අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අධීක්ෂණය යටතේ පැවැති ඇමෙරිකානු කලාප පළමු කාණ්ඩයේ (Division One) විස්සයි20 තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කැනඩාව සමත්විය. ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ඊයේ (10දා) අලුයම (ශ්‍රී ලංකා වේලාවෙන්) පැවැති අවසන් තරගයෙන් සත්කාරක ඇමෙරිකානු එක්සත් ජනපද කණ්ඩායම ලකුණු 23කින් පරාජය කරමින් ඔවුහු මෙම ශූරතාවට හිමිකම් කියූහ.
වල්ඩ් ස්පෝර්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් කැනඩා කණ්ඩායම ලකුණු 127/6 (20) රැස්කිරීමට සමත්වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇමෙරිකානු කණ්ඩායමට එම පන්දුවාර සංඛ්‍යාව අවසානයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 104/8 ක් පමණි.
අවසන් තරගයේ වීරයා ලෙස ලකුණු 54 ක් රැස්කළ රුවිඳු ගුණසේකර සම්මාන දිනාගත්තේය. ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති 23 හැවිරිදි රුවිඳු, සමස්ත තරගාවලිය තුළ අර්ධ ශතක තුනක් සමගින් ලකුණු 196 ක් (11, 62, 51, 12, 06, 54) රැස්කිරීමට සමත්විය.
කැනඩාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනූ රුවිඳු එක්දින තරග 19කට ක්‍රීඩාකර අර්ධ ශතක 06 සමගින් මේ වනවිට ලකුණු 455 ක් රැස්කරගෙන සිටින අතර, විස්සයි20 තරග 08කට ක්‍රීඩාකර ඇති ඔහු එක් අර්ධ ශතකයක් සමගින් ලකුණු 202 රැස්කරගෙන සිටියි.
එසේම කැනඩා කණ්ඩායමට තවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ශ්‍රීමන්ත විජේරත්නද ක්‍රීඩා කරන අතර ඔහු අවසන් තරගයේදී නොදැවී ලකුණු 14ක් රැස්කළේය. ඔහු තරග පහකදී ලකුණු 61ක් (14*, 26*,0,9,12) ක් රැස්කළේය.
ඇමෙරිකානු කලාපයේ පළමු කාණ්ඩය (Division One) නියෝජනය කරන කැනඩාව, ඇමෙරිකාව, සූරිනාම් හා බර්මියුඩාව යන රටවල් අතර මෙම තරගාවලිය පැවැත්වූ අතර, සමස්ත තරගාවලිය තරග 12 ක් අන්තර්ගත විය. එහි මුහුණදුන් තරග සියල්ල (6) ජයගැනීමට කැනඩා කණ්ඩායම සමත්විය.