වසර 2000 දී නිෂ්පාදනය වුණු පැරණි නොකියා 3310 ජංගම දුරකථනය නොදන්නා අයෙකු සිටිය නොහැක. මෙය ලොව පුරා ජංගම දුරකථන මිලියන 126 ක අලෙවි වාර්තාවක් තැබීමට සමත් වූ අතර, ලෝකයේ වඩාත් වැඩියෙන් විකුණුනු මෙන්ම ලෝකයේ වඩාත්ම ජනප්‍රියත්වයට පත්වුණු ජංගම දුරකථන අතර ඉහළ තැනක් දිනාගැනීමටද සමත් විණි.
මේ වනවිට මැදිවයසේ සහ තරුණ වයසේ සිටිනා බොහෝ දෙනෙකු හට නොකියා 3310 ජංගම දුරකථනය හොඳින් මතක තිබීමට කරුණු කිහිපයක් තිබේ. එයින් මුල්ම කරුණ වන්නේ, ඒ බොහෝ දෙනෙකුගේ පළමු ජංගම දුරකථනය නොකියා 3310 නොවූවත්, බොහෝ දෙනෙකු පළමු ජංගම දුරකථනයට පසුව මිලදී ගත්, ඇන්ටෙනා රහිත, සාක්කුවට හොඳින් ගැලපෙන, හුරුබුහුටි පෙනුමක් ඇති මෙන්ම දීර්ඝ කාලයක් භාවිතා කළ මුල්ම දුරකථනය නොකියා 3310 වීමයි. 2000 වසර සිට 2003/2004 වසර වනවිට ජංගම දුරකථනය සුඛෝපභෝගී අධි මිල උපාංගයකින්, පොදුජන භාවිතයට ඔබිනා වඩාත් දැරිය හැකි මිලකට ඇති උපාංගයක් බවට පත්ව තිබිණි.
එසේම ජංගම දුරකථනය මෙසේ සාමාන්‍ය ජනී ජනයාට සමීප උපාංගයක් බවට පත්වීම සමගින් තෝරාගැනීම සඳහා සෝනි එරික්සන්, ඇල්කටෙල් ඇතුළු ජංගම දුරකථන විශාල පරාසයක් විවෘත විණි. කෙසේ නමුත් නිකුත් වූ දා පටන් මේ සියල්ලම පරදා පොදු ආකර්ෂණය දිනාගැනීමට නොකියා 3310 උපාංගය සමත් වූයේ, එහි හුරුබුහුටි පෙනුමත්, සුමට ක්‍රියාකාරීත්වයත්, දීර්ඝ කල් පැවැත්මත්, රළු පාවිච්චියට ඔරොත්තු දීමත් සමගිනි. එසේම එහි වූ Snake ක්‍රීඩාවද විශේෂ ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වූ බවද නොකියාම බැරිය.
කෙසේ හෝ පැරණි නොකියා 3310 ස්මාට්ෆෝනය නිෂ්පාදනය කිරීම නවතා දැමූ අතර, එය නවීන ස්මාට්ෆෝන් ලෝකය තුළ ඩයිනසෝරයෙකු බවට පත්විණි. කෙසේ නමුත් යම් විටක නවීන රොබෝවරුන්ටද වඩා ආදිකල්පික ඩයිනසෝරයින්ට මිනිසුන් ඇල්ම දක්වන බව සනාථ කරමින්, ලොව පුරාම බොහෝ දෙනා නොකියා 3310 වෙත ඇති සිය ආකර්ෂණය අවස්ථා ගණනාවකදීම පෙන්වා සිටින ලදී.
මේ නිසාවෙන්ම නොකියා සමාගම පසුගියදා තීරණය කොට තිබුණේ මෙම සියලු දෙනා ආදරය කරනා ඩයිනසෝරයාව ප්‍රතිනිර්මාණය කරන්නයි. වසර 16 ක් යනු සාමාන්‍යයෙන් එතරම් දීර්ඝ කාලයක් නොවූවත්, වේගයෙන් පරිණාමය වන ස්මාට්ෆෝන් ලෝකයේ එය සෑහෙන තරම් දිගු කාලයකි. එනිසා වසර 16 කට පසුව නොකියා 3310 ස්මාට්ෆෝනය නැවත වෙළෙඳපොළට නිෂ්පාදනය කොට එවීමට නොකියා සමාගම තීරණය කිරීම, තාක්ෂණික ලෝකය කළඹවන සිදුවීමක් බවට පත්ව තිබිණි.
බැලූ බැල්මට මෙම නව නොකියා 3310 උපාංගය එහි පූර්වජයාට සමාන කම් වලට වඩා අසමානකම් දක්වා සිටී. මෙම නව ජංගම දුරකථනයද ප්ලාස්ටික් බඳකින් යුක්ත වූවත්, පැරණි ජංගම දුරකථනයේ ඇති ඕනෑම අවස්ථාවකට මුහුණ දිය හැකියැයි දක්වන පෙනුම වෙනුවට මෙහි ඇත්තේ දුර්වල, සුමට පෙනුමකි. නව නොකියා 3310 උපාංගය එහි පැරණිතමයාට වඩා ප්‍රමාණයෙන් මඳක් විශාල වූවත්, ජංගම දුරකථනයේ ඝණත්වය අතින් සලකා බලන විට මෙම නව උපාංගය පැරණි උපාංගයේ ඝණත්වයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ගනී. එම නිසා නව නොකියා 3310 උපාංගයට වඩාත් හුරුබුහුටි නිමාවක් ලැබෙනා බැව් අමුතුවෙන් කිව යුතු නොවේ.
කෙසේ නමුත් අතීතයේ දක්නට ලැබුණු නොකියා 3310 ජංගම දුරකථනයට අතීත කාමයෙන් බැඳුණු අයවලුන් මෙම නව නොකියා 3310 උපාංගය දැකීමෙන් පසු අපේක්ෂා භංගත්වයට පත්වූවත්, සැබවින්ම මෙම නව නොකියා 3310 උපාංගයද සාපේක්ෂව ඉහළ අලෙවියක් වාර්තා කර සිටිනු නොඅනුමානය. විශේෂයෙන්ම මෙය වඩාත් නවීන හැකියාවන් සහිත මූලික ජංගම දුරකථනයක් වීම ඊට වඩාත් සහයක් වනු ඇත. මෙය Warm Red (Glossy), Dark Blue (Matte), Yellow (Glossy), Grey (Matte) යන වර්ණ හතරකින් යුතුව වෙළෙඳපොළට පැමිණෙනු ඇත.
බඳ: 115.6 x 51 x 12.8 mm; (ප්ලාස්ටික් නිමාව)
තිරය: අඟල් 2.4 - 240 x 320 pixel LCD
මතකය: 16MB අභ්‍යන්තර මතකය; microSD බාහිර මතකය
මෙහෙයුම් පද්ධතිය: Nokia Series 30+
කැමරාව: 2MP, single LED flash
බැටරිය: 1,200mAh (ගැලවිය හැක)