තනි පුවරු පරිගණක නැතිනම් single-board computer (SBC) හෝ Integrated computer ලෙසින් හඳුන්වන, තනි පරිපථයක් මත ගොඩනැඟූ අතිශයින්ම කුඩා ප්‍රමාණයේ එහෙත් පුද්ගල පරිගණකයක සේම ප්‍රබලත්වයකින් ක්‍රියාකාරී වන පරිගණක තවමත් පුද්ගල භාවිතය දක්වා දියුණු වී ඇතැයි කීමට නොහැකිය.
එසේ වුවත් විශාල පරිගණක බලයකින් යුක්ත ස්මාට්ෆෝන් අතිශයින්ම සාමාන්‍ය උපාංගයක් වී ඇති වර්තමානයේදී, ඩෙක්ස්ටොප් පරිගණකයක් මිලදී ගැනීමට වඩා, අවශ්‍ය ආදාන හා ප්‍රතිදාන උපාංග තමන් සතුව ඇති නම් පරිගණක බලය පමණක් සපයන තනි පුවරු පරිගණකයක් මිලදී ගැනීම වඩාත් වාසිදායක බව කිව හැක. මෙවැනි තනි පුවරු පරිගණකවල විශේෂ ලක්ෂණයක් ලෙසින් එහි ඉතාම කුඩා ප්‍රමාණයද දැක්විය හැක.
මෙම සංයුක්ත, තනි පුවරු පරිගණක අතරට විප්ලවීය වෙනසක් සඳහා පැමිණ ඇති නවතම වෙළෙඳ නාමය ඉන්ටෙල් වේ. ඔවුන් විසින් හඳුන්වාදෙනු ලබන Intel® Compute Card උපාංගයේ ඇති විශේෂත්වය වන්නේ, එයට සම්බන්ධ කළ හැකි යාවත්කාලීන කරනා ලද උපාංගයන්ගේ සංඛ්‍යාව අතිවිශාල වීමයි.
මෙම උපාංගයේ ප්‍රමාණය දිගින් සහ පළලින් පිළිවෙළින් මිලිමීටර් 95 ක් සහ 55 ක් වේ. එසේම මෙහි ඝනත්වය මිලිමීටර් 5 කි. වෙනත් ලෙසකින් දක්වන්නේ නම් මෙය ක්‍රෙඩිට් කාඩ්පතකට වඩා විශාල වන්නේ අතිශයින්ම ස්වල්ප වශයෙනි. එතරම් කුඩා ප්‍රමාණයක නිමාවක් සහිත වූවද මෙහි පරිගණක බලය විශාල වන අතර, මෙය වෙනත් ස්මාට් උපාංගයන් ගණනාවකට පරිගණක මොළයක් ලෙසින් සවි කළ හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි.
මෙහි නිමාව සංකල්පීයව ගත්විට අතිශයින්ම සරල යැයි කිව හැක. ක්‍රෙඩිට් කාඩ්පතකට වඩා මඳක් විශාල මෙම උපාංගය තුළ මධ්‍යම සැකසුම් ඒකකයක්, රැම් මතකයක්, මතක ධාරිතාවයක් සහ වයි-ෆයි හා බ්ලූටූත් යන රැහැන් රහිත සම්බන්ධතාවයන් ලබාදීමට අවශ්‍ය කරනා ඇඩැප්ටරයන් සංයුක්ත කොට තිබේ.
දැන් මෙය පුද්ගල පරිගණකයක් ලෙසින් භාවිත කිරීමට වඩා වෙනත් ඕනෑම ස්මාට් උපාංගයක් නිෂ්පාදනය කිරීමේදී, එම ස්මාට් උපාංගයේ පරිගණක මොළය ලෙසින් හාවිත කිරීමට හැකියාව තිබේ. මෙවිට එම ස්මාට් උපාංගයටම සම්බන්ධ පරිගණයක් මෙන් නොව, අවශ්‍ය මොහොතක ගලවා ඉවත් කළ හැකි, වුවමනා මොහොතක වෙනත් ස්මාට් උපාංගයකටද භාවිතා කළ හැකි පරිගණක මොළයක් ලෙස මෙය නිපදවා තිබේ.
