එංගලන්ත හිටපු ක්රිකට් ක්රීඩක ඇන්ඩෘ ෆිලින්ටොෆ් සිය ක්රිකට් දිවිය අලළා ඇන්ඩෘ ෆිලින්ටොෆ් දෙවැනි ඉනිම නමින් ස්වයං චරිතාපදානයක් එළි දැක්වීය. මෙහි සැලකිය යුතු කොටසක් ශ්රී ලංකාවේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්රීඩක මුත්තයියා මුරදරන් වෙනුවෙනුත් වෙන්ව තිබේ. එහිදී මුරලි හා ෆ්ලින්ටොෆ් අතර සිදුවූ අපූරු පිති මාරුවක් පිළිබඳව මෙන්ම එංගලන්ත කණ්ඩායම මුරලිට දැක්වූ බිය ඔහු හොඳින් විග්රහ කර තිබේ. මේ ෆ්ලින්ටොෆ්ගේ දෙවැනි ඉනිමේදී මුරලි වෙනුවෙන් වෙන්ව තිබෙන ඉඩයි.
" මම එංගලන්ත කණ්ඩායමට එක් වුණු මුල් දිනවල එවකට කණ්ඩායමේ නායකත්වය දැරූ නසාර් හුසේන් සමග යම් තරමක ගැටලුකාරී තත්ත්වයක් පසුවිය. එක් අවස්ථාවක එය නිශ්චිත වශයෙන්ම මාගේ වාසනාව තීරණය කරන තත්ත්වයක් දක්වා වර්ධනය වුණා.
මුරලිදරන් මාගේ හොඳ මිත්රයෙකු වූ අතරම අපගේ මිත්රත්වය අප දෙදෙනා ලැන්කැෂයර් ප්රාන්ත කණ්ඩා මට ක්රීඩා කළ කාලය දක්වා දිවෙනවා.
එංගලන්ත - ශ්රී ලංකා තරගාවලියට පෙර මම මුරලිදරන්ට කෙටි පන්දු නොයවන බවටත්, මුරලිදරන් මට ඔහුගේ දුෂ්රා පන්දුව නිතර නිතර නොඑවන බවටත් අසන්නට ලැබුණා. ඇත්ත වශයෙන්ම මට පෙනුණෙ එය තරමක නරක දෙයක් ලෙසින්.
තරගාවලියේ එක තරගයකට පෙර දින රාත්රී ආහාර ගනිමින් සිටියදී මා ඇමැතූ මුරලිදරන් 'ෆ්රෙඩ්, මට සෙල්ලම් කරන්න පිත්තක් නැහැ. ඔබේ පිත්තක් මට දෙන්න පුළුවන්ද?' කියලා ඇසුවා. එවකට අප දෙදෙනාගේම පිති සඳහා අනුග්රහය දැක්වූයේ එකම අනුග්රාහකයෙකුයි. බැලූ බැල්මට මුරලිගේ ඉල්ලීම ඉටු කිරීම දුෂ්කර බව මට පෙනුණා. ඊට හේතුව මුරලි සමග කතා කිරීම පවා නසාර් හුසේන් අපට තහනම් කර තිබීමයි. ඇත්තෙන්ම අප මුරලිට බියවී සිටියා.
තරගය පැවැති දින උදෑසන නැවත වරක් මා වෙතට පැමිණි මුරලි තමන්ට ක්රීඩා කිරීම සඳහා පිත්තක් ලබාදිය හැකි දැයි විමසුවා. එම අවස්ථාවේදී ඊට තරමක් එහායින් සිටි නසාර් මා දෙස රවා බැලූවා. ඇත්ත වශයෙන්ම ඔහුගේ මුහුණේ තිබුණේ අසතුටුදායක පෙනුමක්. එහෙත් සෙමින් මුරලි ඇමැතූ මම, ‘අපි ක්රීඩා පිටියට ගියාට පස්සෙ එංගලන්ත කණ්ඩායමේ විවේකාගාරයට යන්න. සද්ද නැතිව පිටුපස දොරින් ඇතුළු වෙලා මගේ පිතිවලින් හොඳ එකක් ගන්න... ඒත් ඒ බව කාටවත්ම කියන්න එපා' යනුවෙන් හැකි ඉක්මනින් පැවැසුවා.
