අයි.සී.සී.ය ශ්‍රී ලංකාව සාමාජිකත්වයෙන් ඉවත් කරනවා- ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු විධායක කමිටු සාමාජික සුමිත් පෙරේරා
එළැඹෙන මස 22 දා සිට 26 දා දක්වා බාබඩෝස්හි පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමේදී අයි.සී.සී. යේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අහිමි කිරීමට තීරණයක් ගැනීමේ සූදානමක් පවතින බව කළුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු විධායක කමිටු සභාපති සුමිත් පෙරේරා 'අද' පුවත්පතට පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලනය අතුරු කමිටුවක් යටතට පත්කිරීම මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇතැයි එහිදී ඔහු සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සුමිත් පෙරේරා මහතා,
"මේ හැමදෙයකටම පවතින රජයන් සම්බන්ධයි. පසුගිය රජය ආවා බිලියන ගණනක් ණය වුණා. සාමාජිකයෝ ලෙස පත්වුණ අපිට තමයි ඒ ඔක්කොම ගෙවන්න වුණේ. මම හිතන්නෙ දේශපාලනය ක්‍රීඩාවෙන් අයින් වෙන්න ඕන. ඒ අයට බලයක් ඇතිවුණාම ඒ අයගේ සංකල්ප ගේනවා. දැන් වුණෙත් ඒකයි.
අපි සත පහක වංචාවක් කරලා නෑ. මම ක්‍රිකට් ආයතනයෙන් වතුර බෝතලයක්වත් බීලා නෑ. ගෙදරින් කන්න ගෙනියන්නේ. විධායක කමිටු රැස්වීමක් තිබුණොත් මම ඒ අයටත් කැවුම් කිරිබත් ගේනවා. අපිව දොට්ට දාලා ඒ අයට හිතවත් කට්ටියක් දැම්මා. මේක කරගෙන යන්න.
ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළා. අගමැතිතුමා අතුරු කමිටුවක් දැම්මා. විධායක කමිටුවේ මාත් හිටියා. මේක පත්කළේ නීතියට පටහැණිවයි. ඡන්දයක් හම්බවෙන්නේ නෑ. මිලියන 300ක ණයක් ගත්තා. අපි හොරුයි කියලා කරගෙන ගිය දේවල් නවත්තලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව, ක්‍රීඩා නීතිය, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙන්නේ. (අතුරු කමිටුව පත්කිරීමෙන්)
ඉතින් සාමාජිකත්වය නැති වෙන එක අහන්නත් දෙයක් නෑනේ. මම නම් කියන්නෙ අහෝසි කරන්න ඕන මේක. ලබන මාෙස පැවැත්වෙන අයි.සී.සී. විධායක රැස්වීමේදී මේ ගැන තීන්දුවක් ගන්නවා.
පාකිස්තානයට, බංග්ලාදේශයට මේ දේ වුණා. මේක ප්‍රශ්නයක්. මෙහෙම ගියොත් ලංකාවේ ක්‍රිකට් නැතිවෙනවා. අයි.සී.සී. එකට ගියාට මොකක්වත් ප්‍රශ්න විසඳිලා නෑ. එහෙම වුණානම් අඩුම තරමේ සල්ලි ටිකවත් දෙන්න ඕනනේ. මේ අතුරු කමිටුව ගන්න සල්ලි අපි ගෙවන්නේ නෑ කියලයි තීරණය කරලා තියෙන්නේ" යැයි පැවසීය.
එක එක කටකතා යනවා, එහෙම එකක් නෑ - - ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා
කෙසේ වෙතත් මේ පිළිබඳව අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එවැනි කිසිම ආකාරයක ගැටලුවක් නොමැති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපාන කුමානාකාරයේ ගැටලුවක් තිබුණත් ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට කටයුතු කරන බවත් විවිධ කටකතා පැතිරවීමට උත්සාහ කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
" මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවානම් අපි මාධ්‍ය නිවේදනයක් එවනවා. ක්‍රිකට් ආයතනයට මොකක්හරි ගැටලුවක් වෙන දෙයක් තියෙනවානම් අපි දන්වනවා. එක එක කටකතා යනවා. ඒවා අපිට බලපාන්නේ නෑ. එහෙම එකක් නෑ. එහෙම මොන කතාවක්වත් නෑ" යැයි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසීය.
එසේම අතුරු කමිටු සාමාජික නුෂ්කි මොහොමඩ් මහතාගෙන් විමසූ විට ඔහුද සඳහන් කළේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය ඉවත්කිරීමට තීරණය කර ඇති බවට කිසිඳු ආකාරයක පුවතක් වාර්තා නොවූ බවයි. එසේම ක්‍රිකට් ආයතනයට එවැනි ආකාරයක දැනුම් දීමක් අයි.සී.සී.යෙන් කර නැතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.