වර්තමාන ක්‍රිකට් පිටියේ සිටින හොඳම පන්දු රකින්නා දකුණු අප්‍රිකාවේ ඒ.බී. ඩිවිලියර්ස් බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජොන්ටි රෝඩ්ස් ප්‍රකාශ කළේය.
එසේම පන්දු රැකීමේදී පන්දුව නවතා ගැනීම, උඩපන්දු රැකීම හා පන්දුව යොමුකිරීම වඩාත් වැදගත් බවත් වර්තමානයේ පන්දු රැකීම ක්‍රිකට් ක්‍රීඩාවේ තෙවැනි විනය බවත් ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අරයුමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වෙනුවෙන් පන්දු රැකීමේ පුහුණු සැසියක් පැවැත්වීම සඳහා දින 10ක කාලයකට ශ්‍රී ලංකාවට පැමිණි ජොන්ටි රෝඩ්ස් අද (03දා) මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. සිය පුහුණු සැසිය අවසන් කර ජොන්ටි රෝඩ්ස්, අනිද්දා (05දා)දිවයිනෙන් පිටත් වීමට නියමිතය.
එසේම පන්දු රකින්නන් පන්දුවට පැමිණීම ඉතාමත් වැදගත් බවත් පන්දු රකින්නන්ගේ ශරීරික යෝග්‍යතාවද පන්දු රැකීමේදී වැදගත් බවත් ඔහු පෙන්වා දුන්නේය.
"මම ශ්‍රී ලංකාවට ආවේ පන්දු රැකීමේ තාක්ෂණික ක්‍රම පිළිබඳව අවධානය යොමු කිරීමටයි. (ක්‍රීඩකයන්) පන්දුවට පැමිණීම කියා දීම මගේ රාජකාරියක් නෙමෙයි. අපේ කාලේ වගේ නෙමෙයි දැන් පන්දු රැකීම ගැන වැඩි අවධානයක් යොමු කරනවා. පන්දුවට වේගයෙන් පැමිණීම වැදගත්. එය හොඳට කරනවානම් මට උඩපන්දු රැකීම උගන්වන්න පුළුවන්.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඇත්තටම උත්සාහවන්තයි. පන්දු රැකීමේ තාක්ෂණික ක්‍රම වෙනස් වෙලා තියෙනවා. හතරේ සීමාවේ ආරක්ෂාව සැලසීම ඉතාමත් වැදගත්. දැන් පිතිකරුවන් වැඩි වශයෙන් හයේ පහරවල් එල්ල කරනවා.
උඩපන්දුවක් රැකගත්තොත් එය ලකුණු 6 ක් ආරක්ෂා කිරීමක් වෙනවා. මේ කාලෙ මම හැමවෙලේම කියන දෙයක් තිබෙනවා. පන්දුවාර පනහේ හෝ විස්සේ තරග වුණත් ඔබ එක ලකුණක් ආරක්ෂා කළොත් ඔබගේ සේවය ඔබ කරලා තියෙනවා. මම ක්‍රීඩා කරනකොට මම පිත්තෙන් ලකුණු රැස්කරන්නෙ 10ක් පමණයි. නමුත් මම තවත් ලකුණු 20ක් ආරක්ෂා කරනවා (පන්දු රැකීමෙන්). ලකුණු පුවරුවේ මගේ නම ඉදිරියෙන් තියෙන්නේ ලකුණු 10යි.
පන්දු රැකීමේදී වයස ප්‍රශ්නයක් නෙමෙයි. බලන්න පාකිස්තානයේ මිස්බා උල් හක් ඔහු හොඳින් ක්‍රීඩාවේ යෙදෙනවා. ආබාධවලින් තොරව ශාරීරික යෝග්‍යතාව පවත්වාගෙන යාමයි වැදගත්." යැයි රෝඩ්ස් එහිදී සඳහන් කළේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