Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා
'ගර්භිණී සමයත් එක්ක ආහාර සම්බන්ධ කර මේ මාතෘකාව ඔස්සේ කතා කිරීමේදී වැඩි වශයෙන් අවධානය යොමුකරන්නට වෙන්නේ ආහාරවල සුරක්ෂිතතාව පිළිබඳවයි. ගර්භිණී සමයේ ආරක්ෂාකාරීව ආහාර ලබාගන්නේ කෙසේද කියන එක වර්තමානය වනවිට සමස්ත ලෝකයේම අවධානය යොමුව තිබෙන කාරණයක් ලෙස දක්වන්නට පුළුවන්. මොකද දැන් මවුවරුන් ඉස්සර වගේ ගර්භිණී සමයේ නිවෙස්වල රැඳෙන්නේ නැහැ. ඔවුන් රැකියාවේ නිරතවෙන නිසා පෙරට වඩා දැන් ගර්භිණී මවුවරුන් ගතකරන ජීවිත රටාව වෙනස් වී තිබෙනවා. ඒ නිසා නොයෙකුත් වර්ගයේ ආහාරවලට යොමුවෙන්නට මවුවරුන්ට සිදුවෙනවා. මේ සමයේදී මවක් ආහාරයට ගතයුතු වන්නේ මොනවාද කියන එක බහුල වශයෙන් සාකච්ඡා කෙරුණත් වැළැකිය යුත්තේ මොනවගේ ආහාරයන්ගෙන්ද කියන එක සාකච්ඡාවට නොගන්නා තරම්.
විෂ සහිත සංයෝග පවතිනවා යැයි සැක කරන ආහාරවලට මේ සමයේ තහංචි පැනවෙන්නේ කුසේ වැඩෙන කලලයට වැඩුණු පුද්ගලයෙකු හා සාපේක්ෂව මේ ආහාර ඔරොත්තු නොදෙන නිසාවෙන්. එම නිසා ආහාරවල සුදුසු නුසුදුසු බව පිළිබඳව තෝරා බේරා ගැනීමට යම් දැනුමක් තිබිය යුතුය. විශේෂයෙන් ආහාර ගබඩා කිරීමේ ගැටලු මත ආහාර නුසුදුසු තත්ත්වයට පත්වේ. උදාහරණයක් ලෙස නියමිත උෂ්ණත්වයේ ආහාර ශීතකරණයේ නොතැබීම මත ආහාරවල සුරක්ෂිත බව අහිමි විය හැකිය. තවද ආහාර උණුසුම් කිරීම සම්බන්ධයෙන්ද එවැනිම වූ තත්ත්ව පවතියි. ආහාරවල සුරක්ෂිතතාව ඕනෑම අයෙකුගේ ආහාර වේලක් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු වූවක් වුවද ගර්භිණී සමයේ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වේ.
විශේෂයෙන් ගර්භිණී සමයේ ආහාර මාර්ගයේ බැක්ටීරියා ආසාදනයක් ඇති වුවහොත් එය කලලයටද බලපෑම් එල්ල කිරීමේ හැකියාවක් පවතියි. %සැල්මොනෙල්ලා^ වැනි බැක්ටීරියාවන් ශරීරගත වීමෙන් ආහාර විෂ වී වමනය, පාචනය ඇති කළ හැකිය. සමහර බැක්ටීරියා විෂ වර්ග පිටකිරීමද සිදුකරයි. මේ හේතුව නිසා තමන්ට විශ්වාසයක් නැති ආහාරපාන ගැනීමෙන් වැළැක්විය යුතුය. මේ හේතුව නිසා විවිධ රටවල සිදුකරනු ලැබූ විද්‍යාත්මක පරීක්ෂණ මත විවිධ අදහස් ආහාරපාන පිළිබඳව මෙලෙස ගොඩනගා ගෙන තිබේ.
එම විද්‍යාත්මක පරීක්ෂණ මත අපට මේ සමයේ ආහාර පිළිබඳව මෙවැනි නිර්ණායක තුනක් අනුව සාකච්ඡා කළ හැකිය. ඒවා නම්
1. සම්පූර්ණයෙන් වැළැකිය යුතු ආහාර
02. පරිස්සමින් ගතයුතු ආහාර
03. ගැටලුවකින් තොරව ආහාරයට ගතහැකි ආහාර යන කාණ්ඩ තුනයි.
