ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ආන්දෝලානාත්මක පෙරළියක් කළ මුත්තයියා මුරලිදරන්ගේ සමුගැනීමෙන් පසු ක්‍රිකට් ක්ෂේත්රයේ බොහෝ දෙනා විචාර පළකළේ යළි ශ්‍රී ලංකාව තුළ එවැනි පන්දු යවන්නෙකු බිහිනොවනු ඇති බවයි. කෙසේ නමුත් ඒ වනවිටත් ක්‍රිකට් පිටියට පය තබා සිටි ඔහු මුරලිගේ අඩුව පිරිමසමින් එතෙක් මෙතෙක් තරග දිනවන්නෙකු ලෙස සිය දායකත්වය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට ලබාදුන්නේය. ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග කාණ්ඩ ත්‍රිත්වයේම විශිෂ්ටයෙකු වන ඔහු රංගන හේරත්ය. ක්‍රිකට් පිටියේ තම අත්දැකීම් ඔහු අපි හා මෙසේ බෙදාගත්තෙමු.
-
ක්‍රීඩා දිවියේ තිබුණු සැලසුම් හා ඉලක්ක මොනවාද?
මම ගොඩක් ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළා. මුලින්ම කැමැත්ත තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරන්න. මට අවුරුදු 17දී මැලේසියාවේ සංචාරයක් යන්න අවස්ථාව ලැබුණා. ඒ අවස්ථාවේ මට හිතුණා මම ශ්‍රී ලංකා කණ්ඩායමට උනත් ක්‍රීඩා කරන්න හැකියාව තියෙනවා කියලා. ජාතික කණ්ඩායමට තේරුණාට පස්සේ මම හිතුවේ කොහොමද තරග දිනවන්නෙක් වෙන්නෙ හා ඒ වෙනුවෙන් සහාය වෙන්නෙක් වෙන්නෙ කොහොමද කියලා.
-
පොල්ගහවෙල හැදුණු වැඩුණු ඔබ ජාතික කණ්ඩායම දක්වා පැමිණි ගමන්මග මතක් කළොත්?
මම ප්‍රාථමික අධ්‍යපනය ලැබුවේ පොල්ගහවෙල ශාන්ත බර්නාදෙත් විදුහලෙන්. පසුව 06 ශ්‍රේණියේ සිට 08 ශ්‍රේණිය දක්වා නාරම්මල මයුරපාද විද්‍යාලයේ ඉගෙන ගත්තා. එතන තමයි මගේ ක්‍රිකට් දිවියේ ඇරඹුණේ. එම විදුහලේ ලාල් දිනපූර්ණ මහතා මගේ පළමු පුහුණුකරු වුණේ. කෙසේ නමුත් ඉන් පසු මට අවස්ථාව ලැබුණා කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් වෙන්න. ක්‍රිකට් පිළිබඳ ගොඩක් දේවල් මලියදේවයෙන් ඉගෙන ගත්තා. එහිදී මගේ පුහුණුකරු වුණේ රොහාන් වීරසූරිය මහතා. පාසල් පිටියෙන් පසු කුරුණෑගල ක්‍රීඩා සමාජය, කුරුණෑගල තරුණ ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජයන්ටත්, 23 පහළ කෝල්ට්ස් හා එන්.සී.සී. ක්‍රීඩා සමාජයන්ටත් ක්‍රීඩාකරන්න අවස්ථාව ලැබුණා. 1999 වසරෙදී මුවර්ස් ක්‍රීඩා සමාජයට පළමුපෙළ ක්‍රීඩාකරමින් සිටියදී ජාතික කණ්ඩායමට කැඳවීමක් ලැබුණා.
-
ජාතික කණ්ඩායමට එක්වෙන්න කොළඹ අවටම විය යුතු නැති බව ඔප්පුකළ ක්‍රීඩකයෙක් ඔබ. දුර බැහැර සිටින කනිෂ්ඨ ක්‍රීඩකයන්ට ලබාදෙන ආදර්ශය කුමක්ද?
ගොඩක් අය හැම වෙලාවෙම හිතන්නෙ අමාරුයි කියලා පැත්තකට වෙන එක. නමුත් සරලව කීවොත්, තමන්ට අපහසු දේ අපහසුවෙන් ඉදිරියට කරගෙන යා යුතුයි. එවිට තමන්ටම පෙළඹවීමක් ඇති වෙනවා මං ඒ දේ කරනවා කියලා. මොන බාධක තිබුණත් අධිෂ්ඨානය හා කැපවීම මත ඉදිරියට එන්න පුළුවන්. තමන් ඉන්නේ කොළඹද නැත්නම් කොළඹින් පිටද කියලා භේදයක් නැහැ. මාත් ගොඩක් අපහසුතා මැද පැමිණි ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙන්න ආර්ථික අතින් ශක්තිමත් විය යුතුම නැහැ.
