කාන්තාවන් හා ළමයින් සමාජයේ පීඩනයට ලක්වන කොට්ඨාස ලෙස හඳුනාගැනෙන්නේ අතීතයේ සිටය. මේ නිසාම කාන්තාවන්ගේ හා ළමයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් විවිධ නීතිරීති හා සම්මුතීන්වලට එළඹීමට ලෝකයේ සෑම රටක්ම පාහේ පියවර ගෙන තිබේ.
විශේෂයෙන් කාන්තාවන් හා ළමයින් මුහුණදෙන ලිංගික අඩත්තේට්ටම්වලින් ඔවුන් ආරක්ෂා කරගැනීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ලංකාවේද ඒ සඳහා නීති සකස් වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වගන්තිය යටතේ මෙන්ම දණ්ඩනීති සංග්‍රහයේ 345 වැනි වගන්ති ප්‍රකාරවද ලිංගික හිංසනය වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇත.
මෙරට නීතිය අනුව කාන්තාවන් ලිංගික හිංසනයට ලක්කරන තැනැත්තෙකුට අවුරුදු හතක් දක්වා සිර දඬුවම් නියම කළ හැකිය. නමුත් මෙවන් නීති තිබියදී අපරටේ පොදු ප්‍රවාහන බස්රථ හා දුම්රියතුළදී කාන්තාවන්ගෙන් 90%ක්ම ලිංගික හිංසයන්ට ගොදුරුවන බව පසුගිය සතියේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් එළිදැක්වූ සමීක්ෂණ වාර්තාවකින් හෙළිදරව් වී ඇත.මේ හේතුව නිසාම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් මෙවර කාන්තා දින සැමරුමට සමගාමීව ඇය සුරැකි ගමනකද? යනුවෙන් වැඩසටහනක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇත.
එම වාර්තාවට අනුව කාන්තාවන් පොදු ප්‍රවාහනයේදී සිදුවන අතවර නිසාම තැනින් තැනට යෑම්ඊම් සීමා කර තිබේ.
විශේෂයෙන් රැකියා ස්ථාන කරා දිනපතා යෑම් ඊම් සිදුකරන අවස්ථාවල සිදුවන අතවර නිසාම බොහෝ කාන්තාවන් නිවසට සීමාවී සිටින තත්ත්වයක් පෙන්නුම් කරන බවද එහි සඳහන් වේ. මෙරට ආර්ථික වශයෙන් සක්‍රිය විය හැකි වයසේ සිටින කාන්තාවන්ගෙන් රැකියාවල නිරතවී සිටින පිරිස 34%ක් පමණ වීමම එය සත්‍යයක් වන බවට නිදසුන් සපයා දෙයි.
කාන්තාවන් ලිංගිකව හිංසනයට පත්වන බව හෙළිදරව් වුවද ලිංගික හිංසනයක් යනු කුමක්දැයි නිවැරදිව හඳුනාගෙන නොමැති වටපිටාවක් තුළ මෙම ප්‍රකාශය පිළිගැනීමට බහුතරයක් මැලිවනු ඇත. ඒ නිසාම ලිංගික හිංසනයක් යනුවෙන් නීතියට අනුව සැලකෙන්නේ කුමක්දැයි යන්න සොයා බැලිය යුතුය.
ලිංගික හිංසනය යටතට ඕනෑම අයුතු ලිංගික බලපෑමක් ඇතුළත් වෙයි. යම්කිසි දෙයක් සඳහා විශේෂකොට සැලකීමට සිදුකරන ලිංගික ස්වරූපයේ ඉල්ලීමක්ද මේ යටතට ඇතුළත් වෙයි.
එසේම ලිංගික ස්වරූපයේ වචනයෙන් හෝ ශාරීරිකව සිදුකරන ක්‍රියාවක් හෝ හැසිරීමක්ද ලිංගික හිංසනයකි. තවද තවත් අයෙකුට වරදක් හෝ අවමානයක් ඇති කරන බව සාධාරණ ලෙස පෙන්නුම් කෙරෙන ඕනෑම ආකාරයේ ලිංගික ස්වභාවයේ චර්යාවක් ලිංගික හිංසන යටතට ඇතුළත් වෙයි. මෙම හිංසන එක් සිද්ධියක් ලෙස හෝ සිද්ධි මාලාවක් ලෙසද සිදුවිය හැකි අතර, සිතාමතා හෝ බලහත්කාරයෙන් සිදුකරන දෙයක් ද විය හැකිය.
මෙලෙස බැලූවිට පොදු ප්‍රවාහන තුළ සිදුවන ලිංගික හිංසනයන් මේ තරම් ඉහළ අගයක් ගැනීම පුදුමයට කරුණක් නොවන බව ඔබටම වැටහෙනු ඇත.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් නිකුත් කර ඇති උක්ත සමීක්ෂණ වාර්තාවට අදාළ සමීක්ෂණය සඳහා මුහුණදුන් කාන්තාවන්ගෙන් 50%ක්ම සේවාස්ථානය සඳහා දෛනිකව ගමන්කර තිබෙනුයේ පොදු ප්‍රවාහන රථවල බව සඳහන් වෙයි.එම අය අතරින් 52%ක් ලිංගික හිංසනය අපරාධමය වරදක් ලෙස සැලකෙන නීති රටතුළ පවතින බව දැනුවත්ව සිට ඇත.
