රෝහිත් ශර්මාගේ සාර්ථක ආරම්භය ඉදිරියට රැගෙන යාමට අපොහොසත් වූ ඉන්දීය පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ කන්පූර්හි අද (11දා) පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 05ක තියුණු පරාජයක් අත්විඳීමට සත්කාරක ඉන්දීය කණ්ඩායමට සිදුවිය. මෙම ජයග්‍රහණයත් සමග තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1- 0 ක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණේ පසුවේ.
ග්‍රීන් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ ලකුණු 303/5 ක් රැස්කිරීමට සමත්විය. ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත ඉනිමක් දියත් කළ ඒ.බී. ඩිවිලියර්ස් පන්දු 73කදී නොදැවී ලකුණු 104ක් රැස්කිරීමට සමත්විය. ඒ හේතුවෙන් තරගයේ වීරයා සම්මානය ඔහුට හිමිවිය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 07 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 298 ක් පමණි. රෝහිත් ශර්මා සාර්ථක ආරම්භයක් ලබාදෙමින් ජයග්‍රාහී මාවත එළිපෙහෙලි කර දුන්නද, එය ජයග්‍රාහී කඩයිම කරා රැගෙන යාමට සෙසු පිතිකරුවන්ට නොහැකි විය.
මෙම තරගයේ විශේෂතා
දකුණු අප්‍රිකාව ලකුණු 05කින් ජයගැනීම ඔවුන් පළමුව පන්දුවට පහරදී ඉන්දියාවට එරෙහිව අවම ලකුණු පරතරයකින් ලැබූ ජයග්‍රහණය වේ. ඉන්දීය කණ්ඩායමක් අවසන් වරට අඩුම ලකුණු පරතරයකින් පරාජය වී ඇත්තේ 2009 වසරේදීය. ඔස්ට්‍රේලියාව හමුවේ එවර ඔවුන් ලකුණු 03කින් පරාජය වී ඇත.
ඩිවිලියර්ස් රැස්කළ ශතකය ඔහුගේ 21 වැනි එක්දින ශතකය වන අතර, ඒ අනුව ඔහු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ශතක රැස්කර ඇති පිතිකරුවන් අතර සම තත්ත්වයට පැමිණියේය. හෂිම් අම්ලා හා හර්ෂල් ගිබ්ස් මෙම ලැයිස්තුවේ සිටින අනෙකුත් පිතිකරුවෝ වෙති.
ඩිවිලියර්ස් නායකත්වයට පත්වීමෙන් පසු රැස්කළ 10 වැනි ශතකය මෙය වන අතර, ඒ සමඟ ඔහු ඉහළම ශතක රැස්කළ නායකයන් අතර තෙවැනි ස්ථානයේ පසුවේ. රිකී පොන්ටින් (22), සව්රව් ගංගුලි (11) හා සනත් ජයසූරිය (11) මෙහි ඉදිරියෙන් සිටින නායකයෝ වෙති. කෙස් නමුත් මෙම ශතක රැස්කිරීමට ඩිවිලියර්ස්ට වැයවී ඇත්තේ ඉනිම 68 ක් පමණක් වන අතර, ගංගුලි (ඉනිම් 93), පොන්ටින් (ඉනිම් 94) හා සනත් ජයසූරිය (ඉනිම් 106) පිතිකරුවන්ට ශතක දහයේ සීමාව පසුකර යාමට ඩිවිලියර්ස්ට වඩා ඉනිම් වැයවී ඇත.
ලකුණු හඹායාමේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 150 සීමාව පසුකළ පළමු පිතිකරුවා රෝහිත් ශර්මා වේ. මීට පෙර බ්‍රෙන්ඩන් ටේලර් (සිම්බාබ්වේ/145) වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා විය. එමෙන්ම ලකුණු හඹායාමේදී ලකුණු 150 සීමාව පසුකළ පස් වැනි ඉන්දීය පිතිකරුවා ශර්මා වේ. එම්.එස්. දෝනි (ශ්‍රී ලංකාවට එරෙහිව/නොදැවී 183/ 2009 වසරේ) මෙහි ඉදිරියෙන්ම සිටියි.
මෙම තරගය පැවති කන්පූර්හි ග්‍රීන් පාර්ක් ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් ලකුණු 300 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර ඉන්දීයාව 2007 වසරේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 294/6 ක් රැස්කර තිබුණි.