කරාපිටිය රෝහලෙන් විශ්ව කර්ම සැත්කමක්


මියගිය කලල දෙකක් සහිත ගෙඩියක් තම මුඛයෙහි හටගෙන ඉපදුණු දැරියක බේරාගැනීමට අතිශය දුර්ලභ සැත්කමක් සිදුකළ බව කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සඳහන් කරති.

ගාල්ලේ පදිංචි මවකට පසුගිය ඔක්තෝබර් 26 වැනිදා මේ දැරිය උපත ලබා ඇත්තේ මහමෝදර රෝහලේදීය. දරු ගැබ පරීක්ෂාකළ විශේෂඥ වෛද්‍යවරුන් කුස තුළ සිටින දරුවාගේ මුහුණේ කිසියම් ව්‍යාකූල තත්ත්වයක් තිබෙන බවත්, එය ඇතැම් විට අසාමාන්‍ය ලෙස වර්ධනය වූ ගෙඩියක් විය හැකි බවත් අනුමාන කර තිබිණි. පසුව දරුවා සිසේරියන් සැත්කමක් මගින් බිහිවී ඇත.

දරුවාගේ මුඛයේ තිබූ ගෙඩිය වැනි කොටස හේතුවෙන් කට සම්පූර්ණයෙන්ම විවර වී තිබිණි. මේ හේතුවෙන් දරුවාට හුස්ම ගැනීමට අපහසු වූ බවත්, මවුකිරි උරා බීමට කිසිසේත්ම නොහැකි වූ බවත් වෛද්‍යවරු පවසති. ඒ හේතුවෙන් උදරයට බටයක් දමා දරුවාට මවුකිරි සපයා තිබුණි.

නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ දැරිය කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා ශල්‍ය විශේෂඥ වෛද්‍ය එස්. කස්තුරි මහතාට යොමුකර ඇත. වෛද්‍ය කස්තුරි මහතා විසින් මුඛ හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩී.කේ. ඩයස් මහතාට දරුවා යොමුකරිණි. වෛද්‍යවරුන්ගේ තීරණය වූයේ හැකි ඉක්මනින් ශල්‍යකර්මයක් සිදුකර ගෙඩිය ඉවත් කළ යුතු බවයි. ඒ අනුව දැරිය ඉපදී දින තුනකට පසු ගෙඩිය ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකෙරිණි.

ශල්‍ය කර්මය සඳහා දැරිය නිර්වින්දනය කිරීම කරනු ලැබුවේ විශේෂඥ නිර්වින්දන වෛද්‍ය ප්‍රශාන් කුරේ මහතා විසිනි. සිහිනැති කිරීම විශාල ගැටලුක් වී තිබිණි. දින තුනක් වයසැති දරුවෙකු නිර්වින්දනය කිරීම සාමාන්‍යයෙන් සිදුකරන්නක් නොවේ. එමෙන්ම දරුවාගේ මුඛයේ ගෙඩිය ඉවත්කිරීමට සිදුවන බැවින් ශ්වසන උපකරණ සවිකිරීමද ගැටලුවකි.

කෙසේ වෙතත් ඒ අභියෝගය ජයගත් වෛද්‍යවරු අවසානයේ පැය එකහමාරක සැත්කමකින් දරුවාගේ මුඛයේ තිබූ ගෙඩිය ඉවත් කළහ. මෙය මැචුවර් ටෙරටෝමා යනුවෙන් හදුන්වන ගෙඩියක්යැයි වෛද්‍යවරුන් අනුමාන කර තිබිණි. එසේ වුවද එය ඉවත්කළ පසු දැකගන්නට ලැබුණේ දරුවාගේ මුඛයේ තිබී ඇත්තේ වර්ධනය වීම අතරමග නැවතී ගිය තවත් නිවුන් දරුවකුගේ කලලයක් බවයි. එය වැඩිදුර පර්යේෂණ සදහා වෛද්‍ය පර්යේෂණ ආයතනයට යැවූ පසු දැනගන්නට ලැබී ඇත්තේ ගෙඩියක් සේ තිබී ඇත්තේ එක් කලලක් නොව තවත් දරුවන් දෙදෙනකුගේ කලල බවයි.

ශල්‍යකර්මයෙන් පසු නිරෝගී සුවයෙන් සිටින දැරිය සිය මව සමග රෝහලෙන් පිටව ගිය බවද කරාපිටිය රෝහලේ වෛද්‍යවරු සඳහන් කරති. 



Recommended Articles