එනමුත් 60%ක්ම ලිංගික හිංසන වරදට නීතියෙන් දඬුවම් ඇති බව දැනගෙන සිට නොමැත. මෙම සමීක්ෂණය සඳහා පළාත් නවයේ දිස්ත්‍රික්ක සියල්ල නියෝජනය වන පරිදි අවුරුදු 15 - 35 අතර පුද්ගලයන් 2500ක් සහභාගි කරවාගෙන ඇති අතර, ඉන් 50%ක් පොදු ප්‍රවාහන රථ භාවිතයට ගෙන තිබුණේ කාර්යාල වෙත යෑම්ඊම් සඳහාය.
28%ක් ගැහැනුළමයින් ඉගෙනුම් කටුයුතු සඳහා යෑම්ඊම්වලට පොදු ප්‍රවාහන රථ භාවිත කර තිබුණු අතර, 20%ක් වෙනත් පෞද්ගලික අවශ්‍යතා සඳහා පොදු ප්‍රවාහන රථ භාවිත කර තිබිණි.
මෙම අධ්‍යයනයේදී ලිංගික හිංසන අත්දැකීම් ලැබූ වාරගණන පිළිබඳ හෙළි වී තිබුණේ මෙවන් අගයකි.
දිනපතා 12.1% පිරිසක් ලිංගික හිංසනයට ලක්වී තිබූ අතර, සතිපතා 16.4%ක් එයට ගොදුරු වී සිටියහ. මාසිකව ලිංගික හිංසනයට ගොදුරුවූවන් 25.8%ක් වූ අතර, වසරකට වාර 7-8 අතර මුහුණදුන් අය 16.5%ක් ලෙස වාර්තා වී ඇත.
එසේම වසරකට වාර 4-5 අතර මෙම හිංසනයට ලක්වූවන් 13.5%ක් වූ අතර,වසරකට වාර 1 - 2 අතර වාර්තා වී ඇත්තේ 11.6% කි. 4%ක් අදාළ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වීමට අසමත්වූ පිරිස අතරට ඇතුළත්ව තිබිණි.
මෙම ලිංගික හිංසනයන්ද විවිධාකාරයෙන් සිදුවී ඇති බව මෙලෙස සමීක්ෂණයෙන් හෙළිදරව්වී තිබිණි.
· සිතා මතා ශරීර කොටසක් ස්පර්ශ කිරීමේ සිද්ධීන් 74%
· පෞද්ගලික අවකාශ සීමාව උල්ලංඝනය වන පරිදි ළඟට පැමිණීමේ සිද්ධි 60%
· අසුන් ගැනීමේ අයෝග්‍ය හැසිරීමේ 52.25%
· ලිංගික අවයව වෙනත් අයගේ සිරුරුවල ඇතිල්ලීම් 52%
· සිතාමතා කකුල පෑගීම 48.44%
· ශරීර කොටස් දෙස ග්‍රන්ථික ලෙස බලා සිටීමේ සිද්ධි 46.28%
· දුරකථන අංකය ඉල්ලීම් 48.72%
· කාමුක බැල්ම 45.56%
මෙලෙස කාන්තාවන් හා දැරිවියන් හිංසනයට ලක්වීම කෙරෙහි ප්‍රවාහන මාධ්‍ය තුළ ගමන්ගන්නා දුර බලනොපා ඇති අතර,දිගු දුරක් ගමන්ගන්නා විට වැඩි කාලපරාසයක් තුළ හිංසනයට ලක්වීම් වාර්තා වී තිබිණි. එසේම මෙලෙස හිංසනයට ලක්වන කාලසීමාවන් ගැන සැලකීමේදී ලිංගික හිංසන වැඩි වශයෙන් සිදුව ඇත්තේ උදෑසන හා සවස් කාලයේ වැඩි පිරිසක් ප්‍රවාහන සේවා භාවිත කරන කාල පරාස තුළදීය.
ලිංගික හිංසනයන්ට ලක්වන කාන්තාවන් හා දැරිවියන් මෙම තත්ත්වයන්ට ලක්වීම හේතුවෙන් දෛනික කටයුතුවලට අහිතකර ලෙස බලපෑම් එල්ලවී ඇති බවද ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව 37%කටම තම කාර්යාල වැඩ කටයුතුවලට අහිතකර බලපෑම් වූ බවත්, 29%ක්ම තම අධ්‍යාපන කටයුතුවලට අහිතකර ලෙස බලපෑම් එල්ලවූ බවත් සඳහන් කර තිබිණ.
එසේම 44%කගේ පෞද්ගලික ජීවිතවලට මෙම සිදුවීම් අහිතකර ලෙස බලපා තිබිණි. මෙම හිංසන හේතුවෙන් 76%ක්ම කෝපයට පත්වී ඇති අතර, 68%ක් අවමානයට හා ලැජ්ජාවට ලක්ව ඇත.
