'එතෙර යන්න ලඳුනේ ඔබත් දැන්ම එන්න’ වැනි සිත් ඇදගන්නා සුලුවදන් සහිත දැන්වීම් මගින් රට රැකියාවක් සඳහා පිටත්ව යෑමට කිසිදු අදහසක් නොමැතිව සිටි කාන්තාවන් දහස් ගණනක් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් එතෙරට පිටත්කර ඇති බවට සැකයක් නොමැත.
නමුත් මෙලෙස විදේශගත වන බොහෝමයක් දෙනා මෙරටට පැමිණෙනුයේ අපේක්ෂා භංගත්වයෙනි. එලෙස දහසක් පැතුම් සිතේ දරාගෙන කුවේට් රාජ්‍ය බලා පිටත්ව ගොස් අනේකවිද දුක්කම්කටොලුවලට මුහුණදුන් 122කු පෙරේදා (22දා) උදෑසන යූ.එල් 230 දරන ගුවන් යානයෙන් දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ රැකියා අමාත්‍යාංශය පියවර ගෙන තිබිණි.
මේ එලෙස කුවේට් සිට දිවයිනට ගෙන්වාගත් පළමු කණ්ඩායම නොවන අතර, 2015 වර්ෂයේ සිට මේ දක්වා වරින්වර මෙලෙස විවිධ කරදරවලට ලක්වූවන් 4,278 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් මත විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබිණි.
ඒ සඳහා කාර්යාංශය 2015 වර්ෂයේදී කුවේට් ඩිනාර් 57,285ක මුදලක්ද 2016 වසරේදී කුවේට් ඩිනාර් 17,392ක මුදලක්ද වැයකර තිබේ. මෙලෙස දහස් ගණනින් විදෙස් ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගනිද්දී තවදුරටත් දහස් ගණනින් කාන්තාවෝ ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවෙති. විදේශ සේවා නියුක්ති කාර්යාංශ තොරතුරුවලට අනුව ක්වෙට්හි පමණක් විවිධ කරදරයන්ට ලක්වූ තවත් 134 දෙනෙක් සුරක්ෂා නිවාසවල රැඳී සිටිති.
ඉන් 57ක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවත්වාගෙන යන සුරක්ෂා නිවාසවලද, 77ක් ක්වෙට් රජය මගින් පවත්වාගෙන යන කඳවුරුවලද රැඳී සිටිති. ඒ ක්වෙට්වල තත්ත්වය පමණි. සෞදි, කටාර්, ලෙබනන්, ඩුබායි ආදී මැදපෙරදිග රටවලද මෙවන් ශ්‍රමිකයන් සුරක්ෂා නිවාසවල සිටින බව අමතක නොකළ යුතුය.
2016 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා දෙලක්ෂ හතළිස්දෙදහස් නවසියහතළිස්අට දෙනෙකු (242,948) විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ඉන් අසූදෙදහස් හයසියහතළිස් හතක් කාන්තාවන්ද (82,647) එක්ලක්ෂ හැටදහස් තුන්සියඑක්දෙනෙක් (160,301) පිරිමි අයද වෙති. මෙම ශ්‍රමිකයන් මෙරටට එවන ලද විදේශ ප්‍රේෂණ ඇමෙරිකන් ඩොලර් මිලියන 7241.5 කි. එය රුපියල්වලින් බිලියන 1054.5කි. මෑත ඉතිහාසයේ වැඩිම ප්‍රේෂණ වාර්තා වීමද මේ අනුව සටහන් වන්නේ 2016 වසරේදීය. නමුත් රටක් ලෙස අපට මේ පිළිබඳව අවංකවම සතුටුවිය හැකිද යන්න පිළිබඳව දෙවරක් සිතා බැලිය යුත්තේ මෙලෙස අප රටේ ආර්ථිකය දරා සිටින්නේ එතෙර ගොස් විවිධ තාඩන පීඩන හමුවේ හාම්පුතුන් ළඟ අපේ කාන්තාවන් හෙළන දහඩිය කඳුළු නිසාවෙනි.
