ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සහභාගී වී සිටින බංග්ලාදේශ පිලේ පිටදඟ පන්දු යවන අර්ෆට් සනීට සහ වේග පන්දු යවන ක්රීඩක ටස්කින් අහමඩ්ට අන්තර්ජාතික තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමට අන්තර්ජාතික ක්රිකට් සභාව පියවර ගෙන තිබේ.
මේ හේතුවෙන් එම ක්රීඩකයන් දෙදෙනාට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති අතර, ඒ වෙනුවට ක්රීඩකයන් දෙදෙනකු ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්රිකට් සභාවේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ.
බංග්ලාදේශ සංචිතයට වමතින් දඟ පන්දු යවන සක්ලේන් සජීබ් සහ පිට දඟ පන්දු යවන තුන් ඉරියව් ක්රීඩක ෂුවගාටා හොම් ආදේශ කිරීමට නියමිතය.
විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ධර්ම්ශාලා හිදී පසුගිය 9 වැනිදා නෙදර්ලන්තයට එරෙහිව පැවති තරගයේ විනිසුරුවෝ මෙම පන්දු යවන්නන් දෙදෙනාගේ පන්දු යැවීම සැක සහිත බවට පැමිණි කළහ.
එම පැමිණිල්ලට අනුව අර්ෆට් සනී පසුගිය 12 වැනිදාද, ටස්කින් අහමඩ් පසුගිය 15 වැනිදාද චෙන්නායි හිදී පරීක්ෂණයට සහභාගී වූ අතර, එහි ප්රතිඵල අනුව ඔවුන් දෙදෙනාගේම පන්දු යවන විට වැලමිට අංශක 15 ට වඩා නැමෙන බවට සනාථ වී තිබේ.
අන්තර්ජාතික ක්රිකට් නීතිරීති වලට අනුව පන්දු යවන්නකුගේ අතින් පන්දුව ගිලිහෙන විට වැලමිට අංශක 15 නොඉක්ම විය යුතුය.
අර්ෆට් සනි (34/2) සහ ටස්කින් අහ්මඩ් (32/2) අනතුරුව පසුගිය 16 වැනිදා ‘සුපිරි 10 වටයේ පාකිස්තානයට එරෙහිව තරගයට සහභාගී වෙමින් දස්කම් දැක්වූහ.
අර්ෆට් සනී
ටස්කින් අහමඩ්
යොහාන් භාසුර ඉන්දියාවේ බැංගලෝර් සිට