යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට අහිමි කළ ජී.එස්.පී. ප්ලස් සහනය නැවතත් ලබාදීමට යුරෝපා කොමිසම යෝජනා කර තිබේ. එම කොමිසම අද (11දා) නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වූයේ මානව හිමිකම්, කම්කරු නීති, පරිසර ආරක්ෂණය හා යහපාලනයට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්ති 27ක් ක්‍රියාවට නංවමින් ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය හේතුවෙන් නැවතත් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදීමට හේතු වූ බවයි.
මෙම සහනය ලැබීමත් සමගින් මෙරට ඇඟලුම් හා මත්ස්‍ය නිෂ්පාදන ප්‍රමුඛව ශ්‍රී ලංකාව විසින් යුරෝපයට අපනයනය කරන නිෂ්පාදන තීරු බදු රහිතව අපනයනය කිරීමට අවස්ථාව ලැබෙයි. මාස හතරක කාලයකට පසුව මෙම සහනය ක්‍රියාත්මක වීමට නියමිතය.
කොමිසම ගත් මෙම තීරණයට යුරෝපා පාර්ලිමේන්තුවට හා කවුන්සිලයට විරෝධතා ගොනු කිරීමේ අවස්ථාවද ලැබී තිබේ. අදාළ මාස හතරක කාලය තුළ ඔවුන් ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට ලබාදීමට විරෝධය නොදක්වයි නම් එය ක්‍රියාවට නැංවෙන බව යුරෝපා කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
2015 වසරේ බලයට පත්වූ වත්මන් රජය ජාතික සංහිඳියාව වෙනුවෙන් කටයුතු කිරීම, මානව හිමිකම් සඳහා ගරු කිරීම, නීතියේ ආධිපත්‍ය නැවත ඇති කිරීමට කටයුතු කිරීම, යහපාලන මූලධර්ම ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීම, තිරසාර සංවර්ධනයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කිරීම වැනි යහපත් ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව එම නිවේදනයේ දැක්වෙයි. කෙසේ වෙතත් ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම හරහා ශ්‍රී ලංකාව විසින් ක්‍රියාවට නංවූ ජාත්‍යන්තර ප්‍රඥප්ති පිළිබඳව පූර්ණ වශයෙන් සතුටට පත්විය හැකි බවක් ප්‍රකාශ නොවන බවද එම නිවේදනයේ දැක්වෙයි.
ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදීමට ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් යුරෝපා කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මැල්ස්ට්‍රෝම් මහත්මිය පවසන්නේ සහනය නැවත ලැබීම හරහා ශ්‍රී ලංකාවට යුරෝපා වෙළෙඳ පොළට අවතීර්ණ වීමට ලැබීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට ධනාත්මක අයුරින් බලපානු ඇති බවයි. එසේම මානව හිමිකම් ආරක්ෂා කිරිම ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රයන්හි වර්ධනය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය තවදුරටත් ලබාදෙන බවත් ඇය සඳහන් කරයි.
2010 දී ශ්‍රී ලංකාවට අහිමි වූ ජී.එස්.පී. ප්ලස් සහනය යළි ලබාගැනීමට වත්මන් රජය බලයට පත්වීමත් සමගින් කටයුතු ආරම්භ කළ අතර පසුගිය ජූලි මාසයේදී ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමට අදාළ අයදුම්පතද ඉදිරිපත් කෙරිණි. ඊට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යුරෝපයේ සංචාරය කරමින් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමට අදාළව යුරෝපා සංගමයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා වට ගණනාවක්ද පැවැත්වීය.
යුරෝපා කොමිසම දියුණු වෙමින් පවතින රටවල් සඳහා යුරෝපා වෙළෙඳපොළට භාණ්ඩ අපනයන කරන විට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලබාදෙයි. මෙය ශ්‍රී ලංකාවට මුලින් හිමිව තිබුණත් 2010 වසරේදී ඔවුන් විසින් එය අහිමි කිරිමට කටයුතු කරනු ලැබීය. එවකට ශ්‍රී ලංකාවේ වාර්තා වූ මානව හිමිකම් කඩවීම් පිළිබඳව වූ ගැටලු සඳහා පිළිතුරු ලබාදීමට අපොහොසත් වීම හේතුවෙන් එම සහනය ශ්‍රී ලංකාවට අහිමිකිරීමට කොමිසම තීරණය කළේය. මේ හේතුවෙන් ප්‍රධාන වශයෙන්ම මෙරට ඇඟළුම් ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් ඇතිවිය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා යුරෝපයේ මිල ඉහළ යාමත් සමගින් එවකට ශ්‍රී ලංකාවට හිමිව තිබූ වෙෙළඳ පොළ ප්‍රධාන වශයෙන්ම බංග්ලාදේශයට හිමිවිය.
මේ වන විට යුරෝපා සංගමය විසින් ආමේනියාව, බොල්වියාව, කේප් වර්ඩේ, කජිගිස්තානය, මොංගෝලියාව පාකිස්තානය, පැරගුවේ යන රටවල් සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදී ඇත.