තවත් වසර දෙකක් සඳහා විස්සයි20 ලෝක ශූරයන් තෝරාගන්නා සුපිරි 10 වටයේ තරග අද (15දා) ආරම්භ වීමට නියමිතය. සුපිරි 10 වටය ආරම්භ කරමින් තරග වදින්නේ නවසීලන්ත කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායමයි. ඒ අනුව පළමු තරගයේදීම දැඩි සටනක් ප්‍රේක්ෂකයන්ට දැකගැනීමට අවස්ථාව ලැබී තිබේ.
ආසියානු කුසලාන ජයග්‍රහණත් සමගින් මෙන්ම ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම ලෙසින් හා අවසන් වරට තමන් සහභාගිවූ විස්සයි20 තරග 12න් 11කම ජයග්‍රහණ සහිතව ප්‍රබල ඉන්දීය කණ්ඩායම තරගාවලියට පිවිසෙන අතර, අවසන් වරට පාකිස්තානය එරෙහිව සිය රටේදී ලැබූ විස්සයි20 ජයග්රහණයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම තරගයට මුහුණ දෙයි. නවසීලන්ත කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී සහභාගිවූ පුහුණු තරග දෙකෙන් ශ්‍රී ලංකාවට එරෙහි තරගය පහසුවෙන් ජයගත් අතර එංගලන්තයට එරෙහිව පැවැති තරගය පරාජයට පත්විය. ඉන්දීය කණ්ඩායමද කොදෙව්වන් හා පැවැති පුහුණු තරගය ජයගැනීමට සමත්වූ අතර දකුණු අප්‍රිකාව හා පැවැති පුහුණු තරගය පරාජයට පත්විය.
පළමු සතියේදීම තවත් තීරණාත්මක තරග කිහිපයක් පැවැත්වෙයි. සුපිරි 10 වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය පළමු වටයෙන් සුදුසුකම් ලැබූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා අනිද්දා (17දා) පැවැත්වෙනු ඇත. නමුත් පළමු සතියේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන තීරණාත්මකම තරගය එළැඹෙන ඉරිදා (20දා) කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගතහොත් අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පියවර තැබුවා වෙයි.
සිතුවම සෙනරත් ධර්මතිලක
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග තරගාවලියට එක්වීම සඳහා ඊයෙ (14දා) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගියේය. මාලිංග සඳහන් කළේ තරගාවලියේ පළමු තරගයට හෝ ක්‍රීඩා කිරීම සිය අරමුණ බවයි. නමුත් ඇෆ්ගනිස්තානට එරෙහි තරගය ක්‍රීඩා කරමින් ඉතිරි තීරණාත්මක තරග සියල්ලම බංකුවේ ගත කරනවා වෙනුවට කොදෙව් කණ්ඩායමට එරෙහි තරගයට මාලිංග ක්‍රීඩා කරයි නම් එය තරගාවලියේදී ශ්‍රී ලංකාවට හොඳ තත්ත්වයකි. මන්ද යත් කොදෙව්වන්ට එරෙහිව දක්ෂතා දැක්වීමට මාලිංග සමත්ව ඇති හෙයිනි. ආසියානු තරගාවලියේදී යූ.ඒ.ඊ. කණ්ඩායමට එරෙහි පළමු තරගය ක්‍රීඩා කරමින් ඉතිරි තරග සියල්ලම බංකුවට වී බලා සිටීමට සිදුවීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූ කනගාටුදායක ඉරණම ලෝක කුසලාන තරගාවලියේදී සිදු නොවිය යුතුය.
මෙම සතිය තුළදී කණ්ඩායම් කිහිපයකම ඉරණම් විසඳී තිබීමට වැඩි ඉඩක් පවතියි.ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරගයට අමතරව කොදෙව්වන් එංගලන්තය සමග තරග කිරීමට නියමිත අතර, ඉන්දීය කණ්ඩායම පාකිස්තානය සමගත්, එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාව සමගත් නවසීලන්ත කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමගත් තරග කිරීමට නියමිතය. මෙම සියලු තරග පළමු සතියේ ඉතාමත් තීරණාත්මක තරග වන අතර එම තරගවල ප්‍රතිඵල අනුව කණ්ඩායම්හි ඉදිරිය තීරණය වීමට වැඩි ඉඩක් පවතියි.
පළමු සතියේදී ඉන්දියාව හා පාකිස්තානය අතර 19 දා පැවැත්වෙන තරගය වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන තරගයක් වෙනු ඇත. එසේම මෙම තරගයේදී කණ්ඩායම් දෙකම දැඩි පීඩනයකින් යුතුව තරග කිරීමට නියමිතය.ඉන්දියාවේදී තරගාවලියක් පැවැත්වෙනවිට එහි විනිසුරුවරුන් පිළිබඳව මෙන්ම තරගාවලියේ තණතීරු පිළිබඳව බොහො දෙනෙක් උනන්දු වෙති. ඒ ඉන්දියාව එහිදී තම හිතුමනාපෙට තණතීරු වෙනස් කිරීමත් විනිසුරුවරුන් තමන්ට හිතවත් අය යොදාගන්නා බවට චෝදනාවක්ද තිබෙන හෙයිනි. නමුත් ලෝක කුසලාන තරගාවලියකදී එවැනි තත්ත්වයන් සිදු නොවන්නේ තරග තීරකයන්, විනිසුරුවරුන් හා තණතීරු සකස් කරන්නේ අයි.සී.සී.ය වන හෙයිනි.
ප්‍රධාන තරගාවලියට අමතරව පැවැත්වෙන කාන්තා තරගාවලියද අද ආරම්භ වන අතර, බංග්ලාදේශ කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම එම තරගාවලිය ආරම්භ කරමින් තරග වදියි. එසේම අද දිනයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමත් නවසීලන්ත කාන්තා කණ්ඩායමත් තරග කිරීමට නියමිතය. පළමු සතියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවැනි තරගය 20 දා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙයි.