මෙය පටන් ගත්තා. අපි හදන පෝච්චි හොඳ ප්‍රමිතියකින් තියෙන නිසා ඉල්ලුම වැඩි වුණා. ඊට පස්සෙ මෙය දියුණු කරගන්න අපේ උඩගම වසමේ සමෘද්ධි නිලධාරීනී නන්දා මහත්මිය, ඇඹිලිපිටිය යෝධගම සමෘද්ධි බැංකුවේ ව්‍යාපෘති කළමනාකාර සුනිල් මහත්මයා, බැංකු කළමනාකාරිනී රේණුකා මහත්මිය රුපියල් ලක්ෂ 05ක් හා නිවාස ණය රුපියල් පනස්දහසක් දුන්නා. අපි ඒ මුදලින් මල් පෝච්චි හදන ස්ථානයක් හදාගත්තා. පෝච්චි සෑදීම වැඩිදියුණු කරගත්තා. දැන් හොඳ ඉල්ලුමක් තියෙනවා.
මගේ සැමියත් අවශ්‍ය සියලුම සහාය මට ලබාදෙනවා. මේ වනවිට අපට ලැබෙන ආදායමෙන් ගත්ත ණය ටිකටික ගෙවනවා. රුපියල් ලක්ෂ 10ක් විතර වටින නව නිවසක් හදාගත්තා. මට අවශ්‍ය අනුන්ට බරක් නොවී ජීවත් වන ගමන් දරුවාටත් හොඳින් උගන්වන්න."