එම කාණ්ඩ තුන පිළිබඳව අවධානය යොමුකරමින් මෙලෙස ආහාර පිළිබඳව යම්කිසි වර්ග කිරීමක් ඉදිරිපත් කළ හැකිය.
ගර්භිණී සමයේ සකස් කළ මස් නිෂ්පාදන ( සොසේජස්, මීට් බෝල්ස්, හැම්, බේකන් වැනි නිෂ්පාදන) ආහාරයට ගැනීමෙන් සම්පූර්ණයෙන් වැළකිය යුතුය.
එසේම මස් යොදා සැකසූ ආහාර නිෂ්පාදනද ( ක්ෂණිකව බැද සකසාගත හැකි වන අයුරෙන් නිෂ්පාදිත රෝල්ස්, ඩ්‍රම්ස්ටික් වැනි ආහාර) ආහාරයට ගැනීමෙන් වැළැකිය යුතුය.
සැන්ඩ්විච් සඳහා නිෂ්පාදනය කර ඇති මස් තැවරුම් වර්ග, ස්ලයිසස් වර්ග ආහාරයට ගැනීමෙන්ද වැළැකිය යුතුය. මෙම ආහාර ශීතකරණවල ගබඩා කර තබන නිසා ඒවා නිෂ්පාදකයන් නිර්දේශ කර ඇති උෂ්ණත්වවලින් ගබඩා කිරීමට අපහසු වුවහොත් ආහාරවල සුරක්ෂිතභාවය නැතිවී යයි. නිර්දේශිත උෂ්ණත්වවලින් පිසගැනීමට නොහැකි වුවහොත් බැක්ටීරියා වර්ග විනාශ නොවී ආහාර හරහා ඒවා සිරුරට එකතු වීමේ අවදානමක්ද පවතී.
ආපන ශාලාවලින් පිසින ලද ආහාරවල අඩංගු මස් වර්ග ආහාරයට ගැනීමේදී ඒවා පරිස්සමෙන් ආහාරයට ගැනීම නුවණට හුරුය. මන්දයත් ආපනශාලාවල ආහාර පිසීමේදී විශාල භාජන භාවිත කරන විට උඩින් පවතින මස් කැබැලි නිසි පරිදි තැම්බී නොතිබෙන්නට ඉඩ ඇත. එවිට එවැනි මස් කැබැල්ලක් ආහාර පාර්සලයේ අඩංගු වී තිබේ නම් ඔබට ගැටලු ඇති විය හැකිය.
විශ්වාසවන්ත තැනකින් මිලට ගෙන නිවසේ නිසි ආකාරයට අයිස් ඉවත්කර නිසි පරිදි ඉහළ උෂ්ණත්වයක පිසගන්නා ලද මස් වර්ග ආහාරයට ගැනීම සෞඛ්යාරක්ෂිත වේ.
මස් වර්ගවල සෞඛ්‍ය ආරක්ෂිත බවට ගැටලු ඇති වන්නේ බොහෝවිට ප්‍රවාහනයේදී , ගබඩා කිරීමේදී හා නිසි ආකාරයට පිසගැනීම සිදු නොවන විටදීය. මේ නිසාවෙන් ගැබිනි මවක් මස් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වීම වටී.
මාළු හා මුහුදු ආහාර සම්බන්ධයෙන්ද පවතින්නේ මස් හා සමාන තත්ත්වයකි. ඒ නිසා නිවසේ නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිතව පිසගත් මාළු ආහාරයට ගැනීම නුවණට හුරුය.
මාළු පිළිබඳව මේ වනවිට ලෝකයේ වැඩි අවධානයක් යොමුවන කරුණක් වී ඇත්තේ රසදිය අඩංගු වීම සම්බන්ධයෙනි. අපේ රට අවට මාළුවල රසදිය අඩංගුවේදැයි අපට පරීක්ෂණ දත්ත නොමැති නිසා යමක් ප්‍රකාශ කළ නොහැක. නමුත් විදේශයේ නිෂ්පාදිත මාළු නිෂ්පාදන හෝ විදේශයන්ගෙන් ගෙන්වන මාළු වර්ග ආහාරයට ගැනීමේදී පරිස්සම් විය යුතුය.
