ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේ
''එකම මොහොතක් වුවද මරණය
ජීවිතය මොහොතක් නොවේමය
වසන්තය යනු එක් රැයක් නොව
ජීවිතේ මුළු මහත් වෙෙහසය.....''
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ඉහත කවියෙන් ජීවිතය යනු කුමක්ද කියා ඔබට සරලව වටහා ගත හැක. ජීවිතයේ ඔබට නොයෙකුත් ගැටලු සඳහා මුහුණදීමට සිදුවිය හැක. ඒ ඔබ කාන්තාවක් නිසාවෙනි. නමුත් ඒ කිසිදු දෙයකට පිළිතුර සියදිවි නසා ගැනීම නොවන බව තේරුම් ගතහොත් කාන්තාව යන චරිතය මීටත් වඩා ශක්තිමත් වේ.
එවන් ගැටලුවකට මුහුණදිය යුත්තේ කෙසේද යන්න දැනගැනීම ඔබට වැදගත් විය හැක. මන්ද ගැටලුවක් පැමිණීමට පෙර ඒ ගැන ඔබ දැනුවත් වන්නේ නම් පසුගිය සතියේ වැනි ඛේදවාචක තවත් ඉදිරියට සිදු නොවිය හැකි බැවිණි. එහෙයින් ඒ සම්බන්ධව ඔබට යම් උපදෙසක් දිය යුතු යැයි 'අද' අපි තීරණය කළෙමු.
මේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අනුරාධා සුධම්මිකා මෙහෙණින් වහන්සේව අප සම්බන්ධ කර ගත්තෙමු.
''කාන්තාවක් කියන්නේ ලෝකයේ පැවැත්ම අතින් ගත්විට විශේෂ ස්ථානයක් හිමිවන කෙනෙක්. ලෝකයේ පැවැත්මට අවශ්‍යම පුද්ගලයෙක්. ඒ වගේම සෞන්දාර්යාත්මක බාහිර ස්වරූපයක් ඇති හෙයින් බොහෝ වර්ණනාවට ලක්වුණු කෙනෙක්. බුදු හාමුදුරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් ගත්විට කාන්තාව කියන්නේ ලෙයින් මසින් හැඳුන කෙනෙක්. නමුත් ස්ත්‍රී පුරුෂභාවය දෙපැත්තට ගත්විට දරා ගැනීමේ හැකියාව කාන්තාවන්ට වැඩියි කියා තමා පර්යේෂකයෝ සඳහන් කරන්නේ.
නමුත් ඔවුන් සියදිවි හානි කරගැනීම වැනි අවස්ථාවකට පෙළඹෙන්නේ, යම් ප්‍රශ්නයක් පැණ නැඟුන විට එම ප්‍රශ්නයට මුහුණදීමට නොහැකිකම සහ සමාජයට මුහුණදීමට නොහැකිකම නිසාවෙන්. ඒ වගේම තමන්ගේ දෙමාපියන්ට, සහෝදරයන්ට, වට පිටාවේ අයට මුහුණදෙන්න බැරිව වෙන්න පුළුවන්. දෙවෙනි කාරණය ලෙස පළිගැනීමට, තරහට වෙන්නත් පුළුවන්.
අනෙක් කාරණය ඉවසීමක් නැතිකම. ඒ වගේම අත්දැකීම් අඩුකම. සමහර විට වයසින් මුහුකුරා ගිය නමුත් පොත්පත් කියවන්නේ නැත්නම්, පත්තරයක් කියවන්නේ නැත්නම්, මිනිස්සුන්ගේ ස්වභාවය දන්නෙ නැති නම් මෙවැනි තීරණවලට එළඹෙන්න පුළුවන්.
බොහෝ වෙලාවට ප්‍රශ්නයක් පැන නැගුණ විට තමන්ට තමන්වත් පේන්නෙ නැහැ. එවැනි අවස්ථාවක කොපමණ අත්දැකීම් තිබෙන අය වුවත් සියදිවි හානි කරගත් අවස්ථා බොහෝ තිබෙනවා. එවැනි ගැටලුවක් ඇති වුණාම දරා ගන්න බැරි දුක, මානසික ව්‍යාධිය ඇති වුණාම මේ වගේ සියදිවි හානිකර ගැනීම් සිදුවෙනවා.
මෙහිදී කාන්තාවක් මුහුණදෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමා පිරිමින් නිසා ඇති වන ගැබ් ගැනීම්. ගොඩක් වෙලාවට මේ වගේ අවස්ථාවල ගැහැනිය තනි වෙනවා. ගොඩක් වෙලාවට එවැනි ප්‍රශ්නයක් ආ විට පිරිමියා අයින් වීමක් සිදුවෙනවා. පිරිමියාට ප්‍රතිඵල නැහැ. ගැහැනියට ප්‍රතිඵල තියෙනවා. ඒ වගේම එවැනි ගැබ් ගැනීමක් ඇති වුණහොත් සමාජයේ අවමානයට හේතු වෙනවා. එවැනි දේකට තනියම මුහුණදෙන්න බැරි වුණාම තමා සියදිවි හානි කරගැනීමේ තත්ත්වයට පත් වෙන්නෙ.
