ඔබේ රූපවාහිනී යන්ත්‍රය සැබවින්ම කෙතරම් සිහින් හැඩයකින් යුතුව නිෂ්පාදනය කළ හැකිද? ඊට පිළිතුරු ලබාදිය හැක්කේ ඔබ ජීවත් වන කාලය අනුව වේ. ඔබ මෙම ප්රශ්නය අසන්නේ අනූව දශකය මැද භාගය වනවිටදී නම්, ඔබට වෙළෙඳපොළේ දැකිය හැකි සිහින්ම රූපවාහිනී යන්ත්‍රයද කැතෝඩ නළ රූපවාහිනී හෙවත් CRT වර්ගයේ රූපවාහිනී යන්ත්‍ර වූ නිසා පිළිතුරු ලෙසින් පෙන්වන්නට සිදුවන්නේ දැවැන්ත පෙට්ටි හැඩයේ රූපවාහිනී අතුරින් වඩාත්ම හුරුබුහුටි යන්ත්රයයි.
කෙසේ නමුත් පැතලි තිර රූපවාහිනී ලෝකයේ භාවිතයට පැමිණීමත් සමගින් මෙම තත්වය වෙනස් වූ අතර, ක්ෂණයකින් විශාල රූපවාහිනී පෙට්ටිය, එතරම් පළලක් නැති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හුරුබුහුටි යන්ත්රයන් බවට පරිවර්තනය විය. කෙසේ නමුත් රූපවාහිනී යන්ත්‍රයේ පරිණාමය එතැනින් නතර නොවූ අතර, වර්තමානය වන විටද ප්රමුඛ පෙළේ රූපවාහිනී නිෂ්පාදන සමාගම් උත්සාහ දරන්නේ වඩ වඩාත් සිහින් හැඩැති රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය කිරීමටයි.
මේ අතුරින් LG සමාගම සාමාන්‍යයෙන් ඔබ දකිනා බිත්තියේ එල්වා ඇති කණ්ණාඩියකටත් වඩා සිහින් හැඩැති රූපවාහිනියක් නිපදවා ඇත.
ඔබ වර්තමානයේ දකිනා සිහින්ම උපාංගයක් වන iPhone 7 ස්මාට්ෆෝනය මෙන් භාගයකටත් වඩා සිහින් වන මෙම නව රූපවාහිනී යන්ත්‍රය හැඳින්වෙන්නේ LG W-Series 4K OLED TV නමිනි. මෙම රූපවාහිනී යන්ත්‍රයේ ඕනෑම තැනක් මිලිමීටර් 2.6 කට වඩා ඝනත්වයක් නොඉක්මවන අතර, ඒ නිසාම මෙය සිටුවා තැබීම සඳහා ආධාරයකයක් පවා නිර්මාණය කිරීමට LG සමාගම උනන්දු වී නොමැති බව පෙනී යයි. මෙම රූපවාහිනිය නිෂ්පාදනය කර ඇත්තේම බිත්තියේ එල්වා තැබීමටයි.
LG සමාගම විසින් මෙම W-Series 4K OLED රූපවාහිනී යන්ත්‍රය නිෂ්පාදනය කරන්නේ තිර ප්‍රමාණයන් දෙකක සංස්කරණයන් ලෙසිනි. එනම් අඟල් 64 සහ අඟල් 77 ලෙසයි. මෙම සංස්කරණ දෙකම නිමැවී ඇත්තේ සමතල බිත්තියක එල්වීමට හැකි ලෙසිනි. එය කිසිසේත්ම ගැටළුකාරී නොවන්නේ මෙම රූපවාහිනී උපාංගය විශ්මයජනක සිහින් හැඩයක් ගන්නවා පමණක් නොව, බලාපොරොත්තු විය හැකි සැහැල්ලුම බරකින් යුතුව නිර්මාණය වී ඇති බැවිණි. මෙහි අඟල් 64 සංස්කරණයේ බර කිලෝ 7.7 ක් වන අතර, අඟල් 77 සංස්කරණය කිලෝ 12.2 ක් පමණ වේ. කෙසේ වුවත් මෙය බිත්තියේ සවි කිරීම සඳහා වර්තමානයේ උපයෝගී වන ආකාරයේ වෝල් මවුන්ට් ආධාරකයක් අවශ්‍ය වේද, එසේත් නැතිනම් මෙම රූපවාහිනී යන්ත්‍රයේ පිටුපස ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් තිබේද යන්න තවමත් අපැහැදිලි කරුනකි.
කෙසේ වුවත් මෙම W-Series 4K OLED රූපවාහිනී යන්ත්‍රය බිත්තියේ එල්විය හැකි කණ්ණාඩියක් නැතිනම් ඡායාරූපයක් ලෙසින් මිලිමීටර් 2.6 ක රාමුවකින් යුතුව නිර්මාණය වී තිබීම නිසා, සාමාන්‍ය පැතලි තිර රූපවාහිනියක දක්නට ලැබෙනා යම් යම් අංගෝපාංගයන් මෙහි දක්නට නොමැති බවද කිව යුතුවේ. උදාහරණයක් ලෙසින් ගත් විට මෙහි ස්පීකර් පද්ධතියක් හෝ පෝට් පද්ධතියක් දක්නට නොමැත. කෙසේ නමුත් W-Series 4K OLED රූපවාහිනී උපාංගය සමගින් වෙනම ලැබෙනා සවුන්ඩ්බාර් උපාංගය ඒ සඳහා පහසුකම් සපයා සිටී. රූපවාහිනී යන්ත්‍රයට එක් කේබලයක් මගින් සම්බන්ධ වන මෙම සවුන්ඩ්බාර් උපාංගය රූපවාහිනියේ ශ්‍රව්‍ය ප්‍රතිදානය ලෙසින් ක්‍රියාකරනු පමණක් නොව, පෝට් පද්ධතිය සහ වෙනත් පහසුකම් සඳහා හබ් එක ලෙසින්ද ක්‍රියාත්මක වේ.
මෙම සවුන්ඩ්බාර් උපාංගයේ HDMI පෝට් 4 ක්, USB පෝට් 3 ක් මෙන්ම optical audio සම්බන්ධතාවයක්ද තිබේ. මීට අමතරව මෙම සමස්ත පද්ධතියට ක්‍රියාකාරී HDR system එකක්, Dolby Vision සහාය මෙන්ම webOS 3.5 පහසුකමද තිබේ. මෙහි ඉහළ ගුණාත්මක මට්ටමේ චැනල් 4.2 ක් ස්පීකර පද්ධතිය නිමැවී ඇත්තේ Dolby Atmos සහායද සමගිනි.
මේ වනවිටත් LG සමාගම මගින් මෙහි නිශ්චිත මිල ගණන් සම්බන්ධයෙන් අදහස් දක්වා නොමැති අතර, මෙම වසරේ දෙවන හෝ තුන්වන කාර්තුවේදී මෙම W-Series 4K OLED රූපවාහිනිය වෙළෙඳපොළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව පෙනේ.