විදේශ ගතවන ශ්‍රමිකයන් එතරදී මුහුණදෙන විවිධ හිරිහැර සලකා බලා විදෙස් ගතවන ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීමට විදේශ රැකියා අමාත්‍යාංශය පියවර රැසක් ගෙන ඇත්තේ මේ නිසාවෙනි. ඒ පියවර අතර ගෘහ සේවය සඳහා පිටත්ව යන්නන්ට ලබාදෙන පුහුණුව දින 40 දක්වා ඉහළ දැමීම, උපඒජන්තවරු තහනම් කිරීම, ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි වැටලීම් වැඩි කිරීම, ශ්‍රමික සුරැකුම් සේවය ක්‍රියාත්මක කිරීම, විශ්‍රාම වැටුප් ක්‍රමයක් යෝජනා කිරීම, ශ්‍රමිකයන් සඳහා අවම වැටුප් සීමාවක් හඳුන්වා දීම ආදී නොයෙකුත් තීන්දු තීරණ ගෙන තිබේ.
නමුත් අවාසනාවකට මෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කොතෙකුත් දැනුවත් කිරීම් කළත් අපේ කාන්තාවන් තවමත් කාර්යාංශයේ ලියාපදිංචි නොවී විවිධ අයථා ක්‍රම මගින් විදේශ ගතවෙයි. එලෙස විදේශ ගතවන බොහෝ දෙනාගේ ඉරණම වී ඇත්තේ අතේ සතයකුදු ආදායමක් නොමැතිව පෙරලා මෙරටට පැමිණීමට සිදුවීම හෝ හාම්පුතුන්ගේ අඩත්තෙට්ටම් මැද ජීවිතයෙන් වන්දි ගෙවීමය. එසේ නැත්නම් තමන් දියකළ ශ්රමයට ගෙවීමක් නොමැතිව හිස්අතින් නැවත පැමිණීමටය.
එලෙස ව්‍යාජ ලෙස 2003 වර්ෂයේ විදෙස් ගතවූ තරුණියක වසර 11ක වැටුප් නොමැතිව හිස්අතින් මෙරටට පැමිණීමට තිබූ අවාසනාවන්ත කතාවට යම් සහනයක් සැපයීමට පෙරේදා (22දා) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට හා ක්වෙට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හැකිවිය. එම සිදුවීමේ ඇති බරපතළම කරුණ වූයේ විදෙස් ගතව වසර 14කට පසු මෙරටට පැමිණි මොහොමඩ් අලියාර් කයිරුනීසා ගෘහ සේවිකාවක ලෙස විදෙස් ගත වන්නේ අවුරුදු 14ක දැරිවියකව සිටියදී වීමය.
මඩකලපු දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේ ජීවත් වූ ඇය, 1989.05.15 වැනිදා උපත ලබා ඇත්තේ සහෝදර සහෝදරියන් 09 දෙනෙකුගේ පවුලේ 08 වැනියා ලෙසය. මවගේ වියෝවෙන් පසු ව්‍යාජ ලෙස වයස 25ක කාන්තාවක බව දක්වා තම ඥාතියෙකු හරහා විදේශ රැකියා නියෝජිත ආයතනයකින් විදෙස් ගතවන ඇය, 2003.08.05 වැනිදා ක්වේට් බලා පිටත්ව ගොස් ඇත. එතැන් සිට ක්වෙට්හි සභා අල් නසර් ප්‍රදේශයේ නිවසක සේවය කරන ඇය, 2005 වසර දක්වා තම පියාට මුදල් එවා ඇති අතර පියාගේ වියෝවත්, තමන් ලිපි ගනුදෙනු කළ මෙරට ලිපිනයේ රැඳී සිටි අය එම ලිපිනයේ පදිංචිය හැර යෑමත් සමග එතෙර තනි වන්නේ එතැන් පටන් වසර 11ක ඇය කළ සේවයට කිසිදු ගෙවීමකින් තොරවය.
මහල් දෙකකින් යුතු තම සේවා ස්ථානයේ ළමුන් බැලීම, කෑම පිසීම, පිරිසිදු කිරීම ආදී කටයුතුවල 14 හැවිරිදි වියේ සිට නියැලී සිටි කයිරුනීසා පිළිබඳව මේ දක්වාම විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිල්ලක් හෝ ලැබී නොතිබෙන්නේ ඇගේ සහෝදර සහෝදරියන් ඇයව ව්‍යාජ ලෙස විදේශ ගතකර තිබීමත්, මෙරට තුළදීවත් රැකියාවක යෙදවිය නොහැකි වයසක සිටියදී ඇයව සේවයේ යෙදවීමත් යන වැරදි සියල්ල අවබෝධ කරගෙන සිටි නිසා බවට අනුමාන කළ හැකිය.
