කාලයක් පුරාවට සුඛෝපභෝගී පරිශීලකයන් වෙත පමණක් සීමාවූ ස්මාට්ෆෝන් වෙළෙඳනාමයක් ලෙසින් විශේෂීකරණය වී තිබූ HTC ස්මාට්ෆෝනයන් මේ වනවිට මධ්‍යම ශක්‍යතා සහ අවම ශක්‍යතා ස්මාට්ෆෝනයන් ලෙසින්ද පැමිණෙන්නේ බජට් ස්මාට්ෆෝනයක් සොයන්නවුන්ගේ අවශ්යතාවන්ටද ගැලපෙන ලෙසිනි. එසේ වුවත් HTC ස්මාට්ෆෝනයන්ට ආවේණික සුන්දර පෙනුම, ඉහළ දෘඩාංග හැකියාවන් මෙන්ම ගුණාත්මක භාවයද අඩු නොකොට රඳවා ගැනීමට ඔවුහු සමත්ව සිටිති.
මෙම මාසයේදී අසන්නට ලැබුණු පුවතක් වූයේ HTC One X9 ස්මාට්ෆෝනයේ අනුප්‍රාප්තිකයා ලෙසින් මධ්‍යම ශක්‍යතා ස්මාට්ෆෝනයක් ඉදිරි වසරේ ජනවාරි මාසයේදී එළිදක්වන්නට HTC සමාගම කටයුතු කරමින් සිටිනා බවයි. තවමත් නිල වශයෙන් දැනුම් දී නොමැති නමුත් මෙම HTC ස්මාට්ෆෝනය නිල වශයෙන් දැනුම් දීම සහ නිකුත් කිරීම ඉදිරි මාසයේදී සිදුවන බවට තොරතුරු අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතී. තොරතුරුවලට අනුව මෙම නව ස්මාට්ෆෝනය HTC X10 ලෙසින් හැඳින්වෙනු ඇතැයි පැවසේ.
මෙය අඟල් 5.5 ක තිරයකින් යුක්ත වනු ඇතැයි අසන්නට ලැබෙනා අතර, නවතම Corning Gorilla Glass තිර ආරක්ෂණයකින් සහ මල්ටිටච් පහසුකමින් යුතුව එළිදැක්වෙනු ඇතැයි කියැවේ. එසේම මෙය Android OS v6.0 Marshmallow මෙහෙයුම් පද්ධතිය මත ධාවනය වනු ඇත. මෙහි Mediatek MT6755 Helio P10 චිප්සෙට් එකක් සහ Octa-core (4x1.8 GHz Cortex-A53 හා 4x1.0 GHz Cortex-A53) ප්‍රොසෙසරයක් අන්තර්ගත වනු ඇත. මීට අමතරව 32GB ප්‍රමාණයේ අභ්‍යන්තර මතකයකින්, 3GB ප්‍රමාණයේ රැම් මතකයකින් මෙය සමන්විත වනු ඇති අතර, MicroSD කාඩ් මගින් මෙහි බාහිර මතකය 256GB දක්වා ඉහළ දැමීමටද හැකියාව ලැබෙනු ඇත.
මීට අමතරව මෙහි සම්මත ස්මාට්ෆෝන් කැමරා හැකියාවන්ගෙන් යුක්ත 13MP ප්‍රධාන කැමරාවක් සහ 8MP ද්වීතීයික කැමරාවක්ද අන්තර්ගත වනු ඇත. මෙහි Fingerprint scanner වැනි ඉහළ මට්ටමේ සංවේදකයන් දක්නට නොමැති අතර, Accelerometer, gyro, proximity, compass වැනි සාමාන්‍ය සෙන්සර පද්ධතියක් පමණක් අඩංගු වනු ඇත.
කෙසේ නමුත් මෙම නවතම HTC X10 ස්මාට්ෆෝනයේ දෘඩාංග හැකියාවන් දෙස බැලූ විට පෙනී යන්නේ, මධ්‍යම ශක්‍යතා ස්මාට්ෆෝනයන් සඳහා පවා කෙතරම් ඉහළ දෘඩාංග හැකියාවන් ලබාදීමට නිෂ්පාදකයන් පෙළැඹී ඇතිද යන්නයි. කෙසේ නමුත් මෙහි සංවේදකයන් හෝ අනෙකුත් විශේෂ හැකියාවන් සහ පහසුකම් අතින් බැලූ විට පෙනී යන්නේ HTC X10 යනු මධ්‍යම ශක්‍යතා පරාසයේ තවත් සාමාන්‍ය ස්මාට්ෆෝනයක් බවයි. එසේ නම් HTC ලෝලීන් අතර මෙය කෙතරම් ජනප්‍රිය වනු ඇතිද යන්න තීරණය කෙරෙනා සාධකය වනු ඇත්තේ මෙහි මිලයි. තවමත් මෙය නිල වශයෙන් නිවේදනය කෙරී නොමැති නිසාවෙන් මිල සම්බන්ධයෙන් කිසිවක් කීමට නොහැකි වූවත්, මෙයට වෙළෙඳ පොළ තුළ ඉහළ තරගයක් ලබාදීමට නම් තරගකාරී අඩු මිලක් යටතේ පැමිණීමට සිදුවන බව අපට කිව හැක.