ලොව පුරා වීඩියෝ ක්රීඩා ලෝලීන් අතර මහත් ජනාදරයකට පත්වූ Final Fantasy ක්රීඩා මාලාවේ නවතම සංස්කරණය වූ Final Fantasy XV වීඩියෝ ක්රීඩාව මීට දින කිහිපයකට පෙර හඳුන්වා දෙන්නට යෙදිණි. මෙය PlayStation 4 හා Xbox One home consoles සඳහා පළමුවෙන්ම හඳුන්වා දෙනු ලැබේ. සුප්රකට Square Enix මගින් බෙදාහරිනු ලැබන මෙම ක්රීඩාව Hajime Tabata ගේ අධ්යක්ෂණයකි. කෙසේ වුවද මෙම නවතම වීඩියෝ ක්රීඩාවේ එළිදැක්වීමටත් වඩා අපට විශේෂ වන්නේ මෙම ක්රීඩාව හඳුන්වාදීමත් සමගම Sony සමාගම විසින් මෙම ක්රීඩාව පාදක කරගනිමින් විශේෂ වූ තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වාදීමට පියවර ගැනීමයි. ඒ අතර Final Fantasy XV Walkman, Final Fantasy XV Headphone හා Final Fantasy XV portable speaker උපාංග වේ.
A-Series මාදිලියේ 16GB මතක ධාරිතාවයක් සහිත Final Fantasy XV වෝක්මන් උපාංගය යෙන් 33,880ක් (රුපියල් 45,000 කට ආසන්න) වැනි මුදලකට මිලදී ගත හැකිය. ඉතාමත් උසස් ශ්රව්ය ගුණාත්මක තත්වයකින් සමන්විත මෙහි FLAC වැනි ඉහළ ගුණාත්මක තත්වයක ගීත ගොනු ආකෘතීන් පවා පහසුවෙන් ක්රියාත්මක වන අතර, 16GB මතක ධාරිතාවය තුළ ඉතා ඉහළ ගුණාත්මක භාවයකින් යුතු ගීත 300 කට අධික ප්රමාණයක් ගබඩා කර තැබීමට හැකිවනු ඇත. එසේම මෙහි 32GB ධාරිතාවය සහිත මාදිලිය යෙන් 38,880ක් පමණ (රුපියල් 51,000 කට ආසන්න) වන අතර, එහි FLAC ගොනු ආකෘතියේ ගීත 660 ක් පමණ ගබඩා කළ හැක. කෙසේ නමුත් මෙම මාදිලි දෙකම microSD කාඩ් මගින් මතක ධාරිතාවය 128GB දක්වා වැඩිකිරීමේ හැකියාවෙන් යුක්ත වෙයි.
මෙහිදී හඳුන්වා දෙන තවත් උපාංගයක් වූ MDR-100A මාදිලියේ Final Fantasy XV හෙඩ්ෆෝන් උපාංගය යෙන් 24,380ක් වැනි මුදලකට (රුපියල් 32,000 කට ආසන්න) මිලදී ගත හැකි වනු ඇත. එසේම හඳුන්වා දෙන පහසුවෙන් එහා මෙහා ගෙනයෑමට හැකි ලෙසින් නිෂ්පාදනය වුණු Final Fantasy XV portable speaker වයර් රහිත ස්පීකර් මාදිලිය යෙන් 29,380ක් වැනි මුදලකට (රුපියල් 39,000 කට ආසන්න) මිලදී ගත හැකිය.
මෙම සෑම උපාංගයක්ම ලෝකයේ ඉහළම තත්වයේ ඇති ශ්රව්ය උපාංගයන්ට සමගාමීව ඉහළ ගුණාත්මක තත්වයක ශ්රව්ය ප්රතිදානයන් සහ තියුණු හඬ රටාවන් ලබාදිය හැකි ලෙසින් නිෂ්පාදනය කිරීමට සෝනි සමාගම වගබලාගෙන ඇත. එසේම මේ සෑම උපාංගයක්ම Final Fantasy XV වීඩියෝ ක්රීඩාවට සමගාමීව ඉදිරිපත් කරනා අතර උපාංග සීමිත ප්රමාණයකින් යුක්ත වෙයි.දෙසැම්බර් 21 වැනිදා සිට මෙම Final Fantasy XV සීමිත සංස්කරණ ශ්රව්ය උපාංග බෙදා හැරීම ආරම්භ කිරීමට සෝනි සමාගම බලාපොරොත්තු වෙයි.
සුපුන් සම්පත්