තම පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදිව සකස් කරගෙන තිබෙන බවත්, ඉදිරි දින කිහිපයේදී අයි.සී.සී. පරීක්ෂණයට යොමුවන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක සචිත්ර සේනානායක 'අද' පුවත්පතට ප්‍රකාශ කළේය.
අයි.සී.සී. පරීක්ෂණයට ප්‍රථමව සචිත්ර එංගලන්තයේ හෝ ඔස්ට්‍රේලියාවේ නිල නොවන ආකාරයට පරීක්ෂා කළ යුතු බවට අදහසක් පැවතියත් සචිත්ර සඳහන් කළේ, එවැනි ආකාරයට පරීක්ෂණයක් සිදුනොවන බවත්, සෘජුවම අයි.සී.සී. පරීක්ෂණයට එක්වන බවත්ය.
"දැන් දින ලැබිලා තියෙන්නෙ. කොහොමත් මේ මාසේ අන්තිම වෙද්දි පරීක්ෂණයට යන්න ඉන්නෙ. වෙන පරීක්ෂණයක් නෑ. කෙළින්ම අයි.සී.සී. පරීක්ෂණයට යන්නෙ."යැයි සචිත්ර පැවසීය.
එසේම තමන් නව පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව සෑහීමකට පත්වන බවද සචිත්ර සඳහන් කළේය.
සචිත්රගේ නව පන්දු යැවීමේ ඉරියව්ව ඉන්දියාවේ චෙන්නායිහි පවතින රාමචන්ද්‍ර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ මධ්‍යස්ථානයේදී පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව පසුගියදා තීරණය කළේය. ඒ අනුව සචිත්ර දෙවැනි වර පරීක්ෂණය සඳහා සූදානමින් සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයේදී සචිත්ර පන්දුව දමාගසන බවට චෝදනාවට ලක්වූ අතර, ඉන් පසුව කළ පරීක්ෂණයේදී ඔහු අංශක 15 නීතිය කඩකරන බව තහවුරු විය. සචිත්රගේ ඉරියව්ව නැවත සකස්කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකිරීමේ දෙපාර්තමේන්තුව විසින් මෙන්ම බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේදීත් සිදුකරනු ලැබීය.
මෙම පරීක්ෂණයෙන් සචිත්ර සමත්වුවහොත් ඔහුට නැවතත් සුපුරුදු පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවෙයි. මෙම පරීක්ෂණය මෙම මස අවසානයේදී පැවැත්වෙන හෙයින් ඔහුට එංගලන්ත තරගාවලියද අහිමිවීමට ඉඩ තිබෙන නමුත්, සචිත්ර මෙම පරීක්ෂණයෙන් සමත්වුවහොත් බොහෝදුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේදී කණ්ඩායමට එක්වෙනු ඇතැයි විශ්වාස කළ හැකිය.