අත්දැකීම් සහිත ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කණ්ඩායමට ඇතුළත් නොවුනත් දක්ෂ නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තමන් සතු බවත්, කණ්ඩායම හොඳ පුහුණුවකින් තරගාවලියට අවතීර්ණ වන බවත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක ෆාසිල් මරීජා පැවසීය.
පිලිපීනයේදී පැවැත්වෙන ආසියානු ෆයිව් නේෂන්ස් රග්බි තරගාවලිය සඳහා පිටත් වීමට පෙර පෙරේදා (03දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී මරීජා මෙම අදහස් දක්වා සිටියේය. ශ්‍රී ලංකා කණ්ඩායමට නිල ඇඳුම් (jersey) බෙදාදීම මූලික කරගනිමින් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී 'අද' පුවත්පත වෙත වැඩිදුරටත් අදහස් දැක්වූ ෆාසිල්, "තරගාවලිය සඳහා අපි සති තුනක පමණ කාලයක් පුහුණුවීම් සිදු කළා. අන්තර් සමාජ රග්බි තරගාවලිය අවසන් වූ වහාම මෙම තරගාවලිය ආරම්භවීම අපිට වාසියක්. අත්දැකීම් සහිත ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කණ්ඩායමට ඇතුළත් නොවුණත් දක්ෂ නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත්ව සිටින නිසා කණ්ඩායමට එතරම් බලපෑමක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ප්‍රතිවාදී කණ්ඩායම් ගත්තොත් අපි ඔවුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් කුඩා වුවත්, වේගය අතින් ඔවුන්ට වඩා ඉහළ තැනක සිටිනවා. ඒ නිසා තරගාවලියේදී අපි හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා" යනුවෙන් පවසා සිටියේය.
තරගාවලිය සඳහා සහභාගි වන 28 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පෙරේදා (03) පිලිපීනය බලා පිටත් විය. මෙම සංචිතයට නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඇතුළත් කර තිබේ. ඒ අතර හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ගනුක දිසානායක, දුලාජ් පෙරේරා, ජේසන් මෙල්ඩර්, මහනුවර ක්‍රීඩා සමාජයේ බුවනෙක උඩන්ගමුව, සී ආර් ඇන්ඩ් එෆ් සී. ක්‍රීඩා සමාජයේ කාංචන රාමනායක, යුද හමුදා ක්‍රීඩා සමාජයේ රන්දික අල්විස්, නාවික හමුදා ක්‍රීඩා සමාජයේ දුලංජන විජේසිංහ ඒ අතර කැපී පෙනෙන ක්‍රීඩකයෝ වෙති.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස දකුණු අප්‍රිකානු ජාතික ජොහාන් ටේලර් මහතා කටයුතු කරයි. මහනුවර ක්‍රීඩා සමාජයේ කලක් (2014/15) ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ටේලර් අන්තර්ජාතික රග්බි කමිටුවේ (අයි.ආර්.බී.) තෙවැනි මට්ටමේ (level 3 ) පුහුණුකරුවෙකි. තරගාවලියේ පළමු කාණ්ඩයේ තරග හෙට (06දා) ආරම්භ වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්තානය සමගින් එදින තරග වැදීමට නියමිතය.
මෙම අවස්ථාවට ජාතික රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාද සහභාගී විය.