ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරගේ කීර්තිනාමය විනාශ වන අයුරින් තමා කටයුතු කර ඇති බවට කුමාර් සංගක්කාර කර ඇති ප්‍රකාශය අසා තමන් මවිත වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ක්‍රිකට් ඉහළ පෙළේ නිලධාරියෙක් හා කුමාර් සංගක්කාර අතර සිදුවූ විද්‍යුත් තැපැල් පණිවුඩ හුවමාරුවකදි කුමාර් සංගක්කාර මෙම චෝදනාව කර තිබූ බවට මාධ්‍ය තොරතුරු වාර්තා කරනු ලැබූ අතර එයට පිළිතුරු සඳහන් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
එසේම එවකට කුමාර් සංගක්කාරට කිසියම් ගැටලුවක් ඇතිවූවානම් එය සෘජුවම එවකට හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතා වෙත යොමු කරන බවත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරයි.
මේ ඔහු නිකුත් කළ නිවේදනයයි
ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කළමනාකරු අතර සිදුවුණා යැයි කියන ඊ- මේල් පණිවුඩ කිහිපයක් පසුගියදා මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්විය. අදාළ ඊ මේල් පණිවුඩවල අඩංගු කරුණු අතරේ කුමාර සංගක්කාර විසින් එකී සමයේ ක්‍රීඩා අමාත්‍ය ලෙසින් කටයුතු කළ මා පිළිබඳවද අදහස් දක්වා තිබේ යැයි සඳහන් වීම මෙවැන්නක් ලිවීම සඳහා මා යොමුකරන ලදී.
2013 වසරේ චැම්පියන්ස් ලීග් තරගාවලියේදී සංගක්කාරගේ මෙරට නියෝජනය වූ කඳුරට කණ්ඩායම සහ අයි.පී.එල් තරගාවලියේ ඔහුගේ නියෝජනය වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම යන දෙකෙන් එකෙන් තෝරාගැනීමට සංගක්කාරට සිදුව තිබූ අතර, එහිදී අදාළ තෝරාගැනීම සාධක කරගනිමින් (මුදල්ද එසේත් නැතිනම් රටද යැයි විමසමින්) සංගක්කාරගේ කීර්තිනාමය විනාශ කිරීමේ අරමුණෙන් මා ද කටයුතු කර ඇතැයි ඔහුගේ එම ඊ මේල් ලිපිවල ඇති කරුණු මගින් ගම්‍යවන බවට මාධ්‍ය වාර්තා පළ විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කුමාර සංගක්කාර විසින් මා වෙත එවැනි චෝදනාවක් කර ඇත්නම්, ඒ ගැන අසා පළමුවෙන්ම මා මවිත වූ බවයි. එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කුමාර සංගක්කාර නමැති ක්‍රීඩකයා ඉලක්ක කර ඔහුව අපහසුතාවට ලක්කිරීමෙන් මා හට ලබාගත හැකි යම් දෙයක් වීද යන්න ඔබගේ බුද්ධියෙන්ම විමසා බැලීමට ඔබ සියලු දෙනාට මම ආරාධනා කරමි. මෙය හුදෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ කුමාර සංගක්කාර නැමැති ක්‍රීඩකයාගේ තීන්දු තීරණ අතර ගනුදෙනුවකි. එම ගනුදෙනුවේ කිසියම්ම හෝ තැනක මා නොසිටි බව අවධාරණය කරමි.
නමුත් එක දෙයක් සඳහන් කළ යුතුය. රටක ක්‍රීඩා අමාත්‍යවරයා යනු ක්‍රීඩාව පිළිබඳ ප්‍රතිපත්ති තීරණ ගනු ලබන පුද්ගලයාය. එම වගකීම මත පිහිටා මා විසින් එකල එක් වැදගත් තීරණයක් ගන්නා ලදී. එනම් ක්‍රීඩකයෙකු ක්‍රීඩාවේදී මූලිකත්වය දිය යුත්තේ සිය රට නියෝජනය කිරීමට බවයි. එහි අනෙක් අර්ථය වන්නේ මුදල්මය සාධකයක් මත විදේශයකට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙනුයේ රට නියෝජනය කිරීමේ කටයුත්තට මුල්තැන දීමෙන් පසුව බවය.
ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් මා විසින් එම තීරණය ගනු ලබන්නේ රටේ ක්‍රීඩාවේ යහපැවැත්ම වෙනුවෙන් මිස, කිසිවෙකුගේ මුදල් දොරටු වසා දැමීමට නොවේ. එසේ කිරීමෙන් පෞද්ගලිකව මා කුමන වාසියක් ලබන්නද? ක්‍රීඩකයෙකු ජාත්‍යන්තර මට්ටමට යෑමට සවිය, පන්නරය ලබාදීම සඳහා සියලු බරපැන දරන්නේ මේ රට නම්, එම ක්‍රීඩකයාට රට නියෝජනය කිරීම උදෙසා ප්‍රමුඛත්වය දෙන ලෙසින් ඉල්ලන්නට රටට සදාචාරාත්මක අයිතියක් ඇත. මා විසින් එදා එම තීරණය ගනු ලැබුවේ රට වැසියන් ලෙසින් ඔබගේත්,මගේත් (ඒ වගේම සංගක්කාරගේත්) එම සදාචාරාත්මක අයිතිය තහවුරු කරනු වෙනුවෙනි.
එය කිසිවිටෙකත් සංගක්කාර අරබයා ගනුලැබූ තීරණයක් නොවේ. ක්‍රිකට් වේවා, රගර් වේවා, වෙනත් ක්‍රීඩාවක් වේවා, මෙරට ක්‍රියාත්මක වෙනත් ක්‍රීඩාවක හෝ වේවා ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවකට පොදුවූ නියෝගයක් විය. සංගක්කාර විසින් ඊ- මේල් මගින් කළා යැයි කියන චෝදනාවේදී පටලවාගෙන ඇත්තේ (හෝ හිතාමතා පටලවාගන්නට උත්සාහ ගන්නේ) මා විසින් ගත් එම තීන්දුව යැයි සිතමි. නමුත් සංගක්කාර ක්‍රීඩා ඇමති වී නම්, එසේත් නැතිනම් මෙය කියවන ඔබ ක්‍රීඩා ඇමති වන්නේ නම් ඔබ විසින් ගන්නේද එම තීරණය නොවේදැයි මම විමසමි.
මෙහිදී තවත් දෙයක් අකමැත්තෙන් හෝ සඳහන් කිරීමට සිදුවේ. එකල තමන්ගේ ක්‍රිකට් නියෝජනයේ ගැටලු මතු වූ බොහෝ තැන්වලදී කුමාර සංගක්කාර විසින් කරනු ලැබුවේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යාංශය ඉක්මවා, එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත එය ඍජුවම යොමුකර තමන්ගේ අවශ්‍යතාව දිනාගැනීමය. එය ප්‍රසිද්ධ රහසකි. නමුත් මට ඇති ගැටලුව වන්නේ මෙම පැනය ඔහු විසින් මහින්ද රාජපක්ෂ මහතා වෙත යොමු නොකළේ මන්ද යන්නයි.
එය ඔය කියන ආකාරයේ දැවැන්ත ආසාධාරණයක් වී නම් කුමාර සංගක්කාර විසින් එය රාජපක්ෂ මහතාට යොමුකර සාධාරණයක් ලබාගන්නා බව මගේ විශ්වාසයයි. නමුත් එදා එය එසේ සිදු නොවී අද මේ දේශපාලන බල පෙරැළියෙන් පසු චෝදනාවක් ලෙසින් මෙය මෙලෙසින් එළියට එන්නේ කුමන අරමුණකින්ද යන සාධාරණ සැකය මා හට මේ මොහොතේදී මතුවේ. සැබැවින්ම සිදුව ඇත්තේ දේශපාලනය විසින් ක්‍රීඩකයාට බලපෑම් කිරීමක්දල නැතිනම් ක්‍රීඩකයා විසින් දේශපාලනයට බලපෑම් කිරීමක්ද යන්න අනාගතය විසින් ඉඳුරාම තීන්දු කරනු ඇත.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් අත පොවන මානයට පැමිණ තිබෙන මේ මොහොතේ මෙවැනි අනවශ්‍ය අර්බුද, මතවාද, මතභේදවලට කරුණු කාරණා සකස් නොකොට සම්පූර්ණ අවධානය ලෝක කුසලාන දිනාගැනීම පිණිස යොදවන මෙන්, මෙරට ක්‍රීඩාව වෙනුවෙන් ඉකුත් සිවුවසරක කාලයක් පුරා දැඩි කැපකිරීමක් කළ පුද්ගලයෙකු ලෙසින් මම වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමි. එසේම කුමාර සංගක්කාර නැමැති මා ඉතා ප්‍රිය කරන අලංකාර පිතිකරුවා ඇතුළු සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානක හිමිකරුවන් වීම සඳහා ඉහළම මානසික ශක්තිය සහ හැකියාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