ආසියානු රග්බි පාපන්දු සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20 පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියරෙහි (2015) කුසලාන අනුශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මැලේසියාවේ ජොහෝර් බහාරුහිදී පැවැති මෙම තරගාවලියේ අද (16දා) පැවැති කුසලාන අවසන් තරගයේදී ශ්‍රී ලංකාව ප්‍රබල හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 29-15 ක් ලෙසින් පරාජයට පත්විය.
හොංකොං කණ්ඩායම ගෝල දිනුම් 02ක් හා උත්සාහක දිනුම් 03 ක් මගින් හා ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල දිනුම් 02ක් හා උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු රැස්කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ආසියානු කුසලාන රග්බි තරගාවලියක හිමි කරගත් ඉහළම ජයග්‍රහණය මෙය වේ.
ඊයේ (15දා) ආරම්භ වූ මෙම තරගාවලියේ ඒ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. එම වටයේ තායිලන්තයට එරෙහිව ලකුණු 31-05 ක් ලෙස ජයගත් අතර, චීන තායිපේ සමග පැවැති තරගය ලකුණු 19-19 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කිරීමට සමත් විය. කෙසේ නමුත් හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 24-19 ක් ලෙසින් පරාජය විය. නමුත් ප්‍රසාද ලකුණු සටහනට අනුව කුසලාන වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ඒ අනුව කුසලාන වටයේ අද (16දා) පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 33-07 ක් ලෙස පරාජය කළ අතර, අවසන් පූර්ව වටයේදී මැලේසියාව ලකුණු 17-12 ක් ලෙස පරාජය කළේය. මේ අතර තරගාවලියේ තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් මැලේසියාව (12-07) පරාජය කිරීමට චීන තායිපේ සමත්විය.
මෙහි පළඟ ශූරතාව තායිලන්තය දිනාගැනීමට සමත්වූ අතර, අවසන් තරගයේදී සිංගප්පූරුව ලකුණු 22-05 ක් ලෙස ඔවුන් හමුවේ පරාජය විය.
පසුගිය වර්ෂයේදී (2014) ආරම්භ වූ මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පළමු වරට සහභාගි වූයේ මෙම වර්ෂයේදීය. මෙහි දෙවැනි අදියර එළඹෙන 21 හා 22 වැනිදා හොංකොංහිදී පැවැත්වීමට නියමිතව ඇති අතර, එම අදියරෙහි ලබාගන්නා ස්ථානයන් මත තරගාවලියේ සමස්ත ශූරයන් තීරණය කරනු ලබයි.