48%ක් බියට හා 45%ක් තමන් පහත් තත්ත්වයට ඇදදමන ලද බවට හැඟී ගිය බවද සඳහන් කර තිබිණි.
මේ කරුණු දෙස බලන විට පොදු ප්‍රවාහන තුළ සිදුවන ලිංගික හිංසන නිසා කාන්තාවන්ට ඇතිව ඇති කායික මානසික බලපෑම්වල ස්වරූපය මැනවින් හෙළිදරව් වෙයි. එසේම සමීක්ෂණයේදී අනාවරණය වූ තවත් කරුණක් වන්නේ පොදු ප්‍රවාහන රථතුළ තවත් කාන්තාවක ලිංගික හිසංනයට ලක්වන ආකාරයේ සිදුවීම් අත්දැකීමට 82%කටම හැකි වූ බවයි.
එසේනම් පොදු ප්‍රවාහන මාධ්‍ය තුළ ගැහැනුන් 90%ක්ම ලිංගික හිංසනයට ලක්වෙද්දී ඔවුන්ද තවත් අයෙකු හිංසනයට ලක්වන අයුරු එවන් වැඩි ප්‍රතිශතාත්මක අගයකින් අත්දැක ඇති බවපෙනේ.
එසේනම් මෙම අවාසනාවන්ත මෙන්ම පීඩිත තත්ත්වයෙන් කාන්තාවන් හා ගැහැනු දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් අදාළ බලධාරීන් විසින් යෙදීම අත්‍යවශ්‍ය වන බව හැඟීයයි. ඒ උදෙසා පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 විවෘත කරදීම එක්තරා අයුරකින් සාධනීය කටයුත්තකි.
නමුත් තමන් ලිංගිකව හිංසනයට ලක්වෙද්දී ජංගම දුරකථනය ගෙන 119ට ඇමතුමක් ලබාගෙන අදාළ පැමිණිල්ල කිරීමට තරම් අපරටේ කාන්තාවන් නිර්භයව නැගී සිටීද යන්න පිළිබඳ ඇත්තේ අඩු තක්සේරුවකි. කෙසේ හෝ නමුත් අවට සිටින අයට මෙම වින්දිතයන් වෙනුවෙන් නැගීසිටීමට හෝ අවකාශය ලබාදෙමින් මෙවන් තීරණයක් ගැනීම සතුටුවිය හැකි කරුණකි. නමුත් දුම්රියේ හෝ බස් රථයේ මෙවන් සිදුවීම් සිදුවන විට ඒවාට එරෙහිව නැගී සිටින අය දැකගැනීමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි.
එසේම එවන් තත්ත්වයක් මත පොලීසියෙන් සහාය පැතීම සඳහා04%ක් තරම් අවම පිරිසක් යොමුවීම පිළිබඳ වන දත්ත කනගාටුවෙන් වුවද පිළිගැනීමට සිදුවෙයි.
එසේම 74%ක්ම මෙවන් හිංසන අවස්ථාවල පැමිණිලි කිරීමට හදිසි ඇමතුම් අංක නොදන්නාකමින් පසුවී ඇති බවද වාර්තාවෙයි.
මෙවන් වටපිටාවක් තුළ කාන්තා පිහිට වෙනුවෙන් වන 1939 හා ළමයින් සම්බන්ධ මෙවන් සිදුවීම් සිදුවනවිට 1929 දුරකථන අංක ඇමතීමට තරම්වත් අපේ රටේ ජනතාව දැනුම්වත් නොවී සිටින බව පැහැදිලි වෙයි.
මේ නිසාම පොදු ප්‍රවාහන රථ තුළ කාන්තාවන් හා ළමයින්ගේ ආරක්ෂාව සැලසීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වටපිටාවක් සෑදීම වැදගත් වෙයි. විශේෂයෙන් මෙවන් සිදුවීම් වළක්වාගැනීමට බස් රථයේ රියදුරු මහතා හා කොන්දොස්තර මහතා සක්‍රිය දායකත්වයක් ලබාදිය යුතු වෙයි. අදාළ අපයෝජකයා නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා ඔවුන් උත්සාහයක යෙදෙන විට නීතිමය ක්‍රියාමාර්ග සඳහා සාක්ෂි සැපයීම වෙනුවෙන් පෙනී සිටීමටද පුරවැසියන් බලාත්මක කළයුතුවෙයි.
තවද එවන් හිංසන සිදුවෙද්දී තමන්ට තම ආරක්ෂාව සලස්වාගැනීමට හැකිවන අයුරින් දැනුම්වත්භාවයක් කාන්තාවන්ට හා දරුවන්ටද ලබාදීමේ වැඩපිළිවෙළක්ද සැකසිය යුතුය. එසේ නොමැතිව මෙම හිංසා හා පීඩා වළක්වාගැනීමට අනාගතයේ යම් දිනක හෝ හැකියාවක් නොමැතිවනු ඇත.