වර්තමානය වන විට පරිගණකයක් යනු ජනගහණයෙන් වැඩි ප්‍රමාණයකට අමුතු දෙයක් නොවන්නා සේම, අන්තර්ජාලය යනුද අමුතු යමක් නොවේ. කෙසේ නමුත් අන්තර්ජාලය භාවිතා කරනා සෑම දෙනෙකුටම පාහේ යම් කිසි වෙබ් අඩවියකට සෘජුවම පිවිසෙන අවස්ථාවකදී හැරෙන්නට, තමන්ට අවශ්‍ය යම් කිසිවක් සොයා ගැනීම සඳහා සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට සිදුවනු ඇත.
මෙම සෙවුම් යන්ත්රයන් මගින් කෙරෙන්නේ ඔබට සොයා ගැනීමට අවශ්‍ය යම් කරුණකට, විෂයකට අදාළ වන විස්තර අඩංගු වෙබ් අඩවි ලැයිස්තුවක් ලබාදීමයි. සෙවුම් යන්ත්‍ර සම්බන්ධයෙන් කථා කිරීමේදී බොහෝ දෙනා භාවිතා කරන්නේ Google වුවත්, එයට අමතරව Yahoo, Bing, TorSearch වැනි වෙනත් බොහෝ සෙවුම් යන්ත්‍ර අන්තර්ජාලයේ තිබේ. හඳුන්වා දුන් මුල් අවධියේදී සෙවුම් යන්ත්‍රයක් ලෙසින්ද හඳුන්වා දුන් Wolfram Alpha යනු සැබවින්ම සෙවුම් යන්ත්‍රයකට වඩා දැනුම් යන්ත්‍රයක් ලෙසින් හැඳින්වීම යෝග්‍ය වේ.
එසේත් නැතිනම් එය ගණනය කිරීම් හරහා ඔබ සෙවුම් කරනා යම් කිසිවක් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙන සේවාවක් ලෙසින් හැඳින්විය හැක. සැබවින්ම ඇපල් ස්මාට්ෆෝන් සමගින් එන සිරී තත්‍යාසන්න සහකරු තමන්ගේ ප්‍රතිචාරයන්ගෙන් 25% ක ප්‍රමාණයක් ලබාදීම සඳහා භාවිතා කරන්නේද Wolfram Alpha අඩවියයි.
ඔබට Wolfram Alpha සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමේ හොඳම මාර්ගය එය භාවිතා කර බැලීම සහ ඔබේ අත්දැකීම හා එය සංසන්දනය කිරීමයි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ඔබට Google සෙවුම් යන්ත්‍රය හරහා ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන සෙවුම් කළ හැක. එහිදී ඔබට ලැබෙනු ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් වන නවතම ප්රවෘත්ති අඩංගු වෙබ් අඩවි කිහිපයක් වෙත යාමට සබැඳි, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විකිපීඩියා පිටුව, ඔහුගේ ට්විටර්, ෆේස්බුක් ගිණුම් වෙත යාමට ඇති සබැඳි සහ එතැනින් එහාට ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ලියැවුණු විවිධ අන්තර්ජාල ලිපි වෙත යාමට ඇති සබැඳියන් වේ.
සැබවින්ම බොහෝ විට ඔබට අවශ්‍ය වන්නේද එයයි. කෙසේ නමුත් ඔබ Wolfram Alpha වෙත පිවිස ඩොනල්ඩ් ට්‍රම්ප් නමින් සෙවුම් කර බැලූ විට ඔබට ලැබෙනු ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමක් වනු ඇත. Wolfram Alpha මගින් ඔබට ලබාදෙනු ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් යනු කවුද යන වග, ඔහුගේ සම්පූර්ණ නම, උපන්දිනය ඇතුළු මූලික තොරතුරු, ඔහුගේ උස, බර වැනි භෞතික තොරතුරු, ඔහුගේ ජීවිතය කාලරේඛාවක් මත කෙසේ වේද යන්න, ඔහු සම්බන්ධ වැදගත් තොරතුරු ලැයිස්තුවක් ලෙසින් සහ ඔහුගේ ආර්ථිකමය, සමාජමය දත්ත වනු ඇත. මෙම සෑම දත්තයක් සමගින්ම හයිපර්ලින්ක් දකින්නට ලැබෙන අතර, ඔබ එම හයිපර් ලින්කුවක් මත ක්ලික් කළ විට, Wolfram Alpha අඩවිය ඔස්සේම එම අදාළ කාරණය සම්බන්ධයෙන්ද ඉහත ලෙසින්ම දත්ත සමුදායක් ඔබ වෙත ලබාදෙනු ඇත.
කෙසේ නමුත් මෙහිදී මතුවන ගැටළුව වන්නේ මෙවැනි ආකාරයකට දත්ත ලබාදෙන Wolfram Alpha වෙබ් අඩවිය පරිශීලනය කරන්නේ කවුරුන්ද යන්නයි. මෙයට ඇත්තේ සරල පිළිතුරකි. යම් කිසි විෂයයක් හෝ මාතෘකාවක් සම්බන්ධයෙන් තොරතුරු නොව නිරවද්‍ය දත්ත ලබාගැනීමට අපේක්ෂා කරන්නෙකු පරිශීලනය කරන්නේ Wolfram Alpha අඩවියයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි අයෙකු සම්බන්ධයෙන් Google සෙවුමක් කළ විට ලැබෙනා වෙබ් අඩවි තුළ ඇති තොරතුරු වල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් එතරම් ගැටළු ඇතිකරගත යුතු නොවේ. එනමුත් එසේ නොවන වෙනත් යම් යම් විෂයයන් සම්බන්ධයෙන් අන්තර්ජාලය තුල ඇති දැනුම සෑම විටම සියයට සියයක් නිරවද්‍ය නොවේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් තාරකා විද්‍යාව වැනි විෂයක් සම්බන්ධයෙන් වුවත් සාමාන්‍ය ආකාරයෙන් සෙවුම් කළ විට, නිරවද්‍යතාව සම්බන්ධයෙන් ප්රශ්නකාරී අන්තර්ගතයන් අන්තර්ජාලය තුළ ඕනෑ තරම් සම්භවනු ඇත.