මෙම උපාංගය සංස්කරණයන් හතරකින් පැමිණේ. පිළිවෙලින් Intel® vPro™ තාක්ෂණය සමග 7th Gen Intel® Core™ i5-7Y57, 7th Gen Intel® Core m3-7Y30, Intel® Pentium® processor N4200, Intel® Celeron® processor N3450 යන ප්රොසෙසරයන්ගෙන් එම සංස්කරණයන් වෙනස් වන අතර, මුල් සංස්කරණ දෙකේ මතක ධාරිතාව ලෙසින් 128 GB Intel® SSD මතකයක්ද, පසු සංස්කරණ දෙකේ මතක ධාරිතාව ලෙසින් 64 GB eMMC මතකයක්ද ඇත. එසේම මෙම සෑම සංස්කරණයකම 4 GB DDR3 රැම් මතකයක් බැගින් ඇත.
මෙම Intel® Compute Card උපාංගය නිමවා ඇත්තේ ඕනෑම ස්මාට් උපාංගයකට සම්බන්ධ කිරීමට හැකිවන පරිද්දෙනි. සැබවින්ම මෙහි සංකල්පය සලකා බලන විට මෙහි සැබෑ ශක්‍යතාවය දක්නට ලැබෙනු ඇත්තේ අනාගතයේදී යැයි කිව හැක. මන්දයත්, මෙම Intel® Compute Card පරිගණකය අන්තර්ගත කළ හැකි ආකාරයේ ප්‍රවේශයක් සහිතව උපාංගයන් නිර්මාණය කිරීම සිදුවිය යුතු බැවිනි.
මෙහිදී පාරිභෝගිකයාට ලැබෙනා වාසිය වන්නේ තමන්ට අභිමත පරිද්දෙන් උපාංගයන් වෙනස් කිරීම හෝ උපාංගයන්හි දෘඩාංගයන් යාවත්කාලීන කිරීමේ හැකියාවක් ලැබීමයි. එවිට එම යාවත්කාලීන කළ දෘඩාංගයන් සහිත උපාංගයකට පවා පරිගණක බලය ලබාදීමට මෙම Intel® Compute Card පරිගණක මොළය ප්‍රමාණවත් වනු ඇත.
මෙය නිමාවෙන්ම ඕනෑම ස්මාට් උපාංගයකට ආරක්ෂාකාරීව සම්බන්ධ කිරීමේ හැකියාවෙන් යුක්ත වේ. එසේම මෙම Intel® Compute Card උපාංගය ඕනෑම වෙනත් ස්මාට් උපාංගයක ඇති දෘඩාංග හෝ මෘදුකාංග අගුලු යාන්ත්රණයන්ට ආරක්ෂිතව සම්බන්ධ කළ හැකි ඩොකින්ග් හැකියාවකින් යුතු බවට ඉන්ටෙල් සමාගම සහතික වේ.
මෙයට අමතරව මෙහි පරිගණක බලය සඳහා වැය වන්නේ ඉතාමත් අඩු වොට් ප්‍රමාණයක බලයක් නිසා විශාල වශයෙන් Intel® Compute Card උපාංගය සිසිලනය කළ යුතුවීමේ අවශ්‍යතාවයක්ද පැන නොනඟී.
මේ වනවිටද ඉන්ටෙල් සමාගම මගින් Sharp, LG Display, Seneca, Smart Tech, Foxconn වැනි ලෝ ප්‍රකට ස්මාට් උපාංග නිෂ්පාදන සමාගම් බොහෝමයක් සමගින් සහයෝගීත්වය සඳහා එකඟ වී සිටිනා අතර, මෙම වසර තුළ සිටම බොහෝ විට මෙම Intel® Compute Card පරිගණක උපාංගයෙන් බලගැන්විය හැකි ස්මාට් උපාංග වෙළෙඳපොළට පැමිණෙනු ඇත.