-
තරග කාණ්ඩ තුන යටතේම දක්ෂතා දැක්වූ පන්දු යවන්නෙකු ලෙස තරගයෙන් තරගයට අවශ්‍ය පරිදි වෙනස් වෙන්නෙ කොහොමද?
වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුණාම ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරග කාණ්ඩ ත්‍රිත්වයේ භූමිකාව තේරුම්ගන්න ඕන. ලොකු වෙනස්කම් කරන්න හොඳ නැහැ. මම දකින දේ නම් තමන් දැනගන්න ඕන අවස්ථාවට උචිත දේ අනුව ක්‍රීඩාකරන්න. නමුත් එක්දින හා විස්සයි20 තරගවල උද්යෝගය වැඩියි.
-
තරග දිනවන්නෙකු වූ ඔබ නිමාවූ පාකිස්තානු ටෙස්ට් තරගාවලියේ යම් පසුබෑමකට ලක්වුණා?
නිමාවූ ටෙස්ට් තරගාවලියේ පාකිස්තානු පිතිකරුවෝ මට එරෙහිව හොඳින් පහරදුන්නා කියලා. නමුත් තරගාවලිය පරාජය වෙන්න එකම හේතුව මම නෙමෙයි, පන්දු යවන්නෙකු විදියට ක්‍රීඩාකළේ මම විතරක් නෙමෙයි. පන්දුවට පහර දීමෙන්ද අපේ ගොඩක් දුර්වලතා තිබුණා. එමනිසා මගේ පසුබෑමම නෙමෙයි පරාජයට හේතුව. පාකිස්තානු කණ්ඩායමේ අංශ සියල්ලම හොඳින් සිදුවුණා.
-
එළඹෙන ඉන්දීය සංචාරයට කොහොමද මුහුණදෙන්න බලාපොරොත්තු වෙන්නේ?
මේ දිනවල පුහුණුවීම් කරන්නෙත් ඉන්දීය තරගාවලිය වෙනුවෙන්. තව මාසයකටත් අඩු කාලයක් තිබෙන්නේ. මෙම තරගාවලිය ගොඩක් අපහසු තරගාවලියක්. අපි ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්වල පහළින් ඉන්නේ. එමනිසා විශේෂයෙන් අපි බලන්න ඕන කොහොමද ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට එන්නේ කියලා. නිමාවූ පාකිස්තාන තරගාවලියේදී තිබුණු අවස්ථාව ගිලිහී ගියා.
-
ජාතික කණ්ඩායමට එක්වූ නවක දඟ පන්දු යවන්නන්ගේ දක්ෂතා ගැන මොකද හිතෙන්නේ?
මුරලි ක්‍රිකට් පිටියට සමුදෙන කොට ඔහුගේ ස්ථානයේ ලොකු හිඩැසක් තිබුණා. මම හිතන් නැහැ අනාගතයේදීත් සීයයට සීයක් තව කෙනෙකුට ඒ අඩුව පිරිමසන්න පුළුවන් වෙයි කියලා. මටත් එය කරන්න හැකිවූවා කියලා හිතන්නෙ නැහැ. මම හිතන්නෙ නවක පන්දු යවන්නන්ට මුලින්ම ගොඩක් තරග ක්‍රීඩා කරන්න අවස්ථාව ලබාදී අත්දැකීම් දෙන්න ඕන. ඒ අත්දැකීම් එක්ක මම හිතනවා නවකයන්ගේ දක්ෂතා ඉදිරියට එයි කියලා. අවුරුදු 22 හෝ 23 ක්‍රීඩකයෙකුට එකපාරටම අවස්ථාව දීලා මුරලි හෝ මම කරපු දෙයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක වැරැද්දක්. සමහර තරගවල හොඳින් දක්ෂතා නොදක්වන්න පුළුවන්. නමුත් එහෙම කියලා කණ්ඩායමෙන් එළියට දාන එක නෙමෙයි කරන්න ඕන. ක්‍රීඩකයන් ගැන විශ්වාසය තියලා, තරගයක් හෝ දෙකක් නිදහසේ ක්‍රීඩාකරන්න අවස්ථාව ලබා දුන්නොත් මම හිතනවා ඉදිරියේදී අපට හොඳ දඟපන්දු යවන්නෝ බිහිකරගන්න හැකිවෙයි කියලා.
-
නවකයෝ කණ්ඩායමට එක්වන්නේ ජ්‍යෙෂ්ඨයන්ගේ මඟපෙන්වීම මත. ඔබට ලැබෙන ක්‍රීඩකයන් කොහොමද හසුරුවාගන්නේ?