කිරි ආහාර අතරින් ගැබිනි මවකට විශ්වාසනීය ලෙස ආහාරයට ගතහැකි නිෂ්පාදනයක් ලෙස චීස් නම් කළ හැකිය. නමුත් චීස් තැවරුම් නිෂ්පාදන නියමිත උෂ්ණත්වයේ ගබඩා කර නොතිබුණේ නම් ගැටලු ඇති විය හැකිය. ඒ නිසා චීස් තැවරුම් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතුය.
අයිස්ක්‍රීම් ආහාරයට ගැනීමේදී නියමිත පරිදි අධිශීතකරණයක ගබඩා කර තැබූ අයිස්ක්‍රීම් ආහාරයට ගැනීම සෞඛාරක්ෂිත වේ.
නමුත් දියවුණු ස්වභාවයක් හෝ දියවී නැවත ශීත වූ ස්වභාවයක් අයිස්ක්‍රීම්වල පවතී නම් ඒවා ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.
කිරිපැකට් ලෙස හෝ බෝතල් කළ ඒවා සෞඛ්යාරක්ෂිත නමුත් කල් ඉකුත් වීමේ දිනය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මෙලෙස ආහාර පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ බඩේ අජීර්ණ තත්ත්වයක් ඇති වුවහොත් ගර්භිණී සමයේදී ඇතැම් ඖෂධ ගැනීම පිළිබඳවද ගැටලු පවතින බැවිණි.
කිරි වර්ග බීමෙන් දරුවාට සෙම් රෝග ඇති වේයැයි සිතීම මිත්‍යාවක් වන අතර, කිරි හෝ වෙනත් ආහාරයකට අාසාත්මිකතා මතුවේ නම් එම ආහාර නොගෙන සිටීම නුවණට හුරුය.
අමුවෙන් බිත්තර ආහාරයට එකතු වීම සම්පූර්ණයෙන් වළක්වා ගත යුතුය. කේක් මිශ්‍රණ සැකසීමේදී බැටරය අමුවෙන් රස බැලීම ආදිය මේ කාලයේ සිදුනොකළ යුත්තකි. එසේම අඩක් තැම්බූ බිත්තර ආහාරයට එක්කර නොගත යුතුය. හොඳින් තම්බාගත් හෝ හොඳින් පිසගත් බිත්තර ආහාරයට ගැනීම නුවණට හුරුය.
හොඳින් ඉදුණු ඕනෑම පලතුරක් ආහාරයට ගැනීම සෞඛ්යාරක්ෂිතය. අමුවෙන් ආහාරයට ගන්නා ඇඹුල් වර්ගයේ පලතුරුද ආහාරයට ගැනීම සෞඛ්යාරක්ෂිතය.
ඇතැම් පලතුරු වර්ගවල ඇසිඩ් ස්වභාවයක් පවතීයැයි බියෙන් ආහාරයට නොගන්නා අවස්ථා දැකගත හැක. නමුත් පලතුරු මෙන්ම අනෙක් ආහාරවලින්ද අපේ සිරුරට යම්කිසි ඇසිඩ් ප්‍රමාණයක් එකතු වීම ස්වාභාවිකවම සිදුවේ. එම ඇසිඩ් වර්ග පාලනය කළ හැකි ආහාර ජීර්ණ පද්ධතියක් අපගේ සිරුරේ පවතී. මෙම ආහාරවල පවතින ඇසිඩ් වර්ග රසායනාගාරවල පවතින ඇසිඩ් වර්ග තරම් ප්‍රබල ඒවා නොවන අතර, සෞම්‍ය ඇසිඩ් වර්ග වේ. නමුත් යම් අයෙකුට යම් පලතුරක් ආහාරයට ගැනීමෙන් පසු පලු දැමීමක්, කැසීමක් වැනි ආසාත්මිකතා ලක්ෂණ පහළවේ නම් ඒවා ආහාරයට නොගෙන සිටිය යුතුය.
