මාස්ටර්ස් චැම්පියන්ස් ලීග් පන්දුවාර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (03දා) පැවැති තරග දෙකකින් ජය තහවුරු කරගැනීමට ජෙමිනි ඇරබියන්ස් කණ්ඩායම හා විර්ගෝ සුපර් කිංග්ස් කණ්ඩායම් සමත්විය. කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අතර, දැනට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන සිටින ක්‍රීඩකයෝ මෙහි ක්‍රීඩාකරති. ඊයේ (03දා) පැවැති තරග දෙකෙහි තරග තීරක ලෙස හිටපු තරග තීරක රොෂාන් මහානාම මහතා කටයුතු කළේය.
ජෙමිනි ඇරබියන්ස් ලකුණු 10 ක ජයක් ලබයි
කැප්රිකන් කමාන්ඩෝස් කණ්ඩායම පරාජය කර ඊයේ (03දා) රාත්‍රියේ පැවැති තරගයකින් ලකුණු 10ක ජයක් ලැබීමට කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් නියෝජනය කරන ජෙමිනි ඇරබියන්ස් කණ්ඩායම සමත්විය. ඇරබියන්ස් කණ්ඩායම තරගාවලියේ මුහුණදුන් තෙවැනි තරගය මෙය වූ අතර, ඒ අනුව ඔවුන් එම සියලුම තරග ජයගෙන ඇත.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇරබියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 කට ලකුණු 190 ක් රැස්කළේය. මෙහිදී කුමාර් සංගක්කාර ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය. පන්දු 40කදී ගොඩනැගුණු සංගාගේ ඉනිමට හයේ පහර 05 ක් හා හතරේ පහර 03 ක් අන්තර්ගත විය. ඔහු තරග තුනකදී (ඉනිම් 3) ලකුණු 192 ක් රැස්කර ලකුණුලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. ලකුණු 191ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය කැප්රිකන් කමාන්ඩෝස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180 ක් පමණි.
මෙම කණ්ඩායමට උපුල් චන්දන ක්‍රීඩාකළ අතර, අංක 10 පිතිකරුවා ලෙස පිටියට පිවිස ඔහු පන්දු 05කට පමණක් මුහුණදී හතරේ පහර 03 ක් සමගින් නොදැවී ලකුණු 13 ක් රැස්කළේය. ජෙමිනි ඇරබියන්ස් වෙනුවෙන් මෙවරද ක්‍රියාත්මක වූ මුත්තයියා මුරලිදරන් සිය පන්දුවාර 04 තුළදී ලකුණු 29කට කඩුලු 03 ක් බිඳහෙළීමට සමත්විය. මුත්තයියාද තරගාවලියේ මෙතෙක් ඉහළම කඩුලුලාභියා වන අතර, තරග 03කදී (ඉනිම් 03) ඔහු කඩුලු 09 ක් බිඳහෙළා සිටියි. තරගයේ වීරයා ලෙස විරේන්ද්‍ර ශෙවාග් සම්මාන දිනාගත්තේය.
විර්ගෝ සුපර් කිංග්ස් කඩුලු 05 ක ජයක් ලබයි
ජැක් කලිස්ගේ නායකත්වයෙන් යුත් ලිබ්රා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජය කර ඊයේ (03දා) සන්ධ්‍යාවේ පැවැති තරගයකින් කඩුලු 05 ක ජයක් ලැබීමට ග්රැහැම් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් විර්ගෝ සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
මෙහි පළමුව පන්දුවට පහර දුන් සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 168/5 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 169 ක ඉලක්කයක් හඹාගිය ලිබ්රා ලෙජන්ඩ්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ රැස්කිරීමට හැකිවූයේ ලකුණු 163/4 ක් පමණි. තරගයේ වීරයා ලෙස ග්රැහැම් ස්මිත් සම්මාන දිනාගත්තේය.