තාක්ෂණයේ ශීඝ්‍ර දියුණුවත් සමග ටච් ස්ක්‍රීන් සහිත ජංගම දුරකථන වඩාත් ජනප්‍රිය වූවා. වර්තමානය වන විට ටච් ස්ක්‍රීන් පහසුකම් රහිත ජංගම දුරකථන භාවිතයට ගන්නේ අතළොස්සක් පමණ දෙනා යැයි කිව හැකිය. පහසුවෙන් හැසිරවිය හැකි මෙම ජංගම දුරකථන ඒ නිසාම කුඩා දරුවෙකුට වුවත් ඉතා පහසුවෙන් භාවිතයට ගත හැකිය.
කෙසේ හෝ ටච් ස්ක්‍රීන් සහිත ජංගම දුරකථන වර්තමානය වන විට හඬන ළමුන් ඉතා පහසුවෙන් නළවාගත හැකි මෙවලමක් බවට දෙමාපියන් පත්කරගෙන තිබේ.
කුඩා දරුවන් මෙලෙස ජංගම දුරකථන සමග කාලය ගතකරන තත්ත්වය ක්‍රමයෙන් ඉහළ යාමත් සමගම මේ හරහා දරුවන්ට එල්ලවිය හැකි බලපෑම් මොනවාදැයි සොයා බලන්නට පර්යේෂකයන් සිය අවධානය යොමුකර තිබේ. එලෙස එක්සත් රාජධානියේ බ්‍රික් බෙක් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු පිරිසක් සිදුකරනු ලැබූ පරීක්ෂණයකින් හෙළිකරගෙන ඇත්තේ එතරම් සතුටුදායක තොරතුරක් නම් නොවේ.
මෙම පරීක්ෂණය සිදුකළ පර්යේෂක කණ්ඩායමේ නායක මහාචාර්යය ටිම් ස්මිත් පවසන්නේ ටච් ස්ක්‍රීන් සහිත ස්මාර්ට් ජංගම දුරකථනයක් සමග පැයක කාලයක් ගතකරන දරුවෙකුට දෛනික නින්ද විනාඩි 16ක කාලයක් අහිමි වන බවයි. ඒ අනුව විනාඩි 25ක කාලයක් දුරකථනය සමග කාලය ගතකරන දරුවෙකුට දෛනිකව විනාඩි 6ක කාලයක් නින්ද අහිමි වන බව ඔහු පවසයි.
එංගලන්තයේ වෙසෙන දරුවන් 715 දෙනෙකු යොදාගෙන සිදුකරන ලද මෙම පර්යේෂණයට මාස 6ත් අවුරුදු 3ත් අතර පසුවූ දරුවන් 75%ක්ම ඇතුළත් වූ බව හෙතෙම සඳහන් කරයි.
කුඩා දරුවෙකුට තම සංජානනීය හැකියා වර්ධනය කරගැනීම සඳහා නින්ද බෙහෙවින් අවශ්‍ය බැවින්, මෙලෙස නින්ද අහිමි වීම තුළින් දරුවන් වැඩෙත්ම බුද්ධිමය ගැටලු ඇතිවීමට ඉඩක් පවතින බවද ඔවුන් සඳහන් කරයි. කෙසේනමුත් ස්මාර්ට් ජංගම දුරකථන ළමුන්ගේ චලන ක්‍රියාකාරකම් උද්දීපනය කරන බවද ඔවුන් සඳහන් කර සිටියි. කුමන හෝ දෙයකින් දරුවන්ගේ නිදාගන්නා කාල සීමාව උදුරා ගැනීම නම් බුද්ධිමත් දරුවෙකු බිහිකිරීම කෙරෙහි සිදුවන බාධාවක් බවයි ඔවුන් පවසන්නේ.
ඩේලි මේල් වෙබ්අඩවිය ඇසුරෙනි
නිසංසලා