පැය 24ක වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රියේ සිට


අයවැය තුළින් රාජ්‍ය සේවක අයිතීන් කප්පාදු කිරීමට සහ රාජ්‍ය සේවකයන්ට, පෞද්ගලික අංශ සේවකයන්ට සහන ලබානොදීමට එරෙහිව අද (14දා) රාත්‍රී 12.00 සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික සේවකයන් වැඩවර්ජනයක නිරතවන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි. 
අද රාත්‍රී 12.00 සිට දුම්රිය සහ පෞද්ගලික බස් රථ පැය 24 ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද එම සංගමයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය. 
මෙම වැඩවර්ජනයට දුම්රිය ශ්‍රේණි 50 ක් සහ ප්‍රධාන බස් සංගම් 03 ක් සහයෝගය ලබාදෙන බවද පවසා සිටියේය.
රාජ්‍ය, පෞද්ගලික බැංකු, හෙද පරිපූරක, අතුරු වෛද්‍ය, අධ්‍යාපන, තැපැල්, සෞඛ්‍ය කනිෂ්ඨ කාර්යමණ්ඩල ඇතුළු ශ්‍රේණි 155 කට වැඩි ප්‍රමාණයක් හෙට (15දා) පෙරවරු 8.00 සිට පැය 24 ක වැඩවර්ජනයක් සිදුකරන බවද සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කළේය. 
හෙද පරිපූරක, අතුරු වෛද්‍ය සේවා, සේවාවලින් ඉවත්වීමත් සමග සම්පූර්ණයෙන්ම රෝහල් සේවා අඩාළවන බවත්, අනෙකුත් සේවාවලත් සේවා අඩාළවන බවද ඒ මහතා පවසා සිටියේය. 
රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට බලපා තිබෙන ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඇතුළුව අමාත්‍යවරුන් සමග පෙරේදා දෙවැනි සාකච්ඡාවත් අසාර්ථක වූ බවද සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය. 
අද රාත්‍රී සිට ක්‍රියාත්මකවන වැඩ වර්ජනය 80 ජූලි වර්ජනයට එහා ගිය වැඩවර්ජනයක් බවත්, සිදුකරන වැඩවර්ජනයට ප්‍රතිචාර නොලැබුණහොත් ලබන සතිය තුළදී පැය 48 ක වැඩ වර්ජනයක් සිදුකරන බවත්, අද සිට ක්‍රියාත්මක වැඩ වර්ජනයට වෘත්තීය සමිති 150 ක් සහය ලබාදෙන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
2016 වසරේ සිට රාජ්‍ය සේවයට එක්වන සේවකයන්ගේ විශ්‍රාම  වැටුප අහිමි කිරීම, රාජ්‍ය සේවක දීමනා මූලික වැටුපට එකතු නොකිරීම, පෞද්ගලික අංශ සේවකයාට රුපියල් 2500 ක් ලබා නොදීම, හොඳම අර්ථ සාධක හා සේවක භාරකාර අරමුදල එකතු කර පොදු ගිණුමක් සකස් කිරීමට යෝජනා කිරීම, සේවකයෙක් ස්ථිරවීමේ කාලය දින 180 සිට 365 දක්වා ඉහළ දැමීම, මෑන් පවර් සේවකයන් ස්ථිර නොකිරීම ඇතුළු ඉල්ලීම් 18 ක් මුල්කරගෙන මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව රත්නප්‍රිය මහතා පවසා සිටියේය. 
මීට අමතරව, අය වැය තුළින් බස් රථ කර්මාන්තයට අදාළ සේවා සහ භාණ්ඩවල මිල ඉහළ දැමීමට එරෙහිව සහ දුම් පරීක්ෂණ ගාස්තුවට අමතරව රුපියල් 5000 ක මුදලක් අය කිරීමට එරෙහිව අද (14දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට අඛණ්ඩව වර්ජනයක් සිදු කරන බව අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ඊයේ (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ එම සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා සඳහන් කළේ, බස් හිමියන්ට අයවැය තුළින් ඇති කළ ගැටලු විසඳන තෙක් දුරගමන් සේවා, කෙටි ගමන් සේවා සහ අධිවේගී මාර්ගවල ගමන් කරන බස්රථ සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.
අදාළ ගැටලුවලට විසඳුම් ලබාදෙන්නැයි ආණ්ඩුවට දින 14 ක කාලයක් ලබා දී තිබූ බවත්, එහෙත් එම දින 14 තුළ අදාළ ගැටලුවට විසඳුමක් නොලැබුණු බවද සරත් කුමාර මහතා සඳහන් කළේය.
අයවැය තුළින් බස් හිමියන් සහන ඉල්ලා සිටියද අයවැය තුළින් කිසිදු සහනයක් ලබා නොදුන් බවත්, එහෙත් දුම් ගාස්තුවට අමතරව රුපියල් 5,000 ක මුදලක් අය කරගැනීම, ලීසිං පහසුකම බැංකුවලින් ඉවත් කර පෞද්ගලික අංශයට පැවරීම, ජාතිය ගොඩනැගීමේ බද්ද ඉහළ දැමීම සහ ලීසිං සීමාව 70෴ ක් කිරීම ආදායම බලපත්‍ර ගාස්තු ඉහළ දැමීම ආදිය සිදු කළ බවද පවසා සිටියේය.
මෙම ගැටලුවට විසඳුම ලැබෙන තෙක් බස්රථ සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගය දියත් කරන බවත්, වැඩ වර්ජනය නිසා විභාගයට මුහුණදෙන දරුවන් අපහසුතාවට පත්වුවහොත් එහි සම්පූර්ණ වගකීම රජය බාරගත යුතු බවද හෙතෙම සඳහන් කළේය.

 



Recommended Articles