ඉන්දියාව හා පැවැති එක්දින තරගාවලියේදී ලැබූ අවමන් සහගත පරාජයේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසූරිය මහතා බාරගනීනම් තරගාවලියේ පරාජයට පිළිතුරු දීම සනත් විසින් සිදුකළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග සඳහන් කළේය.
ඉන්දීය තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතාගෙන් 'අද' කළ විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
කෙසේ වෙතත් තරගාවලියේ පරාජය පිළිබඳ චෝදනාව සනත් ජයසූරියට පමණක් බාරගත නොහැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ සියලු නිලධාරීන් මේ සඳහා වගකිව යුතු බවත් අර්ජුන රණතුංග මහතා පැවසීය.
"සනත් ජයසූරිය ඒ ඔක්කොම කුණුගොඩ බාර ගන්න කැමති නම් එයා ඒක බාර අරගෙන උත්තර බඳින්න ඕන, ඇයි මේක මෙහෙම වුණෙ කියන කාරණය ගැන. මම දකින්නෙ සනත් ජයසූරියට විතරක් ඒ චෝදනාව බාරගන්න බෑ. මොකද ක්‍රිකට් ආයතනය තමයි ටුවර් එක ලෑස්ති කළේ. ක්‍රිකට් ආයතනයේ ඉන්න විධායක නිලධාරීන් සියලු දෙනාම මේකට වගකියන්න ඕන. ඒක තමයි පළමු කාරණය.
දෙවැනි කාරණය තමයි සනත් ජයසූරිය, මාවන් අතපත්තු හා ඇන්ජලෝ මැතිව්ස් කිවුවා මේ සංචාරයෙන් ලෝක කුසලානයට හොඳක් වෙනවා කියලා. එහෙමනම් ඒකේ මොකක්හරි හොඳක් වෙනවා ඇති කියලා අපටත් හිතන්න තියෙනවා. ඒ තුන්දෙනා නිසානේ ප්‍රධාන වශයෙන් ක්‍රිකට් දුවන්නේ.
තේරීම් කමිටු සභාපති හැටියට සනත් තෝරනවා. පුහුණුකරු ලෙස මාවන්ට පුහුණුවේ වගකීම තියෙනවා. නායකයාට කණ්ඩායම මෙහෙයවීමේ වගකීමක් තියෙනවා. ඒ අයට මේක වරදක් නෙමෙයි නම් අපි දෝෂාරෝපණයක් කරන්න අවශ්‍ය නෑ. නමුත් මේ පරාජයේ වගකීම සියලු දෙනාම බාරගත යුතුයි කියලා මම හිතනවා."
මේ තරගාවලියට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායම දීර්ඝකාලීන ශරීර යෝග්‍යතා පුහුණුවකට එක්ව සිටි අතර, එය අතරමග නවතා දමා දින පහකට අවම කාලයක් පුහුණුවීම් සිදුකරමින් ඉන්දීය සංචාරයට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඒ පිළිබඳව අර්ජුන දැක්වූයේ මෙවන් අදහසක්.
"මම දන්න ක්‍රිකට්වල නම් කුසලතා පුහුණුව කියලා දෙයක් තියෙනවා. පන්දු යැවීම, පිතිකරණය හා පන්දු රැකීම කියන එක සාමාන්‍යයෙන් තරගාවලියකට සුමාන තුනක්, මාසයක් විතර කලින් ඉඳලා පුහුණු වෙන්න ඕන. එහෙම නැතිව මේ අංශ තුන හොඳම තත්ත්වයට ගේන්න බෑ. මම දන්නෙ නෑ අලුත් විදියට වෙන ආකාරයකින් කරන්න පුළුවන්ද කියලා. ඒක අහන්න ඕන ජයසූරිය, අතපත්තු හා මැතිව්ස්ගෙන්.
මම ගහන කාලෙ නම් අඩුම තරමින් මාස එක හමාරක්, මාස දෙකක් විතර ශරීර යෝග්‍යතා පුහුණුවත් එක්ක පන්දු යැවීම, රැකීම හා පිතිකරණය ගැන ලොකු පුහුණුවක් කරනවා. මේ වගෙ එක්දින තරග සංචාරයක් යද්දි මාසයක් විතරවත් අඩුම තරමින් කුසලතා පුහුණුව කරනවා. එහෙම නැතිව තරගාවලියක් කරන්න පුළුවන්ද කියන දේ අපි ඒ අයගෙන් දැනගන්න වෙනවා.
සංගා, මහේල හා ඩිල්ෂාන් වැනි පලපුරුදු ක්‍රීඩකයන්ට සැරෙන් සැරේ හරි ලකුණු අතරට එන්න හැකියාවක් ලැබුණා. හැබැයි අලුත් ක්‍රීඩකයන්ට ඒක අමාරු වුණා. ඒකෙන් තේරෙනවා පලපුරුද්දත් එක්ක යන්තම් බේරගන්න පුළුවන් කියලා. නමුත් අනෙක් අයට අමාරු වුණා. මම දන්න ක්‍රිකට් ඒක. හැබැයි අලුත් ක්‍රිකට්වල මොනවා වෙනවද කියලා මම දන්නෙ නෑ."
තරගාවලියේ සිදු වූ අඩුපාඩු සකසා ගනිමින් ඉදිරි සංචාර සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්විය යුතු බව පවසන හෙතෙම, ලෝක කුසලානයට මාස තුනක පමණ කාලයක් පවතින හෙයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් නොවැටී සිටිය යුතු බව පැවසීය.
"ක්‍රීඩකයන් හැටියට ඒ අයට කරන්න තියෙන්නෙ වෙච්ච වැරදි හදාගෙන ඉදිරි සංචාර ගැන කල්පනා කිරීමයි. ඒ අයට මේ සංචාරය අමතක කරලා පෙට්ටිවල දාලා වහලා යන්න බෑ. ක්‍රීඩකයන් ලෙස වෙච්ච අඩුපාඩු, පුහුණුකරුවන් එක්ක සාකච්ඡා කරලා හදාගෙන ඉදිරි තරගාවලි සඳහා මුහුණදෙන එකයි තියෙන්නේ.
මානසිකත්වය දිහා බලාගෙන සංචාරය අමතක කරන්න පුළුවන්. නමුත් වෙච්ච වැරදි ගැනයි, ඒ අය ක්‍රීඩා කරපු ආකාරය හා සමහර ක්‍රීඩකයන් යොදාගත් ආකාරය පිළිබඳව මීට වඩා අවධානයක් යොමු කරලා ඒ වැරදි හදාගෙන ඉදිරියට යා යුතුයි.
ලෝක කුසලානයට තවත් මාස තුනක පමණ කාලයක් තියෙන්නේ. වැඩි කාලයක් නෑ. ඒක තමයි ප්‍රධාන වෙන්නේ. මූලිකම දේ තමයි ළමයි නොවැටී සිටින එක" යැයි අර්ජුන වැඩිදුරටත් පවසා සිටියේය.