ඔබට අවශ්‍ය දසුන්, වීඩියෝ ඔබ කැමති මතුපිටක් මතට සුපැහැදිලි ලෙසින් ප්රක්ෂේපණය කිරීමට සමත් වන නවීන ප්‍රොජෙක්ටර උපාංගයන් ඔබ කොතෙකුත් දැක ඇතිවාට සැකයක් නැත. එසේ නමුත් සැබවින්ම එම ප්‍රක්ෂේපිත දසුන් හරහා ඇඟිලි මෙහෙයවීමෙන් ඒවා පාලනය කිරීමට ඔබට හැකිද? සාමාන්‍යයෙන් ඔබ දකිනා ප්‍රොජෙක්ටරයකින් එම හැකියාව ඔබට ලබා නොදේ.
අතැඟිලි වලින් පාලනය කළ හැකි ස්පර්ශ තිර සහිත උපාංග මේ වන විට විට ලෝකය ආක්‍රමණය කර ඇතැයි කීම බොරුවක් නොවේ. තවදුරටත් ස්පර්ශ තිර යනු ස්මාට්ෆෝන් හෝ ටැබ්ලට් වෙත පමණක් සීමා වූ අංගයක් නොවේ. මේ වනවිට කැමරා උපාංග වල සිට ෆොටෝ කොපි යන්ත්‍ර දක්වා, නවීන ශීතකරණයන්ගේ සිට නවීන රූපවාහිනී යන්ත්‍ර දක්වා මෙම ස්පර්ශ තිරයන් යනු පොදු ආදාන අංගයක් වී ඇත. කෙසේ නමුත් ස්පර්ශ තිරයන්ගෙන් එපිටට විහිදුණු තාක්ෂණය කෙසේ වනු ඇතිද? එයට එක් පිළිතුරක් වන්නේ ඕනෑම මතුපිටක් මතට ප්රක්ෂේපණය කළ හැකි 'වර්චුවල්' නැතිනම් තත්‍යාසන්න ස්පර්ශ තිරයන් යනු ස්පර්ශ තිර ආදානයන්ගේ පරිණාමයේ මීලඟ පුරුක වනු ඇති බවයි.
හඳුන්වා දෙන Sony Xperia Touch උපාංගය මගින් සාමාන්‍ය ප්‍රොජෙක්ටරයක් සේම බිත්තියක් මතට, මේසයක් මතට හෝ වෙනත් ඔබ කැමති ඕනෑම සුදුසු සමතල මතුපිටක් මතට දසුන් ප්රක්ෂේපණය කරනු ඇත. මෙහි විශේෂත්වය වන්නේ ඔබට මෙය සාමාන්‍ය ප්‍රොජෙක්ටරයක් ලෙසින් භාවිතා කළ හැකිවා මෙන්ම, සම්පූර්ණ ක්‍රියාකාරී වර්චුවල් ටච්ස්ක්රීන් තිරයක් සහිත ටැබ්ලට් උපාංගයක් ලෙසින්ද භාවිතා කළ හැකි වීමයි!
සැබවින්ම මෙම Sony Xperia Touch උපාංගය වඩා නිවැරදිව හැඳින්විය හැක්කේ එය 'ස්මාට්' ස්පීකර් පද්ධතියක, ප්‍රොජෙක්ටර් උපාංගයක සහ ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් උපාංගයක සම්මිශ්‍රණයක් ලෙසිනි. කෙසේ නමුත් බැලූ බැල්මට කුඩා ප්‍රමාණයේ ඩෙක්ස්ටොප් ටවර් එකක් ලෙසින්, නැතිනම් UPS උපාංගයක් ලෙසින් දිස්වන මෙම Sony Xperia Touch ප්‍රොජෙක්ටර් ටැබ්ලයට ඔබට සාක්කුවේ දමාගෙන යෑමට තබා බැක්පැක් එකක දමාගෙන යෑමට පවා කිසිසේත්ම නොහැකි වන තරමට විශාල වේ.
සැබවින්ම ඔබට අඟල් 23 ක තිරයක් ඕනෑම මතුපිටකට ප්රක්ෂේපණය කරනා ටැබ්ලට් උපාංගයක් සාක්කුවේ දමාගෙන යෑමේ හැකියාව තිබේ නම්, එය යුගයේ ආකර්ෂණීයම නව නිෂ්පාදනය වනු ඇති බවට සැකයක් නැති නමුත් එවැනි උපාංගයක් අයත් වන්නේ අනාගතයටයි. මේ මොහොතේ ඔබට මේසය මත තැබිය හැකි ප්‍රමාණයේ Sony Xperia Touch උපාංගයෙන් සෑහීමකට පත් වන්නට සිදුවන්නේ, එයින් ලබාදෙන හැකියාවන් සියල්ලම සාක්කුවේ දමාගෙන යා හැකි හුරුබුහුටි ජංගම උපාංගයකට ඌනනය කිරීමට ප්‍රායෝගිකව නොහැකි වීම නිසාමයි.
