සංක්රාන්තිකයන්ගේ පළමු හමුව අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (28දා) අඩුබාඩිහිදී ඇරඹේ. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීම නිසා වසර එකහාමාරක පමණ කාලයක් තිස්සේශ්රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතට පිවිසීම උදෙසා දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම සේම නොවුනත් හිටපු පාකිස්තානු නායක මිස්බා උල් හක්ගේ සහ යුනිස් ඛාන්ගේ සමුගැනීම හේතුවෙන් පාකිස්තානු කණ්ඩායමද නව කණ්ඩායමක් ලෙසින් නවමු සැලසුම් සහිතව නැවත නැගී සිටීමට උත්සාහ දරමින් සිටියි. ඒ අනුව ශ්‍රී ලංකා - පාකිස්තානු ක්‍රිකට් තරගාවලිය සංක්රාන්තිකයන්ගේ සටනක් ලෙස බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.
කෙසේ වෙතත් පසුගිය සමයේදී දෙරටේ වර්තමාන ක්‍රීඩකයන් කණ්ඩායමක් ලෙස ඉදිරිපත් කළ දක්ෂතා අනුව පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා මදක් ඉදිරියෙන් හිඳිමින් මෙම තරගාවලියට අවතීර්ණ වන බව පැහැදිලිය.ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා මෙන්ම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු උපුල් තරංග මාස 6ක පමණ කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටින බැවින් ඔහුගේ ස්ථානයට කෞෂාල් සිල්වා කැඳවා ඇති අතර, ඔහු දිමුත් කරුණාරත්න සමගින් ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇත.
සිය අසාර්ථකත්වය හේතුවෙන් කණ්ඩායමේ ස්ථානය අහිමිවූ ළහිරු තිරිමාන්න වසරකුත් මාස දෙකකට පමණ පසුව නැවතත් ටෙස්ට් කණ්ඩායම සමගින් එක්ව සිටින්නේ කණ්ඩායමේ උපනායකයා ලෙසිනි. ඉන් පැහැදිලි වන්නේ තේරීම් කමිටුව ඔහු කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවන බවය. ඒ අනුව ළහිරු අද තරගයට නියත වශයෙන්ම ක්‍රීඩා කරනු ඇත. එහෙත් ගැටලුවකට ඇත්තේ ඔහු ක්‍රීඩා කරන ස්ථානය සම්බන්ධයෙනි. කුසල් මෙන්ඩිස් අංක 3 ස්ථානයේත් දිනේෂ් චන්දිමාල් අංක 4 ස්ථානයේත් ක්‍රීඩා කරන බැවින් ළහිරු අංක 5 ස්ථානයේ ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතී. එසේ නොමැතිනම් නායක චන්දිමාල් එක් ස්ථානයක් පස්සට ගොස් ළහිරු අංක 4 ස්ථානයේ ක්‍රීඩා කළ හැකිය.
එහෙත් චන්දිමාල් අංක 4 ස්ථානයේ නියත වශයෙන්ම ක්‍රීඩා කළ යුතු යැයි අපි විශ්වාස කරන්නෙමු. අබුඩාබි තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම නිත්‍ය පිතිකරුවන් හත්දෙනෙකු සමගින් ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතී. එසේ වුවහොත් තවමත් ටෙස්ට් වරම් හිමිනොවූ සදීර සමරවික්‍රමට මෙන්ම, රොෂේන් සිල්වාට අද තරගයේදී ටෙස්ට් වරම් හිමිවනු ඇත. එසේ නොමැතිව පන්දු යවන්නන් පස් දෙනෙකු සමගින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඩිල්රුවන් අංක හත ස්ථානයේ පන්දුවට පහරදීමට යොදාගනිමින් ලක්ෂාන් සඳකැන් හෝ විශ්ව ප්‍රනාන්දු පන්දු යවන්නෙකු ලෙස අවසන් 11 දෙනා අතරට කැඳවිය හැක. එසේ වුවහොත් පසුපෙළ පිතිකරණ සංයුතිය තරමක් කෙටි එකක් වේ.
එය ශ්‍රී ලංකා කණ්ඩායමට යම් ප්‍රමාණයකට අවාසි සහගත සැලැස්මකි.මිස්බා උල් හක්ගේ සහ යුනිස් ඛාන්ගේ සමුගැනීමත් සමගින් පාකිස්තානු කණ්ඩායමට අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ අඩුවක් පෙනෙන්නට තිබේ. එය ඔවුනට අවාසියකි. එහෙයින් මේ වනවිට පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ලකුණු අතර සිටින අසාර් අලී ඔවුන්ගේ ප්‍රධානම බලාපොරොත්තුවයි. ඔහුට අමතරව පසුගිය එංගලන්ත තරග සංචාරයේදී පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් සමගින් අංක 3 ස්ථානයේ ක්‍රීඩාකළ අසාද් සෆීක් මෙන්ම බාබාර් අසාම්ද පාකිස්තානු පිතිකරණ ලැයිස්තුවේ බලාපොරොත්තු තබා ඇති පිතිකරුවෝ වෙති. මොවුන් තිදෙනා අතරින් බාබර් අසාම්, අසාර් අලී සහ අසාද් සෆීක්ට සාපේක්ෂව අත්දැකීම් අඩු පිතිකරුවෙකි.
තවද අසාර් අලී අංක 3 ස්ථානයේ හෝ අංක 4 ස්ථානයේ ක්‍රීඩා කරමින් සාමි අස්ලම් හෝ ෂාන් මසූඩ් ආරම්භක පිතිකරුවන් ලෙස යොදා ගනිමින් නවක ක්‍රීඩකයෙකුට ටෙස්ට් වරම් හිමිවීමේ අවස්ථාවක්ද පවතී. එසේ වුවහොත් එම අවස්ථාව බොහෝ දුරට හැරිස් සොෙහල්ට හිමිවනු ඇතැයි විශ්වාස කළ හැකිය.
මොහොමඩ් අමීර්, වහබ් රියාස්, හසන් අලී සහ යසීර් ෂා ප්රමුඛ පාකිස්තානු කණ්ඩායමේ පන්දු යැවීමේ සංයුතිය ලොව ඕනෑම පිතිකරණ සංයුතියක් පාලනය කළ හැකි පන්දු යැවීමේ සංයුතියකි. විශේෂයෙන්ම මොහොමඩ් අමීර් සහ යසීර් ෂා යනු ශ්‍රී ලංකා පිතිකරුවන්ට ප්‍රබල පීඩනයක් එල්ල කළ හැකි පන්දු යැවීමේ සුසංයෝගයකි. කෙසේ වෙතත් අබුඩාබි තණතීරුව පිතිකරුවන්ට වඩාත් උචිත තණතීරුවක් බැවින් දෙපිළේම පිතිකරුවන්ගේ වැඩි දක්ෂතා අදින් ඇරඹෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දැකගත හැකිවනු ඇතැයි විශ්වාස කළ හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


