සමාගමක් තුළ සන්නිවේදනය සඳහා චක්‍රලේඛයන් හා දැනුම් දීම් භාවිතා කළ කාලයක් තිබුණි. එවකට කාර්යක්ෂම සහ නිරවද්‍ය භාවය හා වෘත්තිමය භාවය රැකගන්නා සන්නිවේදන මාර්ගයන් වූයේ එයයි. පසු කාලීනව ඩිජිටල් යුගයට පිවිසීමත් සමගින් ඊමේල්ද මෙම සන්නිවේදන ක්‍රියාවලියේ මූලිකස්ථානයක් ගෙන තිබූ අතර, තවමත් ඊමේල් යනු වෘත්තීය සන්නිවේදන මාර්ගයක් ලෙසින් සැලකේ.
කෙසේ නමුත් Slack මෘදුකාංගය හඳුන්වා දීමත් සමගින් මෙම තත්වය තවත් පරිණාමය විණි. මීට පෙරද මේ හා සමාන මෘදුකාංග තිබූ නමුත්, Slack මගින් ඩිජිටල් වෘත්තිය සන්නිවේදනය තවත් ඉහළ තලයකට ගෙන යෑමට කටයුතු කෙරුණු බව කිව යුතුවේ. විශේෂයෙන්ම සමාගම් අතර පමණක් නොව, අන්තර්ජාලය ඔස්සේ සන්නිවේදනයන් පවත්වා ගැනීමට සිදුවන වර්තමාන සයිබර් අවකාශය මත මූලිකවම පදනම් වූ සමාගම් සඳහාද Slack යනු වෙස්වළාගත් ආශීර්වාදයක් බවට පත්විණි.
ප්‍රධාන කොටම Slack යනු අන්තර්ජාලය මත පදනම් වූ කණ්ඩායම් අතර සන්නිවේදන සහ ව්‍යාපෘති සහයෝගීතා මෙවලමක් ලෙසින් හැඳින්විය හැක. මෙය ක්‍රියාත්මක වන්නේ මූලිකවම යම් කණ්ඩායමක හෝ සමාගමක සාමාජිකයින්ව කණ්ඩායමට ඇතුළත් කිරීමෙන් සහ එක් එක් සාමාජිකයාගේ පරිගණකයේ හෝ ස්මාට්ෆෝනයේ Slack මෘදුකාංගය/යෙදුම ස්ථාපනය කිරීමෙනි.
දැන් ඇඩ්මින්වරයා හට තම ව්‍යාපෘතිය හෝ සමාගම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට හැකි විවිධ පොදු චැනලයන් නිර්මාණය කළ හැක. එසේම එක් එක් චැනලයට එම කාර්යයන් සඳහා අදාළ පුද්ගලයින්ව පමණක් එක් කිරීමටද හැක. මෙයින් සන්නිවේදනය වඩාත් ඵලදායී හා කළමනාකරණය වූ එකක් වේ.
උදාහරණයක් ලෙසින් ගත් විට සමාගමක ඉහළ විධායක නිලධාරීන් හට වෙනම චැනලයක් සහ ඉන් පහළ එක් එක් තලයන් සඳහා වෙනම චැනලයන් නිර්මාණය කිරීම මගින්, සන්නිවේදනය අවශ්‍ය කණ්ඩායම් වලට පමණක් ගලා යෑම පාලනය කළ හැකිවේ. එසේම එම කණ්ඩායමේ සිටිනා සියලුම දෙනාට පුද්ගලිකවද සන්නිවේදනය කළ හැකි වීම නිසා මෙය ඊමේල් පණිවුඩ වලටත් වඩා පහසු වෘත්තිය තලයේ මැසෙන්ජර් සේවාවක් ලෙසින්ද ක්‍රියාත්මක වනු ඇත.
මෙහි ඇති දියුණු සිහි කැඳවීම් ලබාදීමේ පද්ධතියද නිසාවෙන් ඔබ යම් කිසිවෙකු හෝ කණ්ඩායමක් වෙත ලබාදෙන පණිවිඩයන් ඔවුන් හට ලැබෙනා බව සහතික කර ගැනීමට හැකිවීමද විශේෂත්වයකි.
slack.com