ස්කොට්ලන්තය 59 – 27 ශ්‍රී ලංකාව
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මේ දිනවල පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (12දා) මුහුණදුන් තරගයෙන්ද ස්කොට්ලන්තය හමුවේ 59 – 27 ක් ලෙස ගෝල 32කින් පරාජයවීමට සිදුවිය.
මෙහි පළමු වටය ගෝල 14 – 07 ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එහි දෙවැනි වටය ගෝල 11 – 04 ක් ලෙස පරාජය වූහ. තෙවැනි වටයේදී සටන්කාමී තරගයක් ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එම වටය ගෝල 15 – 09 ක් ලෙස පරාජය වූ අතර, තීරණාත්මක අවසන් වටය ගෝල 19 – 07 ක් ලෙස පරාජය වූහ.
කෙසේ නමුත් ලෝක දැල්පන්දු ශ්‍රේණිගතකිරීම්වල 11 වැනි ස්ථානයේ පසුවන ප්‍රබල ස්කොට්ලන්තය හමුවේ එම ශ්‍රේණිගතකිරීම්වල 22 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ මෙම පරාජය තරගාවලියේ මේ දක්වා ලැබූ අඩුම ලකුණු පරතරයකින් ලැබූ පරාජයද විය. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ප්‍රතිවාදී කණ්ඩායමක් මේ දක්වා රැස්කළ අඩුම ගෝල (59) සංඛ්‍යාවද එය විය.
ශ්‍රී ලංකාව මූලික වටයේදී ලෝක ශ්‍රේණිගතකිරීම්වල 15 වැනි ස්ථානයේ පසුවූ සිංගප්පූරුව හමුවේ කරට කර තරගයකින් පසු (48 - 26) පරාජය වූ අතර, ඉන් අනතුරුව සහභාගී වූ මලාවි (101 - 18) හා දකුණු අප්‍රිකා (89 – 17) කණ්ඩායම් හමුවේ දැවැන්ත පරාජයන් අත්විඳීමට සිදුවිය. දකුණු අප්‍රිකා හා මලාවි කණ්ඩායම් දැල්පන්දු ලෝක ශ්‍රේණිගතකිරීම්වල පිළිවෙළින් 05 වැනි හා 06 වැනි ස්ථානවල පසුවිය.
ඒ අනුව කුසලාන වටයට නැතිනම් අවසන් අටදෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්තාව ශ්‍රී ලංකාවට අහිමි වූ අතර, 9 -16 අතර ස්ථානයක් වෙනුවෙන් ක්රීඩිකිරීමට සිදුවිය. එම වටය ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගතකිරීම්වල 07 වැනි ස්ථානයේ පසුවූ ෆිජී හමුවේ ඊයේ (11දා) තරග වැඳුණු අතර, එම තරගයෙන්ද ගෝල77 – 31 ක් ලෙස පරාජයවිය. කෙසේ නමුත් එම තරගය පරාජය වුවද එය තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලකියයුතු දක්ෂතාවක් ඉස්මතු වූ තරගය එය විය. ඒ අනුව එම දක්ෂතාද ස්කොට්ලන්තයට එරෙහිව අද (12දා) පැවැති තරගයේදී නැවතත් ඉස්මතුවිය.