OnePlus සමාගම වසරකට වරක් නිකුත් කරන ස්මාට් ෆෝනය හඳුන්වන්නේ ෆ්ලෑග්ෂිප් කිලර් ලෙසිනි. ඒ එහි අන්තර්ගත කරන නවීනතම තාක්ෂණය අනෙකුත් ප්රධාන පෙළේ තරගකාරී ස්මාට්ෆෝන් සමාගම් මගින් වෙළඳ පොළට නිකුත් කරනා ෆ්ලෑග්ෂිප් ස්මාට් ෆෝන්වලට වඩා ඉහළ මට්ටමක තිබීමත්, එසේ වුවත් ස්මාට් ෆෝනයේ මිල පහළ මට්ටමක තිබීමත් නිසායි.
පෙර වසරේ OnePlus 3 උපාංගයෙන් අනතුරුව OnePlus 4 නමින් උපාංගයක් වෙළඳ පොළට එනතුරු බලා සිටියද එය එසේ වන්නේ නැති බව සැලවේ.
OnePlus සමාගම ඔවුන්ගේ දැනට වෙළඳ පොළ පවතින නවතම උපාංගය නිකුත් කරන්නේ OnePlus 3T ලෙසින්. එය ඉහළ රසික ආකර්ෂණයක් දිනාගන්නා අතර ඇන්ඩ්රොයිඩ් ස්මාට් ෆෝනයන්හි ප්රධානතම තරගකරුවා වන Apple සමාගම නිකුත් කරන iPhone හී S සංස්කරණයන්ට ඉංග්රීසි හෝඩියේ එක් අකුරක් ඉහළ නංවමින් T අකුර තෝරාගෙන කළ නාමකරණයක් බවද දැක්වෙනවා.
කෙසේ වුවත් මීලඟ ෆ්ලෑග් ෂිප් කිලර් උපාංගය ලෙස OnePlus 5 ස්මාට්ෆෝනය ලබන 21 වැනිදා නිල වශයෙන් නිකුත් කරන අතර, නවතම iPhone 7 Plus උපාංගයේ හැඩයට බොහෝදුරට සමාන හැඩයකින් එය නිකුත් වන බැව් පෙනේ.
කෙසේවුවද මේ වන විට අලෙවිකරුවෙකු අතින් උපාංගය නිකුත් විමට පෙර එහි විශේෂාංගයන් සහ පිරිවිතර පිටතට නිකුත් වීමක් සිදුව ඇති නිසා අපට ඒ පිළිබඳ තොරතුරු දැනගත හැකි වුවත්, නිල නිවේදනයකින් OnePlus සමාගම විසින් නිකුත් කරන තෙක් තවමත් මෙම දත්ත අවිනිශ්චිත බවද සිහිපත් කළ යුතුයි.
මෙසේ දැනගන්නට ලැබුණු තොරතුරු වලට අනුව මෙම ස්මාට් ෆෝනයේ මෙගාපික්සල් 20 සහ 16කින් අනුබද්ධ පසුපස කැමරා පද්ධතියට විශේෂිත සෙන්සරයක් යොදා තිබෙනවා. තිරය අඟල් 5.5ක්. ඇඟිලි සලකුණු ස්කෑනරයේ හැඩය වෙනස් විය හැකි වුවත් එය පවතින ස්ථානය වුනු තිරයට පහළ කොටස මෙවරත් වෙනස් වන්නේ නැති බව පෙනේ. එය ඉහළ වේගයක් දක්වමින් තත්ත්පරයෙන් දහයෙන් දෙකක කාලයකින් අඟිලි සලකුණ හඳුනාගන්නට නියමිතයි.
අතිවිශේෂ Snapdragon 835 ප්රොෙසසරය මෙම උපාංගයේ පාලනය බාරගෙන තිබෙනවා. OnePlus 3T හිදී ගිගාබයිට් 6ක රැම් අගයක් දැක්වුවද OnePlus 5 හිදී එය බොහෝදුරට ගිගාබයිට් 8ක් වීමේ ඉඩ තිබෙනවා. එය ස්මාට් ෆෝනයක පළමු වර දැකිය හැකි අති විශේෂ තත්ත්වයක්. මතක ධාරිතාවන්ගෙන් ගිගාබයිට් 32 මගහැරවන්නට OnePlus සමාගම කටයුතු කරන ඇති බවට විශ්වාස කෙරෛනවා. ඒ අනුව ගිගාබයිට් 64 සහ 128 මතක ධාරිතා ලෙස සංස්කරණ දෙකක් වෙළඳ පොළට නිකුත් වනු ඇති.
පැයට මිලි ඇම්පියර් 3300ක බැටරිය නම් තරමක අපේක්ෂා බිඳ දැමීමක් වනු ඇත්තේ, බොහෝ පිරිස් කෙසේ හෝ බැටරි ආයු කාලය තවතවත් වැඩි වන තුරු බලා සිටින නිසායි. එය අධික කාර්යක්ෂමතාවක් ඇති ස්මාට් ෆෝනයකට සිදු කරන අසාධාරණයක් බව කිව යුතුයි. ඒ ඉහළ කාර්යක්ෂමතාවයක් තිබුණද, එම කාර්යක්ෂමතාෙවන් වැඩි කාලයක් ක්රියාත්මක විය නොහැකි වන නිසාවෙනි.
කෙසේ හෝ එම බැටරිය පැයක් ඇතුළත සියයට 92ක් දක්වා බලගැන්විය හැකි ලෙස නිපදවීම සැලකිය යුතු සහනයක් බවද කිව යුතුයි. එසේම OnePlus3T උපාංගයද එක් වරක් බලගැන්වීමෙන් සැලකිය යුතු කාලයක් අධික භාවිතයේ තබාගත හැකිවීම නිසාත්, අප විසින් මෙම දක්වන පිරිවිතර නිල වශයෙන් නිවේදනය වූ ඒවා නොවන නිසාත් මෙම නව උපාංගයේ බැටරිය පිළිබඳ එතරම් බළාපොරොත්තු අත්හැර ගත යුතු නැහැ.
මිලගණන් සම්බන්ධයෙන් පැවසෙන්නේ මෙම උපාංගය ඇමරිකානු ඩොලර් 479කින් අරඹෙනු ඇති බවයි. එය ආසන්නව රුපියල් 70,000ක මුදලක්. එසේම මෙහි වැඩි මතක ධාරිතාවයේ සංස්කරණයට අමතරව ඇමරිකානු ඩොලර් 40ක් පමණ එක්වනු ඇති.
කෙසේ හෝ තිරය, කැමරාව, නිෂ්පාදනයේ ගුණාත්මක බව, උපාංගයේ කාර්යක්ෂමතාව යන ප්රධාන කාරණා පහ සලකා බලා, මෙම අන්තර්ජාලයට නිකුත්වූ නිල නොවන හැකියාවන් සැබෑ විය හැකියැයි උපකල්පනය කරන්නේ නම් මෙය මීලඟට වෙළඳපොලට නිකුත් වන විශිෂ්ටතම දෘඩාංග හැකියාවන් සහිත ස්මාට් ෆෝනය වනු ඇතැයි අනුමාන කළ හැක. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ස්ථිරවම යමක් කීමට නම් සමාගම මගින් නිල වශයෙන් මෙම ස්මාට් ෆෝනය නිවේදනය කරන තුරු බලා හිඳින්නට සිදුවනු ඇත.