සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ සත්කාරක ද.අප්රිකානු ක්රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලියේ දෙවැනි හෙවත් අවසන් ටෙස්ට් ක්රිකට් තරගය අද (21 වැනිදා) ද.අප්රිකාවේ පෝර්ට් එලිසබෙත් පිටියේදී පැවැත්වේ. ඩර්බන්හි පැවැති පළමු ටෙස්ට් ක්රිකට් තරගය එක් කඩුල්ලකින් ජය ගත් ශ්රී ලංකා කණ්ඩායම 1-0ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති.
පළමු තරගයට පෙරාතුව අප සඳහන් කර සිටියේ ඩර්බන් පිටියේදී ශ්රී ලංකා කණ්ඩායමට යමක් කළ හැකි බවයි. එමෙන්ම ඒ සඳහා දිමුත්ගේ වාසනාව මෙන්ම දඟ පන්දු යවන්නන්ද ක්රියාත්මක විය යුතු බව අප සඳහන් කර සිටියේය. කුසල් පෙරේරාගේ විශිෂ්ට ඉනිමත්, ධනංජයගෙන් සහ විශ්වගෙන් කුසල්ට ලැබුණු අනගි සහායත්, විශ්ව සහ ඇඹුල්දෙණිය පන්දුවෙන් දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසාත් පළමු තරගයේදී එක් කඩුල්ලක තියුණු ජයක් ශ්රී ලංකා කණ්ඩායම හිමිකර ගත්තද අද තරගය ශ්රී ලංකා කණ්ඩායමට ඉතා අපහසු තරගයකි. යම් හෙයකින් ශ්රී ලංකා කණ්ඩායම අදින් ඇරැඹෙන දෙවැනි තරගය ජයග්රහණයකින් හෝ ජය පැරදුමෙන් තොරව අවසන් කර ගතහොත් එය ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රහණයකි. එය හිතන තරම් පහසු කටයුත්තක් නොවේ. මන්ද පෝර්ට් එළිසබෙත් පිටියේ වේගය සහ ඉපිලීම ඩර්බන් පිටියට වඩා වැඩි බැවිනි.
දෙවැනි තරගයට පෙරාතුව පැවැති පුහුණුවීම් අතරතුර කුසල් මෙන්ඩිස් ආබාධයට ලක්වුවද ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්, ඔහු අද තරගයට ක්රීඩා කරන්නේද නැද්ද යන්න අද උදෑසන තීරණය කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය ඊයේ (20 වැනිදා) සඳහන් කර සිටියේය.
කුසල් මෙන්ඩිස් අද තරගයට ක්රීඩා නොකරන්නේ නම් එම අවස්ථාව ඇන්ජලෝ පෙරේරාට හිමිවනු ඇතැයි අපගේ විශ්වාසයයි. ඒ අනුව මෙන්ඩිස් ක්රීඩා කළ අංක හතර ස්ථානයේ කුසල් පෙරේරාත්, අංක 5 ස්ථානයේ ධනංජය සිල්වාත්, අංක 6 ස්ථානයේ ඇන්ජලෝ පෙරේරාත් ක්රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතී. එහෙත් අංක 5 ස්ථානයේ ක්රීඩා කරමින් කුසල් පෙරේරා සාර්ථක වූ බැවින් ධනංජය ද සිල්වා අංක හතරේ ස්ථානය ක්රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතී. එසේ වුවහොත් නැවත වරක් පරීක්ෂාවට ලක් වන්නේ ධනංජය සිල්වාය. මන්ද ඉතා අපහසුවෙන් එක් ස්ථානයක ස්ථාවර වීමට දැඩි උත්සාහයක් දරන ධනංජය ක්රම ක්රමයෙන් එහි ස්ථාවර වනවිට නැවත වරක් ඉදිරිපෙළ පිතිකරුවෙකු ලෙසින් යොදා ගනිමින් පරීක්ෂාවට ලක් කිරීම නිසාය. නිරෝෂන් දික්වැල්ලට අංක හය ස්ථානය ක්රීඩා කිරීමට අවස්ථාව ලබා දී ඔහුට ටෙස්ට් පිතිකරුවෙකු ලෙසින් සාර්ථක වන්නට අවස්ථාවක් සලසා දුන්නද දික්වැල්ලට සුදුසුම ස්ථානය අංක හත ස්ථානය බව අපගේ විශ්වාසයයි. එක්දින ආරම්භක පිතිකරුවෙකු ලෙසින් සාර්ථක වුවද ඔහු තවමත් ටෙස්ට් පිතිකරුවෙකු ලෙසින් සාර්ථක වී නොමැත.
ද.අප්රිකානු කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වන වර්නන් ෆිලන්ඩර් පළමු තරගයේදී ආබාධයට ලක් වීම නිසා විආන් මුල්ඩර් අද ද.අප්රිකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගනු ඇතැයි වාර්තා වේ. මුල්ඩර්ද තුන් ඉරියව් ක්රීඩකයෙකු බැවින් ෆිලන්ඩර්ගේ ස්ථානයට සුදුසුම ක්රීඩකයා ඔහුයි.
පළමු තරගය පැවැති ඩර්බන් පිටියේදී ද.අප්රිකානු වේග පන්දු යවන්නන්ට එතරම් සහායක් නොලැබුණද ශ්රී ලංකා පිතිකරුවන් පීඩනයට ලක් කරමින් කෙටි පන්දු යැවීමට ඔවුන් කිසිදු පැකිළීමක් නොදැක්වීය. එහෙයින් පෝර්ට් එළිසබෙත් තණතිල්ල වේගයක් සහ ඉපිලීමක්ද ඇති බැවින් පළමු තරගයට සාපේක්ෂව තියුණු පන්දු යැවීමක් ද.අප්රිකානු වේග පන්දු යවන්නන්ගෙන් අපේක්ෂා කළ හැකිය. එය ශ්රී ලංකා පිතිකරුවන්ට හිතකර තත්ත්වයක් නම් නොවේ. කෙසේ වෙතත් ද.අප්රිකාව වෙනුවෙන් ඩීන් එල්ගා සහ හෂීම් අම්ලා අසාර්ථක වීම ඔවුන්ට පාඩුවකි.