මම අවුරුදු 21, 22 දී මුරලිත් එක්ක ක්‍රීඩාකරද්දී මටත් මේ අත්දැකීම් තිබුණා. මම මුරලිගෙන් අහනවා, ඒ වගේම ඔහුත් මට කියලා දෙනවා එක් එක් තත්ත්වයන් යටතේ කොහොමද පන්දු යවන්නේ කියල. අවශ්‍යම තත්ත්වයේ ක්‍රීඩාකළ යුතු ආකාරය ගැන අවශ්‍ය දැනුම මට මුරලිගෙන් ලැබුණා. එමනිසා මමත් පාකිස්තාන ටෙස්ට් තරගාවලියේදී තරිඳු කෞෂාල්ට ඒ දැනුම ලබාදුන්නා.
-
ඇතැම් ක්‍රීඩකයෝ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරනවාට වඩා විදෙස් ප්‍රාන්ත කණ්ඩායම්වලට ක්‍රීඩා කරන්න සිහින දකිනවා. මෙය හොඳ ප්රවණතාවක්ද?
අද ක්‍රිකට් ක්‍රීඩකයෙකුට අනිවාර්යයෙන් මුදල් අවශ්‍යයි. එමනිසා පසුගියදා තේරී පත් වුණු ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලය ක්‍රීඩකයන්ගේ ගාස්තු වැඩි කරලා ක්‍රීඩකයන්ට හොඳ දෙයක් කළා. එමනිසා අනාගතයේදී විදෙස් ප්‍රාන්තවලට ගිහින් මුදල්වලට ක්‍රීඩා කරන සම්භාවිතාව අඩුවේවි. නමුත් ක්‍රීඩකයන්ට අත්දැකීම් ගන්න ප්‍රාන්ත තරගාවලියක් ක්‍රීඩා කරනවා නම් හොඳයි. එවිට ක්‍රීඩකයන්ට අත්දැකීම් ලැබෙනවා. ඒ වගේම ක්‍රීඩකයෝ හඳුනා ගන්නවා තමන් කවුද, තමන්ගෙන් කණ්ඩායමට ලැබිය යුත්තේ මොනවගේ දායකත්වයක්ද කියලා. රටට වෙන්න ඕන මොකක්ද කියලා.
-
ක්‍රිකට් පිටියෙන් සමුගැනීමක් ගැන හිතලා තිබෙනවාද?
මේ තරගාවලියේ සමුගන්නවා කියලා තවම තීරණයක් ගෙන නැහැ. නමුත් මමත් ඒ දේ අනිවාර්යයෙන් කරන්න ඕන. දැන් මට අවුරුදු 37ක් වෙනවා. එමනිසා මගේ උපරිමයේ හිටියත් යොවුන් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ඇතුළු වෙන්න හිටියොත් ඒ අවස්ථාව මම ලබා දෙනවා. මගෙත් දණහිස් දෙකේ ආබාධයක් තිබෙනවා. 2011 වර්ෂයේ සැත්කමක් කළා. ඉන් පසුවත් එන්නත් විදලා තිබෙනවා. තවමත් ආබාධය 100%ක් සුව නැහැ. ඒ අමාරුකම් තියාගෙන ක්‍රීඩාකරන්නේ. එමනිසා අපහසුතාවක් ආවොත් අමාරුවෙන් හෝ සමුගැනීමක් ගැන හිතන්න වෙනවා. දැනට මම සම්පත් බැංකුවේ සේවය කරනවා.
-
වසර පහළොවකට වැඩි අත්දැකීම් එක්ක ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් දියුණුවට විය යුතු වෙනස්කම් මොනවාද?
පළමු පෙළ තරගවල අපි ක්‍රීඩාකරන්නෙ දවස් තුන. මම හිතනවා ඒක මදි කියලා. මට හැම වෙලාවෙම දැනුණ දෙයක් තමයි ක්‍රීඩකයෙක් තමන්ගේ දක්ෂතා වර්ධනය කරගන්න අනිවාර්යයෙන් සිවුදින තරග ක්‍රීඩාකරන්න ඕන. එවිට තමයි හොඳ පන්දු යවන්නෝ, පිතිකරුවෝ බිහිවෙන්නේ. මම ජාතික කණ්ඩායමට එක්වෙන්න කලින් "ඒ" කණ්ඩායමට ක්‍රීඩා කළා. එවිට සිවුදින තරග ක්‍රීඩා කරන්න වැඩි අවස්ථාවක් ලැබුණා. එමනිසා මම විශ්වාස කරනවා ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් දියුණු වෙන්න සිවුදින තරග හොඳයි කියලා. ඒ වගේම වත්මන් පරිපාලනය ක්‍රිකට් දියුණු කරන්න අලුත් දේවල් ටිකක් කරගෙන යනවා. සමහර තැන්වල අඩුපාඩු තිබෙන්න පුළුවන්. එමනිසා ගොඩක් අය එකතුවෙලා සහයෝගය ලබාදෙනවා නම් එය අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ පිටුවහලක් වේවි.
ඡායාරූප - ශමීර රාජපක්ෂ