බොහෝ විට එම ප්‍රශ්නයට පිළිතුර ලෙස මරණය තෝරා ගන්නවා. හැබැයි එය මරණයෙන් කෙළවර වෙන්නේ නෑ කියලා ඒ අය දන්නේ නැහැ. මරණය වැලඳ ගන්නවාට වැඩිය ජීවත් වෙන එක දක්ෂකම කියන දේත් ඔවුන් දන්නෙ නැහැ. මේ වගේ හේතුවලට එක පැත්තකින් රටත් වගකියන්න ඕන. මන්ද රටේ නිතී පද්ධතියෙ එවැනි පුද්ගලයන්ට විසඳුම් හොයලා දීලා නැහැ. සමාජීය වශයෙන් එවැනි ගැටලුවලට විසඳුම් නැතිකම මෙවැනි සියදිවි නසා ගැනීම්වලට හේතු වෙනවා. ඒ වගේම මෙවැනි මානසික පීඩා ආ විට ඒ අයට කතා කරන්න සුදුසු කෙනෙත් නැතිකම මෙවැනි ඛේදවාචකවලට හේතු වෙනවා.
යම්කිසි ගැටලුවක් පැන නැගුනොත් කිසිවිටෙක හුදකලා නොවී ඉන්න ඕන. හුදෙකලා වී ඉන්න තරමටම මේ ප්රශ්නය මනසේ උඩු දුවනවා. ඒ නිසා සැම විටම මෙවැනි තනියම මුහුණදෙන්න බැරි ගැටලුවක් ආ විට තමන්ට විශ්වාසවන්ත සහ තමන්ගේ ළඟින් සිටින මිතුරෙකුට හෝ මිතුරියකට පවසන්න. එවිට මානසික ආතතිය බොහෝ දුරට අඩු කරගන්න පුළුවන් වෙනවා.
ඒ වගේම ප්‍රශ්නයක් මතු වූ විට ඊට වඩා ප්‍රශ්න තිබුණ අය මේ ලොකේ ඉන්නවා කියලා හිතන්න පුරුදු වෙන්න. සාහිත්‍ය‘යේ තිබෙන විවිධ චරිත කතා ගැන හිතන්නත් පුළුවන්. මීට වඩා ප්‍රශ්න, සිත් රිදීම් වූ අය සිටින බව හිතන්න ඕන.
උදාහරණයක් ලෙස පැරණිම කතාව වන පටාචාරා කතාව ගත්තත් වර්තමානයේ ඕන තරම් පටාචාරලා ඉන්නවා. කිසා ගෝතමීලා ඉන්නවා. ඒ නම පමණයි වෙනස්. ඒ වගේ ගැටලුවකදී පටාචාරා පවා වෙනස් වූයේ බුදු හාමුදුරුවො වැනි හොඳ කල්යාන මිත්‍රයෙක් මුණගැසුණු නිසයි. අද කල්‍යාණ මිත්‍ර ආශ්‍රය අඩු නිසාද කියා හිතෙනවා සියදිවි හානි කරගැනීම් වැඩි වීමට හේතුව.
අද බොහෝ දෙනා අන්තර්ජාලය නිසා හුදෙකලා බවට පත්වෙලා සිටිනවා. මේ හුදෙකලා වීම නිසාම ප්‍රශ්නයක් ආ විට එය තනිව විඳ දරාගැනීමට යාම නිසා මෙවැනි තීරණවලට එළඹෙනවා. එවැනි අවස්ථාවල මේ ප්රශ්නය මධ්‍යස්ථව දකින්න පුළුවන් කෙනෙක් මුණගැසෙනවානම්, ඔවුන් වැඩිහිටි නොවුණත් සමහර විට සහෝදරයෙක්, මිත්‍රෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවට පීඩාකාරී නොවෙන ලෙස ඒ උපදෙස් දීම සිදුවෙන්න ඕන.
මේ වගේ ප්‍රශ්නෙකට කෙනෙක් මුහුණ දුන්නොත් කිසිම වෙලාවක හුදෙකලා වෙන්න දෙන්න එපා. ඒ අයට කතා කරන්න දෙන්න ඕන. ඒ පුද්ගලයාගේ හැසිරීම් රටාවේ වෙනසක් වුණාම කල්පනාකාරී වෙන්න ඕන. බොහෝ වෙලාවට මේ වගේ සියදිවි හානි කරගැනීම් සිදුවෙන්නේ බොහෝ විට ඉතා සූක්ෂමව. සියදිවි හානි කරගන්නා පුද්ගලයා කිසි විෙටකත් කියන්නෙ නැහැ එලෙස සියදිවි හානි කරගන්නවා කියා. එහෙම කිව්වොත් කවදාවත් ඒ දේ කෙරෙන්නෙත් නැහැ.
මේ වගේ අවස්ථාවක කිසිවිටෙකත් ඒ ප්රශ්නය නැවත නැවත අහන්න එපා. එයින් තවත් පීඩාවට පත්වීමක් සිදුවෙනවා. මේ වගේ අවස්ථාවල තව අය සමග සන්සන්දනය කර අවබෝධය ලබාදෙන්න ඕන මේ දේ ඔයාට පමණක් වූ දෙයක් නොවන බව.
මේ වගේ කළකිරුණු , හිත් වේදනා තිබෙන අවස්ථාවක මෙහෙණි අරාමයකයට, පන්සලකට හෝ වෙනත් ඔබ අදහන සිද්ධස්ථානෙකට ගිහින් සිත සන්සුන් කරගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ''
ජීවිතයට මුහුණ දීමේදී ඔබට විවිධ ගැටලුවලට මුහුණ දෙන්න සිදු වේවි. ඔබ ජීවත් වෙනවා කියා දැනෙන්නෙත් ඒ වගේ ගැටලුවලට මුහුණදුන් විටයි. ඒ නිසා එවැනි ගැටලුවකදී සියදිවි හානි කරගන්නවා කියන දේ ගැටලුවට පිළිතුරක් නොවේ. මනුෂ්‍ය ආත්මයක් ලබාගැනීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. සියදිවි නසා ගන්නවා කියන්නේ ආනන්තරීය පාප කර්මයක්. ඒ බව ඔබ සිහි තබාගත යුතුයි.