මෙම Sony Xperia Touch උපාංගය භාවිතා කරමින් ඔබට සාමාන්‍ය ආකාරයෙන් චිත්‍රපටයක් හෝ යූටියුබ් වීඩියෝ ක්ලිපයක් නැරඹීමට හැකියාව තිබේ. එසේම අවශ්‍ය වූ විට සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් උපාංගයක සේම එහි ඇති විවිධ යෙදුම් සමගින් ක්‍රියා කිරීමටද හැකියාව ඇත. අවශ්‍ය නම් ඔබට යම් කිසි ලිපි ගොනුවක් ටයිප් කිරීමට පවා මේ මගින් හැකියාව ලැබෙන අතර, ඒ සඳහා ඔබ කළ යුත්තේ මේසයක් මතට වැනි වඩාත් පහසු පෘෂ්ටයක් මතට Sony Xperia Touch ප්‍රොජෙක්ටරයේ ආලෝක දහරාව යොමු කර ගැනීමයි. එසේම ඔබට මෙම වර්චුවල් තිරය භාවිතයෙන් ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩාවන්හි යෙදීමට පවා පහසුවෙන් හැකි වනු ඇත.
ඉතා කෙටි දුර ප්රක්ෂේපණයක් ලබා දෙන ලෙසින් සැලසුම් කර ඇති මෙම Sony Xperia Touch ප්‍රොජෙක්ටරයට ලුමන් 100 ක ප්‍රමාණයේ ආලෝක දහරාවක් මතුපිටක් වෙත යොමු කළ හැකි අතර, 1366 x 768 විභේදනයක් සහිත දසුන් උපරිම අඟල් 80 ක් දක්වා විශාලත්වයකට ප්රක්ෂේපණය කළ හැක. කෙසේ නමුත් මෙහි ප්‍රක්ෂේපිත දසුන් වල සුපැහැදිලිතාවය සහ තියුණු බව වඩාත් හොඳින් ලබාගැනීමට හැකිවන්නේ වඩා අඩු තිර විශාලත්වයක් කරා ප්රක්ෂේපණය කිරීමෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ.
එසේම මේ වනවිට 4K ගුණාත්මක මට්ටමේ රූපවාහිනී යන්ත්‍ර පවා පැමිණ ඇති යුගයකදී මෙයින් ප්රක්ෂේපණය කරනා 720p දසුන් වල ගුණාත්මක භාවය ගල් යුගයේ ඇතැයි දැනීමට ඉඩ ඇතත්, ඊට වඩා සිහිතබා ගත යුතු කරුණක් ඇත. මේ අප දකින්නේ අනාගතයේදී සිතාගත නොහැකි තරම් ඉදිරියට දියුණු වනු ඇති තාක්ෂණයක මූලාරම්භයයි. දසුන් ගුණාත්මක භාවය සහ වෙනත් සුළු සුළු අඩු ලුහුඬුකම් සමගින් වුවද, Sony Xperia Touch උපාංගය මගින් ලබාදෙන හැකියාවන් සැබවින්ම සිත් ඇදගන්නා සුළු බව කිව යුතුවේ.
මෙම Sony Xperia Touch උපාංගයෙන් ප්රක්ෂේපණය කරනා තිරය සමගින් ඔබට ක්‍රියාකාරී වීමට ඉඩ ලබාදෙන්නේ එහි ස්ථාපනය කර ඇති අධෝරක්ත ආලෝක දහරා සමුච්ඡයක් මගින් සහ 60fps කැමරාවක් මගිනි. මෙම පද්ධතිය එක්වී ඔබට 10-point touch ප්‍රමාණයේ ස්පර්ශ සංවේදීතාවයක් සහිත වර්චුවල් ස්පර්ශ තිරයක් මවා දෙන අතර, සාමාන්‍ය සාම්ප්‍රදායික ස්මාට්ෆෝන් හෝ ටැබ්ලට් ස්පර්ශ තිරයක් හා ක්‍රියා කිරීමට වඩා ලොකු වෙනසක් ඔබට නොදැනෙනු ඇත.
මීට අමතරව මෙහි ස්ටීරියෝ ස්පීකර් පද්ධතියක්, 32GB ප්‍රමාණයේ ස්ථාපිත මතකයක් මෙන්ම බාහිර මතකය සඳහා microSD කාඩ් පත් ඇතුළු කිරීමේ හැකියාවද ඇත. මෙහි USB Type-C පෝට් එකක් සහ HDMI පෝට් එකක්ද තිබෙනා අතර, Wi-Fi, Miracast, Bluetooth සහ NFC යන රැහැන් රහිත සම්බන්ධතා හැකියාවන්ද ඇත.
එසේම මෙම Sony Xperia Touch උපාංගය එක දිගට පැයක් පමණ වේලාවක් ක්‍රියාත්මක කළ හැකි තරමේ බලයක් සපයන බැටරියක්ද මෙහි තිබෙනා අතර, අනාගතයේදී මෙම බැටරි බලය ඉහළට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ හැක. මෙම දුර්වල බැටරි බලයත්, මෙහි ප්‍රමාණයත් නිසා Sony Xperia Touch උපාංගය ජංගම භාවිතයකට නොගැලපෙන අතර, නිවසේ හෝ කාර්යාලයේ තැබිය හැකි උපාංගයක් ලෙසින් භාවිතා කිරීම වඩාත් යෝග්‍ය වනු ඇත.
මෙම සියලුම හැකියාවන් සහ නොහැකියාවන් සමගින් කිව හැක්කේ Sony Xperia Touch උපාංගය යනු අනාගතයේ දියුණුවට පත්වනු ඇති නව තාක්ෂණික උපාංග පෙළක ආරම්භය වනු ඇති බවයි.