එළවළු ඕනෑම වර්ගයක් හොඳින් පිරිසුදු කර කපා පිසගනී නම් ඉතා සෞඛ්යාරක්ෂිත වේ. එළවළු සලාද ලෙස සකස් කර ආහාරයට ගැනීමේදී පරිස්සම් විය යුතුය. මන්දයත් අස්වනු නෙළන කාලයේදී කෘමිනාශක වර්ග එකතු වී තිබිය හැකි බැවිනි. අපේ සිරුරට එම විෂ දරාගැනීමට හැකි වුවත් කලලයට එම විෂ දරාගැනීමට නොහැකි වනු ඇත. මේ නිසා ඔබ එළවළු පලතුරු හා පලාවර්ග මිලදී ගැනීමේදී විශ්වාසනීය ස්ථානයකින් මිලදීගත යුතුය.
මෙම ආහාර පරිස්සමින් ආහාරයට ගතයුතු අතර, ආහාරයට නොගෙන සිටීමට හැකි නම් වඩාත් සුදුසුය. ආහාරයට ගැනීමට අවශ්‍යම නම් ටින් ඇසුරුමේ පලුදු තිබේද යන්නත්, කල් ඉකුත්වීමේ දිනය පිළිබඳවත් වඩාත් අවධානය යොමු කළ යුතුය.
සෝයා කිරි හෝ සෝයා මීට් වැනි නිෂ්පාදන නිර්මාංශික අයට හොඳ ප්‍රෝටීනමය ආහාරයකි. නමුත් නිෂ්පාදිතයා පිළිබඳව පැහැදිලි සටහනක් නොමැති නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුය.
සෑම විටම ගැබිනියක ආහාර ගැනීමේදී ඕනෑම ආහාරයක් පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ එම ආහාරවලට යම් කිසි රසායන එකතුවී ඇතිද යන්න පිළිබඳවයි. ඔබට විශ්වාස තැනකින් ආහාර නිෂ්පාදන හෝ එළවළු, පලතුරු, මස් මාංස ආදිය මිලදීගත හැකි නම් එය සෞඛ්යාරක්ෂිත වනු ඇත.
'සැල්මොනැල්ලා' , 'ඊකොලයි' වැනි බැක්ටීරියා වර්ග ආහාර මාර්ගයට එක්වී නිසි පරිදි ඒවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වුවහොත් ඇතැම් විට ජීවිත තර්ජන පවා ඇතිවීමේ අවදානමක් පවතී. මේවායේ රෝග ලක්ෂණ ලෙස පාචනමය ලක්ෂණ පෙන්නුම් කෙරෙන අතර, දිගින් දිගටම පාචනය වීම වළක්වා ගැනීමට නොහැකි වුවහොත් ඇතැම් විට විජලනය තත්ත්වයට පත්ව ජීවිතයට වුවද තර්ජන ඇතිවිය හැක. නමුත් අනියත බියක් ඇති කර නොගත යුත්තේ මෙම තත්ත්වයන් සුවපත් කරගැනීමට ඖෂධ පවතින බැවිනි. අවශ්‍ය වන්නේ අවදානමක් නොගෙන ආහාරවල සෞඛ්යාරක්ෂිත බව තහවුරු කරගැනීමය.
එසේම ගර්භිණී සමයේ ඖෂධ ගැනීම නොකළ යුතුයැයි සිතා ආහාර අජීර්ණ වීමකදී අත්බෙහෙත් කරමින් සිටිනවාට වඩා සිදුකළ යුතු වන්නේ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගැනීමයි. ගර්භිණී සමයේ දරු ගැබට හානි නොවන ඖෂධ වර්ග නිර්දේශ කිරීමට වෛද්‍යවරුන් මෙවැනි අවස්ථාවක පියවර ගනු ඇත. එසේ නොමැතිව පාචනය පවතින අවස්ථාවක නිවසේ සිට කෝපි, සුදුලූනු තම්බා බීම වැනි දේ සිදුකරමින් කල් මැරීමෙන් අභ්‍යන්තර ඉන්ද්‍රීයන් විජලනයට පත්ව අවදානම් තත්ත්ව ඇති විය හැකිය.
සුදුසුම දෙය වන්නේ ඔබෙත්, කුසේ සිටින දරුවාගෙත් ආරක්ෂාව ගැන සිතා සෞඛ්යාරක්ෂිත ආහාර හැකිතාක් නිවසේ පිසූ ආහාර ලෙස ලබාගැනීමත්, ආහාර විෂ වීමකදී හෝ ආසාත්මික වීමේදී වෛද්‍ය ප්‍රතිකාර වහා ලබාගැනීමත්ය*.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd