Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
මම ඉපදුණේ නුවර. ඒ මගේ අම්මා වන විනීෂියා මීරියම් පෙරියප්පෙරුම නුවර වත්තේ ගම පදිංචිකාරියක් වුණු නිසයි. මගේ තාත්තා පර්සි නෙල්සන් ක්‍රිස්ටෝපර් පෙරියප්පෙරුම මහරගම පදිංචි වෙලා හිටිය නිසා මම හැදී වැඩුණෙ මහරගම. අදටත් මම ඒ නිවසෙයි ජීවත්වෙන්නෙ. මම පාසල් ගියෙ මහරගම විද්‍යාකර බාලිකාවට හා නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විදුහලට. මම පාසලේ නියෝජ්‍ය ශිෂ්‍ය නායිකාව ලෙසද කටයුතු කළා. මම පවුලේ එකම ළමයා නිසා හැමවෙලාවෙම හිතුණා අම්මයි තාත්තයි නැති දවසක මට ආරක්ෂාවක් නෑ නේද කියන එක.
ඉතින් මගේ ආරක්ෂාවට පොලීසියට බැඳෙන එක හොඳයි කියලා අදහස් ආවා. අනෙක මගේ මාමා වුණු ස්ටැන්ලි රණසිංහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක් ලෙස සේවය කළ නිසා මට ඒ නිල ඇඳුමට ආසා හිතුණා. මම බඳවා ගැනීමේ පරීක්ෂණයෙන් සමත් වුණාට තාත්තගේ කැමැත්තක් තිබුණෙ නැහැ. නමුත් තාත්තා කිව්වා තාත්තගෙ යාළුවෙක් පොලීසියේ ඉන්නවා එයාගෙනුත් අහලයි තීරණයක් දෙන්නෙ කියලා. ඉතින් ඔහු කිව්වා පොලිස් සේවාව ගැහැනු ළමයෙක්ට ඉතා හොඳ රැකියාවක් බව. ඒ අනුව මම උපසේවා පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලීසියට එකතු වුණා. ඉන්පසු අවුරුදු 8කට පස්සේ මම පොලීසියේ නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය වුණා. 2008.01.01 දින මම සහකාර පොලිස් අධිකාරිවරියක ලෙස පත්වෙන තුරු ඇමති, අගමැති, ජනාධිපති ආරක්ෂක අංශවලට අනුයුක්තවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවුරුදු 12ක් ලෙසත් සේවයේ යෙදුණා.
මගේ සේවා කාලය තුළ මම ලද ලොකුම භාග්‍යයක් තමයි මෙරටට පැමිණෙන විදෙස් රාජ්‍ය නායකයන්ගේ ආර්යාවන්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනිය ලෙස කටයුතු කරන්න ලැබීම. නවාෆ් ෂෙරිෆ් ආර්යාවගේ, අබ්දුල් ගයුම් ආර්යාවගේ, මේනකා ගාන්ධි මැතිනියගේ, චීනයේ ලී පෙන්ග් ආර්යාවගේ, ඉන්දියානු අගමැති ගුජ්රාල් ආර්යාවගේ, ජපානයේ අකිෂිනෝ කුමරියගේ ආදී ප්‍රභූ කාන්තාවන් දහයකට අධික සංඛ්‍යාවකගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිනිය ලෙස මම සේවය කර තිබෙනවා. 2012 තිබුණු පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සමුළුවේදී ඉන්දියාවේ ලොක් සභා නායක මීනා කුමාර්ගේත්, 2013 චෝගම් සමුළුව සඳහා පැමිණි චාල්ස් කුමරුගේ බිරිඳ වන කැමිලා පාකර් ආදිපාදවරියගේ පරිවාර කාන්තාව බවට පත්වෙන්න ලැබීම මම ලබපු ලොකු භාග්‍යයක්.
ඇත්තටම කැමෙලා ආර්යාව ඉතා සුහදශීලී මෙන්ම කරුණාවන්ත ආර්යාවක්. ඒවගේ කෙනෙක්ගෙ ළඟටවත් කිට්ටුවෙන්න සාමාන්‍ය පුද්ගලයෙකුටවත් අවස්ථාවක් නැහැ. නමුත් මට ඒ භාග්‍යය ලැබුණා. ඊට හේතුව වෙන්න ඇත්තේ මම 1993 වසරේ ඇමෙරිකාවෙ පවත්වපු ලින්කො ජෝර්ජියා ප්‍රභූ ආරක්ෂක පුහුණුවක් (VIP security) ලබා තිබීම විය හැකියි. මම දන්නා තරමේ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පාඨමාලාවක් හැදෑරූ මෙරට එකම පොලිස් කාන්තාව මමයි. පොලිස් දෙපාර්තමේන්තුවේ උත්සව සඳහා අමුත්තන් පිළිගැනීමේ රාජකාරිවල මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙත් මමයි. මම කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරා තිබෙනවා.
මම උසස් පෙළ සඳහා විද්‍යා විෂය ධාරාවන් හැදෑරුවත් කලාවට සම්බන්ධව ගොඩක් වැඩ කළා. සාමාන්‍ය පෙළ දක්වා මම හැමදේටම කුළෑටි ළමයෙක් වුණත් පසුකාලීනව මම පාසලේ සියලුම සංගම්වල සාමාජිකත්වය අරන් වැඩකළා. අයිරාන්ගනී සපුතන්ත්‍රී ගුරුතුමිය මාව දුටුගැමුණු හා කුස නාට්‍ය සඳහා එකතු කරගත්තා. පියසිරි ගුණරත්නයන්ගේ තරුණයෙක්ගේ කතාවක් ටෙලිනාට්‍යයෙත්, තිලක් ගුණවර්ධනගේ සිහින නිම්නය හා කෝපි කඩේ ටෙලිනාට්‍යයේ කොටස් 4 ක විතර රඟපෑවා. ආචාර්ය නිහාල් සිංහයන්ගේ වෙළෙඳ දැන්වීම් 4 කටත් පෙනී සිටියා.
මේ ඔක්කොම පොලිස් සේවයට බැඳෙන්න කලින් කරපුවා. ඉතින් පොලිස් සේවාවට බැඳුණෙ නැත්නම් අද මම නිළියක්. සේවයට බැඳුණට පසුව වේදිකාවට නගින්න ලැබුණෙ පාසලේ විවිධ ප්‍රසංගයකදී සමන්මලී පද්මකුමාරගේ මහදැන මිත්තණිය හා යෙහෙළියෝ පස්දෙනා නාට්‍ය තුළින්. ඒ වගේම මම චිත්‍ර කලාවට ගොඩක් ළැදි කෙනෙක්. උපසේන ගුණවර්ධන චිත්‍ර ශිල්පියාණන් වෙතින් මම චිත්‍ර කලාව හැදෑරුවා. පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් ඇකඩමියේ නිල ලාංඡනය සඳහා භාවිත කරන්නෙත්, ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ සුබසාධක සංගමයේ ලිපි ශීර්ෂ ලාංඡනය සඳහා භාවිත කරන්නෙත් මගේ නිර්මාණ. මම ක්‍රිස්තු භක්තිකයෙකු ලෙස මහරගම විමුක්තිදායක ක්‍රිස්තුස් වහන්සේගේ දේවස්ථානයේ ගිහි නිලධාරිනියක ලෙස දුප්පතුන් හා බන්ධනාගාරගත රැඳවියන් වෙනුවෙන් විශේෂ සේවාවක් කරනවා.
මම ඒ ඒ කාලවල සේවයේ නිරත වන අවස්ථාවල පැනනැගෙන ගැටලු සඳහා විසඳුම් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඒ සියල්ල අතරින් විශේෂ සේවා තුනක් මම සිදුකර තිබෙනවා. ගැබිනි පොලිස් කාන්තාවන් සඳහා විශේෂ නිල ඇඳුමක් මා විසින් මනෝරි නවරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු පොලිස් මූලස්ථාන සේවා වනිතා උප ඒකකය හරහා පොලිස් සේවා වනිතා මවු ශාඛා ඒකකයේ සභාපතිනිය වන මීපා සාරංගි ඉලංගකෝන් මැතිණියට යෝජනා කළා. එය නිර්මාණය කළෙත් මම.
ඒ වගේම මම දැයට කිරුළ රාජකාරිවල ඉද්දි මම දැක්කා පොලිස් කාන්තාවන්ගේ රාජකාරිමය අවශ්‍යතා සඳහා කලිසමත් අවශ්‍යයි කියන එක. ඒ අනුව මම යෝජනා කළා රාජකාරි අවශ්‍යතා සඳහා කලිසම නිල ඇඳුමට එකතු කරන ලෙස. ඒ වගේම 2008 මම පොලිස් පරීක්ෂකවරියක ලෙස කටයුතු කරද්දි රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමාට යෝජනා කළා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සේවා කාලය අවුරුදු 20 විශ්‍රාම ගන්නා අයුරින් පොලිස් කාන්තාවන්ගේ අවශ්‍යතාව අනුව විශ්‍රාම ගැනීමට අවස්ථාවක් ලබාදෙන ලෙස.