තමා උපන් රටට යෑමට තිබූ සිහිනය සිහිනයකට පමණක් සීමාකළ කයිරුනීසාට එම සිහිනයට බලාපොරොත්තුවක් එක් වන්නේ හාම්පුතාගේ සහෝදරියක් සෞදියේ සිට නිවාඩුවකට ක්වේට් වෙත පැමිණීමෙන් පසුවය. ඒ ඔවුන් සමග පැමිණෙන මෙහෙකාරිය ශ්‍රී ලාංකික ද්‍රවිඩ කාන්තාවක් වන නෞෂාගේ සොහොයුරා ඔට්ටමාවඩි ප්‍රදේශයේ වාසය කරන බව දැනගැනීමත් සමගය.
ඒ හරහා මෙරට සිටින ඇගේ පුංචි අම්මා සමග දුරකථනය හරහා සම්බන්ධ වන කයිරුනීසා තමා සේවය කළ නිවසේ කුණු ඉවත් කිරීමට ඇති දිනයේ හොර රහසේම ක්වෙට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු ඒකකයට පැමිණෙන්නේ 2017.01.29 වැනිදාය.
ඉන්පසු එම නිලධාරීන්ගේ මැදිහත්වීම මත ඇයට අහිමිකළ වසර 11ක හිඟ වැටුප් ලෙස ක්වේට් ඩිනාර් 500ක මුදල් හා ගුවන් ටිකට් පත සඳහා මුදල්ද හාම්පුතාගෙන් අයකර දීමට හැකිව තිබේ. ඇයට වැටුප් ගෙවීම පැහැර හැරීම වෙනුවෙන් තවත් ක්වෙට් ඩිනාර් 120ක්ද ඇයට හිමිවිය. මේ අනුව කයිරුනීසාට මෙරට මුදලින් රුපියල් විසිපන්ලක්ෂ විසිදහසක මුදලක් හිමිවිය.
ඇයට හිමි මුදල් ලබාදීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී අප කයිරුනීසාගෙන් විමසා සිටියේ, වයස 14ක දැරිවියකව සිටියදී මෙලෙස විදෙස්ගත වීමට කැමැත්ත පළකළේ ඇයිද යන්නයි. එයට ඇය පැවසුවේ තමාට ඒ පිළිබඳ නිසි වැටහීමක් නොතිබූ බවත්, ඇයගේ වැඩිමහල් සොහොයුරියන් මැදපෙරදිග සේවය කර තිබූ බැවින් තමන් විදෙස් ගතවීමට කැමති වූ බවත්ය. කෙසේ හෝ ඇගේ විදෙස් ගතවීම ඇයගේ පියාගේ අනුදැනුමෙන් තොරව සිදුකිරීමට ඇයව මේ සඳහා යොමුකළ සියලුදෙනා උත්සාහ කර තිබිණි.
මෙහිදී අප යොමුකළ පැනයකට පිළිතුරු දෙමින් විෂය භාර ඇමතිනී නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ විදෙස්ගතව මෙවන් ගැටලුවලට මුහුණ දෙන බහුතරය ව්‍යාජ ආකාරයෙන් විදේශ ගත වූවන් ලෙස හඳුනා ගැණෙන බවත්, එලෙස ව්‍යාජ ආකාරයෙන් ඔවුන් විදෙස්ගත කිරීම උදෙසා කටයුතු කර ඇත්තේද ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අනුදැනුම මත බවත්ය.
මේ හේතු සලකා බලා විදේශ රැකියා සඳහා පිටත්කර යැවීම වෙනුවෙන් පවුලේ සාමාජිකයන්ට කොමිස් මුදල් ලබාදීම පවා තහනම් කිරීමට පියවර ගත් බවද ඇය පවසා සිටියාය. විශේෂයෙන් ස්වාමි පුරුෂයන් විසින් විදේශ රැකියා ඒජන්සිවලින් ලබාදෙන ලක්ෂදෙක, තුනක කොමිස් මුදල් ලබාගෙන තම බිරින්දෑවරුන් බලහත්කාරයෙන් විදෙස් ගතකරන ආකාරයේ තත්ත්වයක්ද මෙරට ඇතිවී තිබුණු බවද ඇය පැවසුවාය.
එසේම ඇය පැවසුවේ ලෙබනන් ගොස් වසර 15ක කාලයක් පුරා තොරතුරු නොමැතිව සිටි මහියංගනයේ ඉනෝකාවද විදෙස් ගතකර තිබුණේ අඩු වයසේදී වන බවයි. එසේම කටාර්වල සිරගතව සිටින තවත් තරුණියක සම්බන්ධයෙන්ද ඇය පැවසුවේ එවැනිම තොරතුරකි.
එසේම මීට වසර කිහිපයකට පෙර ජීවිතයෙන් වන්දිගෙවූ රිසානා නාෆික්ද විදේශ ගතකර තිබුණේ ව්‍යාජව ඇගේ වයස වැඩියෙන් සඳහන් කරමින්ය. රටේ නිසි ක්‍රමවේදයක් මෙන්ම නීති පද්ධතියක් පවතිද්දී ඒවාට යටින් රිංගා මෙවැනි ආකාරයේ ව්‍යාජ සහතික සකසමින් වයස වෙනස්කර සාදාගන්නා පාස්පෝට් භාවිත කරගනිමින් ඇතැමුන් සංචාරක වීසා හරහා විදෙස් ගතව රැකියා සඳහා යොමුවන ආකාරය දැකගත හැකිය. එලෙස විදෙස්ගත වන බොහෝ ශ්‍රමිකයන්ට සිදුවන්නේ ඇණ ගසාගෙන, අතපය නොමැතිව හෝ රෝද පුටුවකට, ලෙඩ ඇඳකට ජීවිතය සීමා කරන්නට සිදුවූ පසුවය.
එලෙස මෙරටට මෑතකදී පැමිණි සුජානි පිළිබඳවත් රජයේ මැදිහත්වීමෙන් මරණීය දණ්ඩනයෙන් බේරාගත් මාණික්කම් රානි පිළිබඳවත් අපි ඔබට වාර්තා කළෙමු. එසේම කයිරුනීසා මෙන් වසර 12ක් වැටුප් නොලැබූ කේඩීෂ්වරී පිළිබඳවත් වසර දෙකක් තුළ වැටුප් නොලද ජැක්ලින් පිළිබඳවත් අපි ඔබට වාර්තා කළෙමු. තවද ව්‍යාජ ලෙස කාන්තාවන් විදෙස්ගත කළ ඒජන්සි හා පුද්ගලයන් පිළිබඳවත් අප නිරන්තරයෙන් ඔබව දැනුවත් කරන්නෙමු. ඒ මක්නිසාදයත් ඔබ නුහුරු නුපුරුදු ලොවකට පිටත් වෙන්නට මත්තෙන් යථාර්ථය අවදි කිරීමටත්, ඔබ යන ගමන සුරක්ෂිතදැයි දෙවරක් නොව තෙවරක් සිතා බැලීමටත්ය.
විදේශ රැකියා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ශ්‍රමික සුරැකුම වැඩසටහන යටතේ ගම්නියම්ගම්වල සංචාරය කරමින් මෙම කටයුතු සොයාබලන ඇමතිනිය සඳහන් කරන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් සම්බන්ධ බරපතළම ගැටලු ලැබී ඇත්තේ නැගෙනහිර හා උතුරුමැද පළාතෙන් වන බවයි. එම පළාත්වල ක්‍රියාත්මක වැඩසටහන් සඳහා සහභාගි වන බොහෝ දරුවන්ගේ ඉල්ලීම් අතර ඇත්තේ විදෙස්ගත තම මව යළි මෙරටට ගෙන්වා දෙන මෙන් කරන ඉල්ලීම් වන බව ඇය සඳහන් කරයි. ඇතැම් මව්වරුන් විදෙස්ගත වූ පසු තම පවුල, දරුවන් පවා අමතක කරමින් නිදහස සොයා යන තත්ත්වයක්ද පවතින බව ඇය සඳහන් කළාය.
මවකට ඇති උතුම්ම වස්තුව තම දරුවන්ය. එසේනම් ඔබේ දරුවා කූට ලේඛන සකසා විදෙස්ගත කිරීමට පෙර දෙතුන් වරක් සිහි කල්පනාවෙන් යුතුව කල්පනා කර බැලිය යුතුය. ඒ වගේම මව්වරුන් ලෙස තමන්ගේ දරුවන් තනිකර දුරුරටකට පිටත්වීමට පෙරද දහස්වරක් සිතා බැලිය යුත්තේ ඇතැම් විට ඔබට ඔවුන් වෙත යළි පැමිණීමට සිදුවන්නේ පෙට්ටියක බහාලන ලද මළසිරුරක් ලෙස බැවිනි.
ඡායාරූප - ඉසුරු පෙරේරා