කාන්තාවන් පිළිබඳ කතා කරන විට අභිමානයෙන් කතා කළ හැකි කාන්තාවක් පිළිබඳකෑගල්ලෙන් වාර්තා විය. කෑගල්ල හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය අසල අවුරුදු 40 ක් තිස්සේ නොකඩවා රථවාහන හසුරුවන ඇය නමින් ලීලි වයලට් නම් වේ. කවුරුත් ඇය හඳුන්වන්නේ ‘ට්‍රැෆික් ආච්චි’ යන අන්වර්ථ නාමයෙනි.
උදෑසන සිට පාසල අවසන් වනතුරුත්, සවස් කාලයේ එම පාසලේ පැවත්වෙන පංතිද අවසන් වී දරුවන් පාර පනිනතුරුත් බලා සිටිමින් ඇය පාරේ වාහන හසුරුවන්නේ රැකියායක් වශයෙන් නොව දරුවන්ට අනතුරක් වේ යැයි යන බියෙනි. ලීලි වයලට් ආච්චිට දැන් වයස අවුරුදු 79 කි. ඇය පිළිබඳ මෙහි සටහනක් එක්කරන්නට අප අදහස් කළේ වර්තමානයේ එවන් මිනිසුන්ගේ අඩුව තදින්ම සමාජයට දැනෙන නිසාය.
මේ ගමනට අප යනවිට වර්ෂාව ඇදහැළෙමින් පැවතිණි.එහෙත් මහ වැස්සට තෙමුණද ඇයට එය ගාණක් නැත. විටෙක වාහන නවතා දරුවන්ගේ අතින් අල්ලාගෙන පාසල ඇති පෙදෙසට කැටුව එන ඇයට වාහන රියදුරෝද මහත් කීකරුකමක් දක්වති.
‘‘ මොකද හදිසිය? විනාඩි දෙකක් ඉන්න බෑ. මේ පොඩි එවුන් යට කරගෙන යන්නද හදන්නේ?’’ කියමින් ත්‍රිරෝද රියදුරෙකුට ඇය බැණ වදින අයුරු මට ඇසෙයි.
තවත් දරුවන් දෙදෙනෙකු පාරේ මාරු වෙනතුරු වාහන නවත්වාගත් ඇය පසු එම වාහන නැවත ධාවනයට අවශ්‍ය සංඥාව ලබා දී පාරේ එක් පසකට අයින් වූය. ඒ අයින් වුවද විටක ඇය කරනුයේ වාහනවලට යන්නට අවශ්‍ය සංඥා නිකුත් කිරීමයි. මා විසින් තමන්ගේඡායාරූප ගන්නා බව ඇය කල් තියාම දුටු නිසාවෙන් මා ආච්චි සිටින පාරේ දකුණු පසට අයින් වීමට තීරණය කලේ ඇය සමග කතා කිරීමටය. මා කතා කරන්නටත් මත්තෙන් ඇය මා සමග කථාවට වැටුණාය.
“ඇයි පුතේ ෆොටෝ ගහන්නේ? ”ඇය මගෙන් අසයි.
“ආච්චි මම පත්තරෙන්. මම ආවේ ආචිචි හම්බ වෙන්න”
මේ එතැන් පටන් ඇය සමග සිදුකළ සංවාදයයි.
‘‘ අනේ පුතේ මං මේ රස්සාව කරනවා තමයි. සමහර දෙමාපියෝ මෙතෙන්ට ළමයි ගෙනත් දාලා යනවා, කිසිම ගාණක් නැහැ. කිසිම ආදරයක් කරුණාවක් අද දෙමාපියොන්ගේ නැහැ. මං අවුරුදු තිස් ගාණක් කරන මේදේට පිං සිද්ධ වේච්චාවෙයිවත් කියන්න තරම් හදවත මෙ අයගේ හොඳ නැහැ. එහෙම හිතන කෙනෙක් නෙවෙයි. මම මට මොන අමාරුව තිබ්බත්, ලෙඩක් හැදුණත් මං මෙතනට කොහොමහරි එනවා.
නැත්නම් මෙ පුංචි එවුන් එකෙකුට හරි මොනවා හරි අනතුරක් වුණොත් මට ඉඳලා වැඩක් නැහැ පුතේ. මගේ තියන ලෙඩේ කොහොමහරි හොඳ කරගන්න පුළුවන්. මේ දරුවන්ටමොනවාහරි වුණොත් ඒක මට දුකයි. එත් අද වෙනතුරු එක ළමයෙකුට කිසි දෙයක් මෙතන වෙලා නැහැ. මෙතන මාත් එක්ක වාහනකාරයන්ට සෙල්ලම් දාන්න බෑ. සමහර වේලාවට හරක් වාගේ යන්න හදන අයට මං බනිනවා. වෙනදා මම කෝට්ටකුත් අරන් ඉන්නේ. මෙ ත්‍රීවිල්, බයික් එලවන අය කියන දේ අහන්නේම නැහැ. කවුරු කාට වුණත්, මෙතන නීතිය හැමෝටම එකයි”
ඇය එසේ පවසා දරුවන්ට මාරු විම සඳහා අවශ්‍ය වාහන නවත්වන්නට දෙන සංඥාව නැවත ලබාදෙන්නට විය. කාකි සූට් එක ඇඳගත් පොලිස් නිලධාරිනියක විලස ඇය අත් දෙක ක්‍රමානුකූලව දෙපැත්තෙන් එන වාහන නැවත්වීමට ලබා දී දරුවන් මාරු වෙනතුරු බලා සිටින්නීය. දරුවන් පමණක් නොව දෙමාපියන්ද පාරේ එහා මෙහා රාජකාරි සඳහා යන අයද ඇයගේ එම සංඥාව ඔස්සේ කහ ඉරෙන් මාරු විය යුතුයි.