තරගය දිගටම පැවැත් වෙද්දී අපි ශ්රී ලංකා කණ්ඩායමේ කඩුලු කිහිපයක් අත්පත් කරගත්තා. එවිට සුපුරුදු ලෙසම පසුපෙළ කඩුලු දවා ගැනීමට පන්දු යැවීම සඳහා නසාර් හුසේන් මා කැඳවූවා. අපේ ඉලක්කය වූයේ මගේ පිත්තෙන් පන්දුවට පහර දෙමින් සිටි මුරලියි.මේ අතර මා වෙතට පැමිණි නසාර්, අපේ සැලසුම් ගැන කතා කරන්නට වුණා. ‘මට ඕනේ ඔයාගේ කෙටි පන්දු ඔහුගේ ශරීරය දිහාට යොමු කරන්න' යැයි නසාර් කීවා. එය තරමක ප්රවේසමෙන් කළ යුතු දෙයක්. විශේෂයෙන්ම මුරලිට සහ මට බවුන්සර් සහ දුෂ්රා පන්දු යැවීමට උපදෙස් දීම ප්රවේශමෙන් කළ යුතු දෙයක්.
'නසාර්, මම හිතන්නෙ මට යෝකර් පන්දුවකින් වඩාත් පහසුවෙන් ඔහුව දවා ගන්න පුළුවන්' කියා මම පැවැසුවා.‘නෑ ඔයා මම කිව්ව දේ කරන්න' නසාර් කිවුවා. ‘මට ඕනේ ඔයා එයාගේ දිහාවට පන්දු යවන්නයි' යැයි නසාර් කිවුවා. නෑ... මම හදන්නෙ කෙළින්ම ඔහුගේ කඩුල්ලට පන්දුව යවලා මගේ රාජකාරිය කරන්න.
පසුව මම දිවගොස් නසාර්ගේ උපදෙස්වලට ඍජුවම විරුද්ධ වෙමින් මුරලිට යෝකර් පන්දුවක් යැවීමට උත්සාහ කළා. එහෙත් කඩුල්ලේ වැදෙනවා වෙනුවට පන්දුව වැදුණේ මුරලිගේ පිත්තේ මැද හරියේය. නෑ, නෑ පන්දුව වැදුණෙ මුරලි පහර දෙමින් සිටි මගේ පිත්තේ මැද හරියෙයි.
නසාර් ඔහුගේ දෑතේ සියලුම ඇඟිලි මා වෙත යොමු කළා. ඔහු මාව පන්දු යැවීමෙන් ඉවත් කළා. පසුව මුරලි අප කණ්ඩායමේ අනෙක් පන්දු යවන්නන්ට එළව එළවා පහර දීමට පටන් ගත්තා.එක් පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමෙන් අනතුරුව මුරලි මා සහ නසාර් මැද්දෙන් ඇවිද ගියේ පන්දුවට පහර දෙන අන්තය වෙනස් කිරීමටයි. මුරලිගේ පිත්තේ ඇති මගේ නමේ මුල් අකුරු දෙස නසාර් බලා සිටිනු මට දකින්නට ලැබුණා. ඔහු සිටියේ තරහින් පුපුරා යන්නට ඔන්න මෙන්න කියලා. මුරලිගේ මුහුණේ තිබුණේ ලොකු සිනහවක්...
'ෆ්රෙඩ් මේක නම් මරු පිත්තක් යාළුවා' මුරලි කිවුවා.
ජොශුවා නේතන් කරුණාරත්න (ඩේලිමේල් ඇසුරෙනි)