එවක පොලිස්පති වූ වික්ටර් පෙරේරා මහතා හා උසස් නිලධාරී මහතුන්ගේ උපකාර ඇතිව එය යථාර්ථයක් බවට පත්කරගන්න හැකි වුණා. අද වෙනකොට මම කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ උපලේකම් ලෙසත් කටයුතු කරනවා. ඒ වගේම ජාත්‍යන්තර පොලිස් සංවිධානයෙත් සාමාජිකාවක්. අපේ රටේත් පොලිස් පරීක්ෂක සංගමයේ හා රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ භෝජනාගාර කමිටු සාමාජිකාවක්.
මම විවාහ වුණේ දැනට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවය කරන හෆීස් මාර්සෝ සමගයි. ඔහු බොහොම දක්ෂ රගර් හා පැසිපන්දු ක්‍රීඩකයෙක්. ඔහු ජාත්‍යන්තර තරගවලට සහභාගි නොවන අවස්ථාවල ඇමති ආරක්ෂක අංශයේ සේවය කළා. එවක ඔහු මගේ හොඳම මිතුරා බවට පත්වුණා. ඒ මිතුදම ආදරයකට පෙරලුණත් ජාති බේදය හරස් වෙලා අවුරුදු 8ක් යනතුරු අපිට විවාහ වෙන්න ලැබුණෙ නැහැ. පසුව දෙමවුපියන්ගේ අවසරය අපට ලැබුණා. අපේ විවාහය සඳහා අත්සන් තැබුවේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා වීමත් විශේෂ සිදුවීමක්. දැනට අපි දෙන්නට ධිමාෂ මාර්සෝ නමින් පුතෙක් ඉන්නවා. අපි තුන්දෙනා යාළුවෝ වගේ ඉන්නෙ. මට ගෙදර උදව්වට මෙහෙකරුවන් නැහැ.
හැමදේම අපි තුන්දෙනාම සහයෝගයෙන් කරන්නෙ. අපි තුන්දෙනාට ගෙදර වැඩ කරන එකත් හරිම විනෝදයක්. අපි දෙන්නම පොලිස් සේවයේ නිරත වුණාට මගේ ගෙදර කිසිසේත්ම පොලීසියක් නොවෙයි. පුතා නීතිරීතිවලට යටත් නොකර නිදහසේ හැදෙනවා. මම සිංහල ක්‍රිස්තියානි. සැමියා මැලේ ඉස්ලාම්. අපේ පුතා මේ ආගම් දෙකටම අනුව චාරිත්‍ර කළ කෙනෙක්. නමුත් ඔහු ක්‍රිස්තියානි ආගමට නැඹුරුයි. ආගම් ජාති මිශ්‍රව කසාද සිදුවෙන එක හොඳයි කියන එක මම විශ්වාස කරනවා. මොකද ඒ තුළින් එක් එක්කෙනා අනෙකාව ගරු කරන්න ඉගෙන ගන්නවා. මම තනි දරුවා වුණාට මගේ සැමියාගේ සහෝදර සහෝදරියන් සුහදව මා සමග කටයුතු කරනවා.
ජාත්‍යන්තර පොලිස් කාන්තා සංවිධානය හරහායි මාව ඇගයීමට පාත්‍ර කර තිබෙන්නේ. මම මේ සංවිධානයට බැඳුණෙ 1993 වසරේයි. සේවාවේ පළපුරුද්ද කැපවීම හා ලබාදී ඇති දායකත්වය වැනි දේවල් සලකා බලලා ඔවුන් වාර්ෂිකව එක් පොලිස් කාන්තාවක ඇගයීමට ලක්කරනවා. මෙම වසරේ ජාත්‍යන්තර පොලිස් කාන්තා සංවිධානයට වසර සියයක් සපිරෙනවා. මෙය බ්‍රිතාන්‍යයේ පවත්වන්නේ. එම සැමරුම තවත් ඉහළ තලයට යනවා බ්‍රිතාන්‍ය පොලිස් සේවාවට අවුරුදු සියයක් පිරී මේ සැමරුමත් එදිනම සිදුවීම නිසා.ඉතින් ඒ දැවැන්ත සැමරුම් වේදිකාවෙ මගේ පුංචි ශ්‍රී ලංකාවේ ධජය ලෙලදෙන්නට ලැබීම මා ලද භාග්‍යයක්.