නැතිනම් ආච්චි ඔවුන්ටද බැණ වැදීම අරුමයක් නොවේ. මා එතන සිටින මොහොතේ පවා පාසල් ගුරුවරුන් හා දෙමාපියන් පිරිසක්ද ඇය කියන දේ නොඇසීම නිසා බැණුම් අසාගත්හ. තරාතිරම නිලතල ඇයගේ රාජකාරියට අදාළ නැති බව අපටද දැකගත හැකි වූයේ ඇය එම කටයුත්තේ යෙදෙන විටයි.
පාසල පටන්ගන්නට සීනුව නාද විය. ඒ සමගම පාසලට යන අවසන් දරුවාද ආච්චි විසින් මග මාරුවන්නට අවශ්‍ය සංඥාවද ලබා දී අප වෙත පැමිණෙනු දැක ගත හැකි විය.
“ආච්චි තෙමිලා නේද?”
ඇය නිශ්ශබ්දය. අපට එය ලොකු ප්‍රශ්නයක් වුවත් ඇයට එය එතරම් ප්‍රශ්නයක් නොවන බව මා හට දැනුණු නිසාම නැවත ඇය සමග කතාබහට එක් විය.
“ආච්චි කොහොමද මෙ ට්‍රැෆික් වැඩේට යොමු වුණේ?”
‘‘මට ඉන්නේ එක දුවයි. එයාව මම මුලින්ම දැම්මේ මේ පාසලට. මම පාසලට එන්න එනකොට දින ගණනාවක්ම දැක්කා පාර මාරුවෙන්න සෑහෙන වෙලා ඉන්න ඕනෑ. මට විතරක් නෙවෙයි. ළමයිනුත් ඒ විදිහට ඒ ප්‍රශ්නයට මුහුණපෑවා. පාර කෙළින් තියෙන නිසා වාහන වුණත් මෙතනින් හෙමින් යන්නේ නැහැ. ඒක දැකපු මට හිතුණා මේ වෙනුවෙන් මම හරි වාහන හසුරුවන්න ඉදිරිපත් වෙන්න ඕනෑ කියලා.
ඒ හිතලා හෑත්තෑ ගණන්වල ඉඳලා මේ වෙනකම් නොකඩවා වාහන හසුරුවනවා. උදේ 6.00 ට තමයි ගෙදරින් එන්නේ. ඇවිල්ලා 8.30ට ගෙදර ගිහින් තියෙන වැඩ ටික ඉවර කරලා, නාගෙන නැවත 11.30 වෙනකොට මම මෙතෙන්ට දුවගෙන එනවා. ඊටපස්සේ නම් පහ හය වෙනකම් ඉන්නවා. මොකද ඉස්කොලේ තියෙන පංති ඇරිලා ළමයි යනකනුත් මම ඉන්න එපෑයැ’’
“එතකොට ආච්චි නිවාඩු ගන්න දවස් වල?”
“මොන නිවාඩුද? මම නිවාඩු ගන්නේ ඉස්කෝලේ නැති දවස්වල විතරයි. මට ලෙඩක් හැදුණත් මම මෙතන වැඩ. මෙතන එක්කෙනෙක් දෙන්නෙක් යට වුණත් මට ඉඳලා වැඩක් නැහැ පුතේ”
“මෙ වැඩේට පොලීසියෙන් තහනමක් නැද්ද?”
“පොලීසියෙන් කවදාවත් මොනවාවත් කියන්නේ නැහැ. එයාලා දන්නවා. මම මෙතන මෙ වැඩේ අකුරටම කරනවා කියලා. එයාලා මට නිතරම කියන්නෙ පරිස්සමින් ජොබ් එක කරන්න කියලා. මොකද වාහනකාරයෝ ඇවිත් යට කරගෙන යයි කියලත් කියනවා.”
“පවුලේ විස්තර මොනවද?”
“මගේ ගෙදර ඉන්නේ මං විතරයි. මට එක දුවක් හිටියා. එයා දැන් බැඳලා,මේ ළඟපාතක නැහැ. මාසයකට වතාවක් විතර ඇවිල්ලා බලලා යනවා.”
“මෙ රස්සාව කරනවා දැකලා උදව් කරපු තවත් අය ඉන්නවාද?”
“ගොඩාක් අය උදව් කරනවා. ඇහැළියගොඩ සිරිපාල කිරිඇල්ල මහතා මම ට්‍රැෆික් කරනවා දැකලා, සෑම මසකම රුපියල් 500 ක් හා දිනපතා ගෙදර යන්නට ත්‍රිරෝද ගාස්තු වගේම බත් පාර්සලයක් දෙනවා. පිං පඩියක් මට ලැබෙනවා.ඒකෙන් ජීවත්වෙන්න අමාරුයි. පාසල් බස් රථවලින් උදව් ලැබෙනවා”
“ආච්චි මේ සේවය තව කොපමණ කල් කරන්න බලාපොරොත්තු වෙනවද?”
‘‘මගේ වයස අවුරුදු 80 වෙනකම් කරනවා. ඊටපස්සෙ නම් මට බෑ මෙ වැඩේ කරන්න’’
හෙම්මාතගම සමන් විජය බණ්ඩාර