කෙසේ නමුත් Wolfram Alpha වෙබ් අඩවිය මෙහිදී සුවිශේෂී වන්නේ, එය සිය ගණනයන් සඳහා යොදාගන්නේ හැකි තාක් විශ්වාසය තැබිය හැකි මූලාශ්රයන් වන වීමයි. එබැවින් එයින් ලබාදෙන ප්රතිඵලයන්ගේ නිරවද්‍යතාවය සාපේක්ෂව ඉහළ මට්ටමක පවත්නා බැව් කිව හැක. කෙසේ නමුත් Wolfram Alpha මගින් ගණනයන් නොවන දත්ත රැස් කිරීම් සඳහා ‘CIA's The World Factbook’, ‘the United States Geological Survey’, විශ්වවිද්‍යාලයන් මගින් එළිදක්වන ප්රකාශනයන්, ‘Chambers Biographical Dictionary’, ‘Dow Jones’, ‘the Catalogue of Life, ‘CrunchBase’, ‘Best Buy’, FAA වැනි මූලාශ්රයන් අතරතුරදීම යම් විටක විකිපීඩියා පිටුද යොදාගන්නා බව මෙහිදී සඳහන් කළ යුතුවේ!
කෙසේ නමුත් ඔබ නොසිතනා බොහෝ කරුණු සඳහා Wolfram Alpha අතිශයින්ම ප්‍රයෝජනවත් මෙවලමක් වනු ඇත. උදාහරණයක් ලෙසින් ගත් විට ඔබට යම් වෙබ් අඩවියක් සම්බන්ධයෙන් එහි දිනකට පිවිසෙන්නන් සංඛ්‍යාව, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම, හිට්ස් ප්‍රමාණය වැනි තාක්ෂණික දත්ත අවශ්‍ය විටක පහසුවෙන්ම එය Wolfram Alpha හරහා නම සෙවුම් කර ලබාගත හැක. එසේම යම් ආහාරයක අඩංගු පෝෂ්‍ය සංඝටක, දත්ත ලබාගැනීම සඳහාද සරල සෙවුම් කිරීමක් ප්‍රමාණවත් වනු ඇත.
එසේම ගූගල් කැල්කියුලේටරය හෝ වෙනත් එවැනි ඔන්ලයින් කැල්කියුලේටරයකට විසඳීමට නොහැකි ආකාරයේ සංකීර්ණ ගණනය කිරීම් සඳහාද සුදුසුම ස්ථානය වන්නේ Wolfram Alpha අඩවියයි. ඒ මගින් ඔබට පිළිතුරු පමණක් නොව, ඒ සම්බන්ධ ප්‍රස්ථාරික විස්තර කිරීම්ද සපයා දෙනු ඇත.
එසේම ඔබට බොහෝ විට සුවිශේෂී ඔන්ලයින් සේවාවක් භාවිතා කර ලබාගැනීමට සිදුවන සේවාවන්, ක්‍රියාකාරකම් එකම තැනකින් සිදුකර ගැනීමටද Wolfram Alpha භාවිතා කළ හැක. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ඔබ Wolfram Alpha හි ‘10 character password’ ලෙසින් සෙවුම් කල විට, ඔබට අහඹු ලෙසින් ජනනය කළ, වෙනත් පාර්ශවයකට අනුමාන කිරීමට හෝ බිඳීමට අපහසු අකුරු/අංක/සංඥා 10 ක මුරපදයක් Wolfram Alpha මගින් ලබාදෙනු ඇත. එසේම ඔබට අද දිනයේ හෝ පසුගිය වසර පුරා කාලගුණය සම්බන්ධයෙන් දැනගැනීමට අවශ්‍ය නම් එම දත්තද Wolfram Alpha මගින් ලබාදෙනු ඇත.
මෙසේ බැලූ විට Wolfram Alpha සම්බන්ධයෙන් කිව හැක්කේ එය සෙවුම් යන්ත්‍රයක් හෝ කැල්කියුලේටරයක් හෝ විශ්ව කෝෂයක් නොව, එම සියල්ලේම එකතුවක් ලෙසයි. ආරම්භයේදී Google වැනි සෙවුම් යන්ත්‍ර වෙත හුරුවී සිටිනා ඔබට Wolfram Alpha භාවිතා කිරීම එතරම් පරිශීලක මිත්‍රශීලී අත්දැකීමක් ලබා නොදෙන්නේ යැයි හැඟුණද, Wolfram Alpha වෙත හුරු වූ විට අවබෝධ වනු ඇත්තේ ඔබට අන්තර්ජාලය හරහා නිරවද්‍ය දත්තමය ප්රතිඵලයන් ලබාගැනීමට මෙය අනගි ඔන්ලයින් සහායකයෙකු බවයි.
http://www.wolframalpha.com/