මම මීට පෙර ජාත්‍යන්තර පොලිස් කාන්තාවන්ගේ සංවිධානයේ සැමරුම්වලට සහභාගි වෙලා තියෙනවා. ඉතින් ඒ හැම වෙලාවකම මට හිතුණෙ අනේ මගේ රටේ ධජය කවදද මේ වේදිකාවෙ එසවෙන්නෙ කියලයි. මම කවදාවත් හිතුවෙ නැහැ මට ඒ භාග්‍යය උදාවෙයි කියලා. මම මේ ගැන දැනගත්ත ගමන් දෙවියන්ට ස්තූති කළා. ඒ වගේම අද ජීවතුන් අතර නැති මගේ දෙමවුපියන්ගේ ජායාරූප ළඟට ගිහින් වැඳලා ඔවුන්ට ස්තූති කළා. අද මගේ තාත්තා හිටිය නම් ඔහුගේ ඩයරිය දිග ඇරලා හැම නොම්බරයකටම කතා කරලා එයාගේ දුව ලෝකෙ හොඳම පොලිස් කාන්තාව වුණා කියලා කියන හැටි මට මැවිලා පෙණුනා.
මගේ අම්මයි තාත්තයි එක්ක මම ගොඩක් එකතුයි. ඒ නිසා අදත් මම ගෙදරින් එළියට බහින්නෙ ඒ දෙන්නගේ පින්තූරවලට කතා කරල දෙවි පිහිට පතලයි. මම උදේම නැගිට්ටම දෙවියන්ට ස්තූති කරනවා මගේ දෙමවුපියන් ලබාදුන්නට. හොඳ සැමියෙක් පුතෙක් ලබාදුන්නට. ඒ වගේම රැකියාවක වෙනුවෙන් හා මා ලද සියලුම ආශීර්වාදවලට ස්තූති කරනවා. කාගෙවත් හිත් රිදවන්නෙ නැතිව වෛරය ක්‍රෝධය ඊර්ෂ්‍යාව නැතිව කාට හරි වචනෙකින් හරි උපකාර කරන්න ලැබෙන්න කියලා මම හැමදාම උදේට දෙවියන්ගෙන් ඉල්ලනවා. මගේ ජීවිතයේ මම දැක්ක ලස්සනම කාන්තාව මගේ අම්මා. ඇගෙන් මම ඉවසීමත් පියාගෙන් එඩිතර බවත් ඉගෙන ගත්තා. ගැහැනු ළමයෙක්ට ශ්‍රීලංකා පොලිස් සාමාජිකාවක් කියන තනතුර ආභරණයක්. මගේ ජයග්‍රහණයත් සමග කාන්තා පොලිස් සේවාවට බැඳෙන්න ඉන්න තරුණියන්ට හොඳ උත්තේජනයක් ලැබෙයි කියලා මම හිතනවා. මහජනයා එක්ක ප්‍රසන්නව කටයුතු කරනවා නම් අපේ සේවය හොඳින් කරන්න පුළුවන්. ඒ වගේම මට යමක් කරනවාට මම කැමතිද? ඒ දේම අනුන්ට කරන්න කියන දෙය අනුගමනය කළා නම් මොන දේ කළත් එය නිවැරදිව කරන්න පුළුවන් කියන දේ මම විශ්වාස කරනවා.
අපේ රටේ කාන්තාවන් අතවරයට හිංසාවට ලක්වෙන්නේ ඔවුන්ගේ දැනුම්වත්භාවය අඩු නිසයි. ඒ වගේම කාන්තාවන් අන් අයව විශ්වාස කරනවා ඕනෑවට වඩා. ඒ නිසා ඔවුන් ඉක්මනින් අමාරුවෙ වැටෙනවා. ඒ වගේම කාන්තාවන් අමාරුවෙ වැටෙන බහුල සිද්ධියක් වෙන්නෙ අනියම් සබඳතා පැවැත්වීම. ඒ කියන්නෙ බොහෝදෙනා දුරකථනය හරහා එන මිස් කෝල් හරහා අනවශ්‍ය සම්බන්ධතා ගොඩනගා ගන්නවා. කොටුව මගී පාලම උඩ පොලිස් කාන්තාවකට පිහියෙන් ඇනලා මරණයට පත්වුණා. එය මගේ පොලිස් සේවා කාලය තුළ අත්දුටු සිත සසල කරවනම සිදුවීමයි. මම කාන්තාවන් හැමෝටම කියන්නෙ එක් සම්බන්ධයක් තියෙද්දී තවත් සම්බන්ධතාවක් පවත්වාගෙන යන්න එපා කියන එකයි. ඒ වගේම පොලිස් සේවාවේ නිරත වගේම රැකියාවන්වල නිරත කාන්තාවන්ගෙන් ඉල්ලනවා තමන්ට පැවරෙන රාජකාරි තමන් කැමතිම දේ නොවුණත් එය අවංකව උනන්දුවෙන් උද්යෝගයෙන් කැපවීමෙන් කරන්න. ඒ වගේම ඉංග්‍රීසි හා පරිගණක දැනුම වැඩිකර ගැනීමට කාන්තාවන් උත්සහ කළ යුතුයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd