ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ලීඩ්ස්හි හෙඩින්ග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ අද (19දා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි සත්කාරක එංගලන්ත කණ්ඩායම පන්දුවාර 53ක් අවසනදී කඩුලු 05 ක් දැවී ලකුණු 171 ක් රැස්කරගෙන සිටියේය. තේ පැන් පානය සඳහා අද සන්ධ්‍යාවේ තරගය නතරකිරීමෙන් පසු වර්ෂාව ඇදහැළුණු හෙයින් නියමිත පන්දුවාර සංඛ්‍යාව යොමුකිරීමට නොහැකි විය.
තරගය අත්හිටුවන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් ලකුණු 71 ක් හා ජොනී බෙයාස්ටෝව් ලකුණු 54 ක් රැස්කරගෙන සිටියහ.
ශ්‍රී ලංකා නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදීම සඳහා නායක ඇලෙස්ටියාර් කුක් සමගින් ඇලෙක්ස් හේල්ස් පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 49 ක සබඳතාවක් ගොඩනගා සිටියදී, කුක්ගේ ඉනිම අවසන් විය. ලකුණු 16 ක් රැස්කරගෙන සිටි කුක්, දසුන් ශානකගේ පන්දුවක් හමුවේ කඩුලු රකින දිනේෂ් චන්දිමාල් වෙත උඩපන්දුවක් ලබාදී දැවී ගියේය.
ඉන් අනතුරුව පිටියට පිවිසි නික් කොම්ටන්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට නොහැකිවූ අතර, ඔහු ස්ලිප්හි පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්නගේ විශිෂ්ට උඩපන්දු රැකීම හමුවේ පිටියෙන් ඉවත්ව ගියේය. එම කඩුල්ලේද හිමිකරුවා වීමට දසුන් ශානකට හැකිවිය.
පසුගිය තරග කිහිපයේ එංගලන්ත ජයග්‍රහණයන්හි ප්‍රධාන කොටස්කරුවෙකු වූ ජෝ රූට්ටද මෙවර සාර්ථක වීමට දසුන් ශානක ඉඩලබා නොදුන් අතර, ඔහුද කුසල් මෙන්ඩිස් වෙත උඩපන්දුවක් ලබාදී ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. ඉන් අනතුරුව පිටියට පිවිසි ජේම්ස් වින්ස් (09) හා බෙන් ස්ටෝක්ස් (12) දෙදෙනාටද සැලකිය යුතු දක්ෂතාවක් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නෝ ඉඩ ලබානොදුන්හ. ඒ අනුව එංගලන්ත ඉනිම ලකුණු 83 ක් (පන්දුවාර 83.5) වනවිට ඔවුන්ට පිතිකරුවන් පස්දෙනෙකු අහිමිවී තිබුණි.
කෙසේ නමුත් හේල්ස් සමගින් එක්ව ඉනිම ගොඩනැගීම භාරගත් ජොනී බෙයාස්ටෝව්, හය වැනි කඩුල්ලට ලකුණු 88 ක සබඳතාවක් ගොඩනගා ඉනිම අවදානම් තත්ත්වයෙන් ඉවතට රැගෙන ආවේය.
ඇන්ජලෝ මැතිව්ස් ඊයේ (19දා) පන්දු යවන්නන් හයදෙනෙකු යොදාගත් අතර, ඔවුන්ගෙන් සාර්ථක වූ දසුන් ශානක කඩුලු 03 ක් බිඳහෙළීමට සමත්විය.
මෙම තරගයේදී ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගැනීමට දසුන් ශානක සමත්විය. තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන දසුන්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 134 වැනි ටෙස්ට් ක්‍රීඩකයාය. මීගමුව මාරිස්ටෙලා විදුහලේ හා මීගමුව ශාන්ත පීතර විදුහලේ ආදි සිසුවෙකු වන 24 හැවිරිදි ශානක, කොළඹ සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) නියෝජනය කරයි.
ශානකට අමතරව ජේම්ස් වින්ස් ද ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනාගත් අතර, ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 660 වැනි ක්‍රීඩකයා ලෙස එරට වාර්තා අතරට එක්විය.
හෙට (20දා) තරගයේ දෙවැනි දිනය වන අතර, තරගය මෙරට වේලාවෙන් ප.ව. 3.30 ආරම්භ වේ.
ලකුණු පුවරුව